
සියලු දෑ මෙන්ම නීතිය ද වෙනස් වේ. එහෙත් වෙනස මූලික වෙනසක් නම් වෙනස් වීම කෙතරම් පැරැණි වුවද වෙනස් වූ නීතිය “අලුත් නීතිය” යි. වෙනස් කිරීමට පෙර පැවැති නීතිය ‘පැරැණි නීතිය’ යි. එමෙන්ම මේ නීති දෙක ම යම් උද්ගතවූ අවස්ථාවකට සරිලන ආකාරයට, අනුමැතියෙන් සහ නොරිස්සුමෙන්, නිරන්තර සන්සන්දනාත්මක පිරික්සීමට ලක්වීම නොවැළැක්විය හැකි ය. “ඒ කාලෙ තිබ්බ නීතියට අනුව...”; “මේක තමයි අලුත් නීතිය, පරණ නීතිය දැං වැඩක් නැහැ..” වැනි වැකි දිනපතා සෑම තැනකදී ම සෑම තරාතිරමකම අයෙකුගේ මුවින් යමෙකුට ඇසෙනවා අනන්ත අප්‍රමාණ ය.
වර්ෂ 1995 දී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධනය මඟින් එහි 345 වැනි වගන්තිය අහෝසි කරන ලදී. මෙම වගන්තිය කාන්තා-වින්දිත තැනැත්තියන්ට පමණක් සීමාවූ අතර ඉන් ප්‍රකාශ වූයේ: “ස්ත්‍රියකගේ හිරි ඔතප් බිඳීමේ අදහසින් හෝ එයින් ඇයගේ හිරි ඔතප් බිඳීමට ඉඩ ඇති බව දනිමින් යමකු ස්ත්‍රියකට අඩන්තේට්ටම් කරෙතාත් හෝ සාපරාධී බලහත්කාරය පාතොත් එය වරදකි. “හිරි ඔතප්” යනු කුමක් ද යන්න දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ නිරූපණයක් නොදැක්වේ. එහෙත් ව්‍යවහාරයට අනුව හිරි ඔතප් යනු කාන්තාවකගේ සිතෙහි ඇති “විළිබිය ඇති බව” යන්න උපකල්පනයක යෙදිය හැක. ඒ අනුව හිරි ඔතප් යනු කාන්තාවක විසින් ම නැති කර ගත හැකි මානසික අංගයක් පමණක් යැයි ඒත්තු යන බැවින් මේ වගන්ති යටතේ චෝදනා බොහෝ විට කියවනු ලැබුවේ “කාන්තාවකගේ හිරි ඔතප් බිඳීමට තැත් කිරීම” යනුවෙනි. සමහර විටෙක අධිකරණයේ ඝෝෂක හෝ පොලිස් සැරයන්වරයකු අතපසුවීමකින් චෝදනාව කියවනු ලැබුවහොත් “සීලවතීගේ හිරි ඔතප් බිඳීමේ වරදට තමුන් වැරැදිකාරයා ද නිවැරැදිකාරයා ද?” විලසට, මහ සිනහ හඬ මධ්‍යයයේ මහේස්ත්‍රාත්වරයා හෝ විත්තියේ නීතිඥවරයා “ඒක ඉතිං සීලවතීම තමයි කරගන්න ඕනේ, විත්තිකාරයා නෙමෙයි” යනුවෙන් උපහාසාත්මකව පවසනවා එවකට අසන්නට ලැබුණි.
දණ්ඩ නීති සංග්‍රහයේ වර්ෂ 1995 සංශෝධනය මඟින් ඉවත් කළ වගන්තිය වෙනුවට ආෙද්ශ කරන ලද වගන්තිය වූයේ ලිංගික අතවර කිරීම යි. මෙය කාන්තා - වින්දිත තැනැත්තියන්ට පමණක් සීමා නොවේ. මින් පවසන්නේ: “අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරයි” මෙහිදී නීතිය පැහැදිලි ය. එකල පැවති පැරැණි නීතිය මෙන් කාන්තාවකගේ සිතේ මැවුණේ කුමක් ද යන්න පරිකල්පනය කිරීමේ අවශ්‍යතාවක් නැත. කෙසේ වෙතත්, නිරීක්ෂණයට ලක්ව ඇති දෙය නම් පැරැණි නීතිය යටතේ හෝ අලුත් නීතිය යටතේ හෝ වේවා කාන්තා පැමිණිලිකාරියන්ගෙන් නම් හිඟයක් ඇති වී නැත්තේ මෙය පුරුෂ ආධිපත්‍යයට එරෙහි කාන්තා බලමහිමය දෙගුණ තෙගුණ කරන දේව වරමක් වූ නිසා ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සැකකරුවන්ගෙන් ද අඩුවක් ද නොවූයේ එකී සෑම පැමිණිල්ලක ම සැකකරුවෙකුගේ ද නමක් ද අඩංගු වීම නිසා ය.
නාමල් යන අය සැකකරුවෙකු වශයෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සුරංගිකා ජයසිංහ මහත්මිය ඉදිරියට පමුණුවන ලැබ තිබිණි. ප්‍රසන්න පෙනුමැති ඔහුගේ වයස අවුරුදු තිහක් පමණය. ලීවයිස් ඩෙනිම් කලිසමකින් සහ අප ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෝස්තරය සහ පාට වන නිල් - කහ පාටැති ටී ෂර්ටයකින් සැරසී සිටි ඔහු වෙනුවෙන් තරුණ නීතිඥ මහතෙක් පෙනී සිටියේ ය.
“ඇයි මොහු ඉදිරිපත් කරන්නේ?” සුරංගිකා ජයසිංහ මහත්මිය ඇසුවේ නාමල්ගේ නම කතා කරනා විට පැමිණිල්ල පැත්තෙන් ඉදිරියට පැමිණි තලතුනා වියේ පොලිස් සැරයන්වරයා ගෙන් ය. ඔහු සමහර විට “පැරැණි නීතිය” සමයේදී ද සේවයේ නියුතුව සිටියා විය හැක.
පොලිස් සැරයන්: “මැතිනියනි, මෙම සැකකරු කාන්තාවකගේ නිවෙසකට ඇයගේ ස්වාමි පුරුෂයා නැති අවස්ථාවේ ඇතුළු වෙලා තියෙනවා.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “ඒක වරදක් ද?” (සිනා)
පොලිස් සැරයන්: “මොහු අරව මේව කරන්න උත්සාහ කරලා තියෙනවා.” (උස් හඬින් සිනා)
සුරංගිකා ජයසිංහ මහත්මිය: “කරුණාකරල ටිකක් පැහැදිලි කරනවා ද. මට තවම වරදක් පේන්නේ නැහැ.”
පොලිස් සැරයන්: “මොහු මෙම නඩුවේ පැමිණිලිකාරියගේ අතින් අල්ලා ලිංගික අතවරයක් කරන්න තැත් කරලා තියෙනවා.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “තැත් කරලා? ඒක හරියට තැත් කිරීම පමණක් වරදක් වුණු පැරැණි නීතිය වගේ. ඇය ගෙදර තනියම ද සිටියේ?”
පොලිස් සැරයන්, “පොලිස් පැමිණිල්ලට අනුව ඇයගේ දරුවන් දෙදෙනා සහ ඇයගේ පියා නිවසේ සිට තිබෙනවා.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: දරුවෝ දෙන්නගේ වයස්?”
පොලිස් සැරයන්: “අවුරුදු දහහතරයි. අවුරුදු දොළහයි.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “ඒ වගේම තමුන් කියන්නේ කාන්තාවගේ පියාත් නිවසේ හිටියා කියලා.”
පොලිස් සැරයන්: “එහෙමයි මැතිනියනි.”
සුරංගිකා ජයසිංහ මහත්මිය (සැකකරුගේ නීතිඥ මහතා දෙසට හැරෙමින්): “මොකක් ද කියන්න තියෙන්නේ?”
නාමල්ගේ නීතිඥ: “මැතිනියනි, පොලිස් නිලධරයා කියන කතාවෙන් ම බැලූබැල්මට ම පැහැදිලි වෙනවා ඔය කියන ආකාරයේ වරදක් සැකකරු කරලා නොමැති විත්තිය. හේතුව මෙම කාන්තාව සහ ඇයගේ ලොකු දරුවන් සහ ඇයගේ පියාත් ඒ වෙලාවේ ඉඳලා තියෙනවා. එය ඒ අවස්ථාවේ සෙනඟ පිරුණු නිවසක්.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “මේ වාගේ දේවල් සෙනඟ පිරුණු බස් ඇතුළෙත් වෙලා තියෙනවා!” (උස් හඬින් සිනා)
නාමල්ගේ නීතිඥ: “මගේ සේවාදායකයා පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයාගේ හොඳ මිත්‍රයෙක්. ඔහුගේ ගෙදරට ගොස් යාළුකමට අතට අත දෙන්නයි අත දික් කරලා තියෙන්නේ.” (සිනා)
සුරංගිකා ජයසිංහ මහත්මිය: “ස්වාමි පුරුෂයා නැතිවෙලාවේ?” (සිනා)
නාමල්ගේ නීතිඥ: “මගේ සේවාදායකයා දැනගෙන හිටියේ නැහැ ඔහුගේ මිත්‍රයා නිවසේ හිටියේ නැහැ කියලා.”
පොලිස් සැරයන්: “පැමිණිල්ලට අනුව ස්වාමි පුරුෂයා සහ මෙම සැකකරු අතර කලින් දවසේ ආරවුලක් තිබිලා තියෙනවා.”
නාමල්ගේ නීතිඥ (උද්‍යෝගයෙන්): “අන්න බලන්න මැතිනියනි. නිසැකව ම මේ පැමිණිල්ල ඔය කිව්ව ආරවුලේ ප්‍රතිඵලයක්. පැමිණිලිකාරිය ලිංගික අතවරය එකතු කරලා තියෙන්නේ තත්ත්වේ බරෑරුම් කරල පෙන්නල අධිකරණය කලබල කරවල සැකකරු රිමාන්ඩ් කරවන්න.” (සිනා) මගේ සේවාදායකයා වැදගත් විදියට කසාද බැඳපු පුද්ගලයෙක්.”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “වැදගත් විදියට කසාද බැඳපු අයත් මේ වගේ වැරැදිවලට වරදකාරයෝ කරල තියෙනවා.” (උස් හඬින් සිනා)
නාමල්ගේ නීතිඥ: “මේක නිතරම සිද්ධ වෙනව. කාන්තාවක් පිරිමියෙකුට විරුද්ධව සුළු වරදකට පැමිණිල්ලක් කරන්න පොලීසියට ගිය විට. ඔවුන්ට තියෙන්නේ ලිංගික අතරවය කියන වචන ටික එකතු කරන්න විතරයි. එවිට සැකකරු රිමාන්ඩ් කිරීමේ අවදානම වැඩි වෙනවා. රිමාන්ඩ් කළොත් හානිය සිදුවී හමාරයි!”
සුරංගිකා ජයසිංහ මහත්මිය: “කාන්තා වරප්‍රසාදයක්!” (උස් හඬින් සිනා)
නාමල්ගේ නීතිඥ: “සහ පිරිමි අවාසනාවක්!” (උස් හඬින් සිනා)
සැකකරු ඇප මත මුදා හැරුණු අතර ඔහුට පැමිණිලිකාරියගේ නිවෙස පැත්ත පළාතේ නොයන ලෙසට අවවාද කෙරිණි.
වර්ණන් ගුණසේකර