
* ඕනෑම ශ්ලෝකයක් මන්ත්‍රයක් කට පාඩම්
* වැඩියෙන්ම ප්‍රසිද්ධ දහ අට සන්නියට
ඔහු වසර 38ක් තිස්සේම ශ්‍රී ලංකා පොලිසියේ යකා නැටුවේය. දැන් පොලිසියෙන් විශ්‍රාම ගත්තද යකා නැටිල්ල නම් නවත්වා නැත. කලාකරුවන්ට නිජබිමක් වූ රයිගම් කෝරළයේ උපත ලද මොහු නමින් ගුණසේන ගීකියනගේය. එහෙත් මුළු රටම ඔහු හඳුන්වන්නේ "යකා නටන ඕ අයි සී" යනුවෙනි. ඔහුගේ කලා දිවියට දැන් වසර 50 සපිරී ඇත. 1973 වසරේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට බැඳී විටින් විට උසස්වීම් ලද ඔහු 2011 වසරේදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා විට හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළේය.
“මං පොලිසියට බැඳෙනකොටත් නර්තන කලාව හදාරමින් හිටියේ. මගේ ගුරුවරයා මීවනපලානේ දානියෙල් ගුරුන්නාන්සේ. රාජකාරියෙන් නිවාඩු ලැබූ හැමවිටම මං නර්තන ශිල්පය ඉගෙනගත්තා. ඒ අතරේ මිල්ලෑවේ සුවාරිස් වෙද මහතාගෙන් මන්ත්‍ර ශාස්ත්‍රයත් ඉගෙනගත්තා. ඕනෑම මන්ත්‍රයක් මට කටපාඩමින් කියන්න පුළුවන්. අමාරුම ශ්ලෝකයක් මන්ත්‍රයක් වුණත් දෙපාරක් කියවූවිට මට පාඩම් හිටිනවා”
ඔබ දක්ෂතා දක්වන එහෙම නැත්නම් ප්‍රියකරන ශාන්තිකර්ම මොනවාද? අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.
“මට නං ඔය කොයි එකත් එක වගේ. ඒ වුණාට 18 සන්නිය, කුමාර සමයම, තුන් සමයම, තොවිල් , ගම්මඩු හැම දෙයක්ම මට පුළුවන්. ඒ වුණාට මාව වැඩිපුරම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 18 සන්නියට. ඒකෙනුත් මහසෝන් සමයමට. මං ලංකාව පුරාම දහ අට සන්නි ශාන්ති කර්මය කර තිබෙනවා. හොරණ, අඟුරුවාතොට, දඹුල්ල, පානදුර, පාදුක්ක, මතුගම, එප්පාවල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, පල්ලම, ගල්කිරියාගම වගේම විවිධ ප්‍රදේශ වල පැවති ශාන්තිකර්ම බලන්න මහජනතාව වැලනොකැඩී ආ හැටි මතකයි. ඒ විතරක් නෙමෙයි. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ ආරාධනයෙන් ඒ රටවලත් 18 සන්නි ශාන්ති කර්මය පැවැත්වූවා.”
මේ කටයුතුවලට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය මොනවගේද?
“පොලිසියේ උසස් නිලධාරීන් බොහොම දෙනෙක් කලාකාමී හදවත් ඇති අය. කාකි යුනිෆෝම් එක යට හිටියේ සංස්කෘතිය කලාව දේශීයත්වය අගයන නිලධාරීන්. මේ වැඩ දිහා අවඥාවෙන් බැලූ නිලධාරීන්ද ඉඳහිට නොහිටියාම නෙමෙයි. ඒත් වැඩි දෙනෙක් මට සහය දැක්වූවා. ඒ අය අතුරින් හිටපු පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ කාලයේ මට ලැබුණු අනුබලය අගය කළ යුතුමයි. රාජකාරියට බාධා නොවන අයුරින් මේ කටයුතු කරගන්න මට අවසර ලැබී තිබුණා.”
අද ශාන්තිකර්ම ගැන ඔබේ අදහස?
“අප කරන්නේ පාරම්පරික ශාන්තිකර්ම ඉදිරියට ගෙනයැමක්. මේක පහතරට නර්තන සම්ප්‍රදායට අයත්. වත්මන් යුගයේ සරසවි සිසුන් පවා නර්තන කලාවට ශාන්ති කර්ම ඉගෙනගන්නවා. පතපොතට විෂයමාලාවට අයිති කොටස් පමණයි බොහෝවිට ඒ අය ඉගෙනගන්නේ. හැබැයි බොහෝ වෙලාවට සරසවි සිසුන් පවා අපේ ඉපැරණි සම්ප්‍රදායික නර්තන ශාන්තිකර්ම නැරැඹීමට එනවා. ඒ අය නොදන්නා දේ අපෙන් දැන ඉගෙනගන්නවා. මේ ශාන්තිකර්ම ඉදිරියට ගෙනයාමට ඇති ප්‍රධානම බාධකය මෙම කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය පූජා භාණ්ඩ සොයාගැනීමේ අපහසුතාව. පුවක් මලක්, පොල් මලක්, කෙසෙල් කඳක්, පාට පාට මල් වර්ග වගේ සරල දේවල් පවා ඇතැම් ප්‍රදේශ වල සොයාගැනීමට අපහසුයි.”
මේ ශාන්තිකර්මවලින් ලෙඩුන් සුව වෙනවාද?
“ අද ඖෂධවලින් සුවනොවන එමට රෝග තිබෙනවා. විවිධ අමනුෂ්‍ය භූත බලපෑම් නිසා ලෙඩේට බෙහෙත් අහන්නේ නැති අවස්ථාවල රෝගීන්ගෙ ඥාතීන් ශාන්තිකර්මවල පිහිට පතනවා. හැබැයි මේ ශාන්තිකර්ම කරන ගුරුන්නාන්සේලා නැත්නම් කපුවන් වගේම ආතුරයන් (රෝගීන්) ඒ කටයුතු කරන කාලය තුළ හෝ මස් මාංසයෙන් වැළකී ආගමට දහමට ගරු කරමින් යහපත් ලෙස හැසිරිය යුතුයි. ශාන්තිකර්මය කරන ගුරා වුණත් ඒ වැඩේ හරියට ඉටුකළ යුතුයි. අමාරුවට පත් අයෙකුගෙන් මුදල් කඩාගෙන ඒ අය තවත් අමාරුවට පත්කරන හොරුන් නිසා අද මේ කටයුතු අවතක්සේරුවට ලක්වෙලා”
ඔබ කිවුවා රාජකාරියට බාධානොවන ලෙස ශාන්තිකර්ම කටයුතු කරන්න අවසර ලැබී තිබුණා කියලා. ඒත් යකා නැටුමත්, රාජකාරියත් දෙකක් නේද?
“මං මේ කටයුතු පටලවා ගත්තේ නැහැ. ශාන්තිකර්ම තුළින් ලද විනය, සංවරය ඉවසීම මගේ රාජකාරි කටයුතුවලට ආශිර්වාදයක් වුණා. ඒ වගේම මහසෝන් චරිතය වගේ යක්ෂ වෙස් ගත් අවස්ථාත් තිබුණා. අපරාධකරුවන්ට හිංසා නොකර බියගන්වා තොරතුරු හෙළිකර ගැනීමටයි. කලා කටයුතු ඉදිරියට ගෙනයෑමට මට දැන් කිසිම බාධාවක් නැහැ. මා දැන් රැකියාවෙන් විශ්‍රාමිකයි. අත පය සවිය තිබෙනාතුරු යකා නැටිල්ල දිගටම කරගෙන යනවා” යැයි ගුණසේන
ගීකියනගේ මහතා පැවසීය.
ප්‍රියදර්ශනී කහවල
ඉංගිරිය මධ්‍යම සමූහ