
ගල්ඔය ව්‍යාපාරය කාලේ මේ ගමේ පදිංචි වුණු අපට ජාති ආගම් බේද නෑ
සින්නවත්ත ගමේ කතුනට ඕනෑ තරම් කාලය තිබේ. එහෙත් ගමේ සම්පත් හිඟය. ඔවුන්ට උවමනා අතට කීයක් හෝ ලබා ගැනීමට එදිනෙදා කළ හැකි ස්වයං රැකියාවකි. යම් ආයතනයකට හෝ සංවිධානයකට ඒ සඳහා අතහිත දිය හැක්කේ නම් ගමේ කතුන්ට කරනා මහඟු උදව්වක් වනු ඇත.
සිංහල දෙමළ මුස්ලිම් හැම වර්ගයේම ජනතාව මේ ගමේ බොහෝම සහයෝගයෙන් ජීවත් වූහ. නමුත් මුස්ලිම් හා දෙමළ ජනතාව දැන් ගමේ නැත. මේ ගම්මුන් ඉල්ලන්නේ ඒ සැමටම නැවත ගමටවිත් පදිංචිවන ලෙසය. එය ගමේ දියුණුවට පිටිවහලක් වනු ඇති බව ගම්මුන්ගේ අදහසය..
වෙහෙස නිවා ගැනීමට හෝ තේ උගුරක් බීමට කඩ මණ්ඩියක් හෝ නොමැති නිල්ල පිරුණු වෙල් යාය මැදින් අපි ඉදිරියට ගියේ සින්නවත්ත ගම සොයාය. පාළුවට ගිය ගම් මණ්ඩියේ ගැමියෙකු සොයා ගැනීම අපේ ඊළඟ අරමුණ වුයේය. අපි එහෙ මෙහෙ ඇවිද්දෙමු. එය ඉබාගාතේ යන ගමනක් බඳුය. අවසන එක් නිවෙසකට ගොඩ වුයෙමු. ඇය අප පිළිගත්තේ විමතියෙනි. අප කවුරුන්ද කොහෝ සිට පැමිණීයේ ද යන්නවත් නො විමසු ගෙහිමි කත හනික මුළුතැන් ගෙට ගියාය. මොහොතකට පසු ඇය පැමිණියේ තේ කෝප්ප බන්දේසියක් ද රැගෙනය.
හුඟක් මහන්සියි වගේ... මේ අය කොහෙන්ද?” ඇය අප විමසුවේ කරුණාවෙනි.
“අපි සිළුමිණ පත්තරෙන් ”
“දෙවියනේ... කොළඹින් ..අපේ ගමට ඔය තරම් දුර ඉඳලා අය එන්නේ නැහැනේ... අපි පන්සලට යමු... ගමේ අය හමුවෙමු... කොයිතරම් දෙයක්ද අප බලන්න ආ එක..අපි මේ ගම්වල තිනවෙච්ච මිනිස්සු...” පී. ජී. බණ්ඩාර මැණිකේනම් වන ඇය පැවසුවාය.
ඇය සියලු වැඩ අතහැර අප සමඟ ගම්මැද්දේ යන්නට එක්වුවාය.
සින්නවත්ත හෙවත් කුඩා උයන අම්පාර දිස්ත්‍රික්යේ ආරම්භය මෙන්ම මඩකළපු දිස්ත්‍රික්යේ අවසන් මායිමේ පිහිටි ගම්මානයයි. සින්නවත්ත මඩකළපුව දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය ද වන්නේය. කෙසේ හෝ පසුගිය දිනවල මඩකළපුව කළ සංචාරයේදී සින්නවත්ත ගම්මානය සොයා යන්නට අපි අදහස් කළෙමු. ඒ සඳහා බොහෝ දුර යායුතුය. එනම් මඩකළපුව නගරයේ සිට කිලෝමීටර අනූවකට ආසන්න දුරක් ගෙවා අපි සින්නවත්ත ගම්මානයට ගියෙමු. මඟ දිගට හමුවූයේ වියළි පරඬලා බවට පත් වු ගොයමින් යුතු දියපොදක් හෝ තෙත බිඳක් නැති වෙල් යායකි. ඒ මැද්දෙන් ඉහළ නැගෙන දුවිලි වලා ගත වෙහෙසට පත් කරයි. සින්නවත්තට යන කෙටි මඟ වූයේ එයයි. මඟ පෙන්වන්නට ගිය කුමාර අප හා පැවැසුවේ එසේය. ගමන පිටත් වුයේ උදෑසන දහයට පමණ වුවද සවස දෙක පසුවන තුරුත් අප සිටියේ අතර මඟය. වෙහෙසකර ගමනකින් පසු අප සින්නවත්තට ළඟා වූයෙමු.
“යුද්ධ කාලේ අපි හරියට යුද්දෙන් පීඩා වින්දා . අපේ ආර්ථිකය වුණත් බොහෝම අමාරුයි. දරුවෝ හදාගන්න අමාරුයි. රැයක් දවාලක් නැහැ කොටි ගමට ගහනකොට අපි දුවනවා. දරුවන්ට තිබුණු ආදරය නිසාම හොඳට උගන්න ගන්න ඕනැ නිසා පුතාල දෙන්නෙක් පැවිදි කෙරුවා. ලොකුම පුතාලා දෙන්නා විවාහ වෙලා. බාල පුතා තවම ඉස්කෝලේ යනවා. මගෙ මහත්තයා සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරන්නේ. යුද්ද කාලේ මේ ගමේ හුඟක් පිරිමි අය සිවිල් ආරක්ෂක බළකායට බැඳුණා.”බණ්ඩාර මැණිකේ අම්මා අප සමඟ යන අතරේ පවසන්නට වුවාය.
සින්නවත්ත ගම ආරම්භ කර ඇත්තේ දිවංගත ඩී .ඇස් . සේනානායක මහතාගේ යුගයේදී . ඒ සංහිඳියාවට මුලික අඩිතාලම දමමිනි. අප අද ජාතින් අතර සංහිඳියාව පිළිබඳ කතා කරන විට මීට අවුරුදු හැට ගණනකට පෙර සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් පදිංචි කරමින් සින්නවත්ත ගම්මානය ආරම්භ කර ඇත්තේය. නමුදු අරුමය නම් දැන් සින්නවත්ත ගම්මානයේ පදිංචිව සිටින්නේ සිංහල පවුල් තිස් හතළිස් ගණනක් පමණක් වීමය. සහෝදරත්වයෙන් ජාතීන් අතර බැඳීමෙන් සිටි ගැමියන් දැන් පසු වන්නේ කනස්සල්ලෙනි. ඒ තම ගම හැර ගිය දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අඩුව ඔවුන්ට දැන් පෙරටත් වඩා දැනෙන බැවිනි. සින්නවත්ත ගම්මුන් සොයා ගිය ගමනේදී අපට එහි මුල් පදිංචිකරුවන් කිහිප දෙනෙක් ද හමුවීමට අවස්ථාව ලැබිණි. 1956 වසරේ ගමේ පදිංචියට පැමිණි ඒ. එම් සමරසේකර එවැනි පවුලක අයෙකි. දැන් ඔහු බෙහෙවින් වියපත්ය. නමුදු ගමේ දරු දැරියන් වෙනුවෙන් හෙතෙම කලායතනයක් පවත් වාගෙන යන්නේය. වියපත් වුවද ඔහු තවමත් නැටුමට ගැයුමට වැයුමට හපනෙකි. අප ඔහු සොයා යන විටද ඔහු සිටියේ ගැටබෙරයක ලකබුරුල (සුසර) හදමින් සිටියේය.
සමරසේකර මාමා අප පිළිගත්තේ සුහද සිතිනි.
“මේ ගම්වලට අපි බලන්න කෙනෙක් එන්නේ බොහෝම කලාතුරකින්. අපේ අම්මලා මේ ගම්මානයේ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ ගල්ඔය ව්‍යාපාරය හැදෙනකොටයි. ඒ එනකොට ගොඩින් වගේම මඩින් ඉඩම් දීලා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් යන ජාතීන් තුනෙන්ම පවුල් 156ක් මෙහෙ පදිංචි කරවලා තියෙනවා. දැන් මේ ගමේ ඉන්නේ ඒ කාලේ පදිංචි වෙච්ච පවුල්වල දෙවැනි තුන්වැනි පරම්පරා. මේ ගමට ඉස්කෝලයක් තිබුණා මැදයායේ. යුද්ද කාලේ විනාශ වූ ඒ ඉස්කොලේ දැන් නැහැ. දැන් දරුවෝ කිලෝමීටර ගාණක් පයින් යන්න ඕනෑ ඉස්කෝලෙට. කොහොම වුණත් මේ ගමේ මිනිස්සු 1985 අවුරුද්දේ ගම අත් ඇරලා ගියා. අපි හිටියේ කඳවුරුවල. ඒකාලේ යුද්දේ බොහෝම දරුණුවට තිබුණා. ගෝනාගල ඉස්කෝලේ කඳවුරුවල තමයි අපි හිටියේ. කාලෙකට පස්සේ ආරක්ෂාවට ගමට හමුදාවෙන් දැම්මා. ඒ කාලේ අපි උදේ හත වෙනකොට ගමට එනවා. උදේට දවල්ට උයාගෙන කාලා රැට කෑමත් අරගෙන කඳවුරුවලට යනවා. අපි බොහෝම අමාරුවෙන් දරුවන්ට උගන්නන්න ගත්තා. දැන් මගෙ දරුවෝ හොඳ රස්සාවල් කරනවා. අපේ ගම බොහෝම දුෂ්කර ගමක්. මේ ගමට ගොවිතැන් කරන්න ජලය ලැබෙන්නේ ඉඟිනියාගල ජලාශයෙන්. සැතපුම් තිහ හතළිහක දුර ඉදලා ඇළ මාර්ගයෙන් තමයි වතුර ගේන්නේ.” සමරසේකර මාමා පවසන්නේය.
ඉඟිනියාගල ජලාශයේ සිට ගමට වතුර ගෙන ආවද දැන් මේ ප්‍රදේශය දැඩි නියඟය විසින් වසාගෙන ඇත්තේය. ගම්මු මෙයින් බොහෝ පීඩා විඳිති.
“කාලයක් අපි යුද්දේ නිසා පීඩා වින්දා. නමුත් දැන් අපි පීඩා විඳින්නේ වන අලින්ගෙන්. කෙහෙල් කොටුවක් පොල් ගස් , හේන, කුඹුර, අලි නිසා පරිස්සම් කරගන්න අමාරුයි. මේවට කවුරුවත් අපට විසඳුම් දෙන්නේ නැහැ. නමුත් අතීතයේ මේ ගම්වල අලි හිටියට මේ තරම් කරදර කරලා නැහැ. ඒ කාලේ පවුල් එකසිය ගණනක් ඉඳලා තියෙනවා. නමුත් දැන් ඉන්නේ පවුල් හතළිස් ගණනයි. සිංහල දෙමළ මුස්ලිම් හැම වර්ගයේම ජනතාව මේ ගමේ බොහෝම සහයෝගයෙන් හිටියා. මුස්ලිම් දෙමළ අය ගම අත්හැරලා යන්න ගිහින්. නැවත අපේ ගමේ ඇවිල්ලා පිරිස පදිංචි වෙනවා නම් එය ගමේ දියුණුවට පිටිවහලක්. අපට ජාති ආගම් බේදයක් නැහැ. අපිට ගමට ශක්තියක්. අපි ඉගෙන ගත්තේ බොහෝම අමාරුවෙන්. කඳවුරුවල කුප්පි ලාම්පු පත්තු කරගෙන ඉගෙන ගෙන තමයි අද මේවගේ තැනකට ආවේ. නමුත් අපේ ගම්වල හුඟක් අයගේ ඉගෙනීම අතරමඟදි කඩාකප්පල් වුණා ” ගුරුවරයකු ලෙස කටයුතු කරන මද්දුම බණ්ඩාර පවසන්නේය. ඔහු සින්නවත්ත ගමේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරන්නේය.
මඩකලපුව දිසත්රික්කයට අයත් සින්නවත්ත ග්‍රාමය වෙල්ලාවලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් වන්නේය. ද්‍රවිඩ ජනතාව බහුලව ජීවත් වන මෙම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයන් හී සියලු කටයුතු කෙරෙන්නේ දෙමළ භාෂාවෙනි. මෙය තමන්ට සිදුවන ලොකුම අසාධාරණයක් ලෙස ගම්මු සලකති. කලක් ගමේ පන්සල තිබුණේ ද පාළුවට ගොස්ය. එනිසා ගම්මු බොහෝ අපහසුතාවයන්ට පත් වෙති. නමුදු මීට වසර හතරකට පමණ පෙර ගමේ පන්සල වන සින්නවත්ත ශ්‍රි පන්ථාරාමයට වැඩම කළ දේවාලේගම කුසලානන්ද හිමි දැන් ගම්මුන්ට විශාල ශක්තියක් වී ඇත්තේය. දේවාලේගම කුසලානන්ද හිමියන් ගම හා පන්සල පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.
“මම මේ ගමට ආව දවස්වල මා දුටුවම ගමේ පොඩි දරුවෝ දුවලා ගිහින් හැංගෙනවා. ඒ අය හාමුදුරු නමක් ඊට පෙර දැකලා නැති නිසා. නමුත් දැන් පන්සලේ දහම් පාසලකුත් පවත්වාගෙන යනවා. දැන් ගමේ අය හැම ප්‍රශ්නෙටම එන්නේ පන්සලට. ගමේ ඉන්නේ පුංචි පවුල් ප්‍රමාණයක්. මේ ගම්වල මිනිස්සු බොහෝම දුක් විඳපු අය. නමුත් මේ ගම දෙමළ ගම්මාන මැද්දේ බොහෝම හුදකලා වෙලා තියෙන්නේ. දායකයන්ගේ දායකත්වය පන්සලට තිබුණත් පන්සලේ සංවර්ධන කටයුතු කරගෙන යන්න තරම් විය පැහැදම් කරන්න ගම්මුන්ට බැහැ. යුද හමුදාවෙන් අපට හොඳ සහයෝගයක් ලැබෙනවා. අපි යෝජනා ගණනාවක් ගෙනැල්ලා තියෙන්නේ ගමේ අලුතින් පවුල් පදිංචි කරන්න කියලා. මම පවුල් 27 ක තොරතුරු ප්‍රාදේශිය ලේකම්ට බාර දිලා තියෙනවා. අපිට ජාති ආගම් බේද නැහැ. අපේ ගම හුෙදකලා නොකර එන්න ඇවිත් ඕනෑම ගමකින් ඇවිල්ලා මෙහෙ පදිංචි වෙන්න කියලා තමයි අපි ආරාධනය කරන්නේ.”
පන්සලේ බුදු මැදුරේ තවමත් වැඩ නිමවී නැත. රටේ කොයි කොනක සිටින අයෙකු වුව මේ විහාරයේ වැඩ නිමකර ගැනීමට යම් ආධාරයක් කරන්නේ නම් එය මහඟු පින්කමක් වනු ඇත.
දුක කඳුළ බොහෝ අවහිරතා බාධක සඟවාගෙන වුව ගම්මුන් සිටින්නේ සිනහමුසු මුහුණෙනි. සින්නවත්ත ග්‍රාමයේ මුල් පදිංචි කාරියක වන සෝමලතා අම්මා දැන් දිවි ගෙවන්නේ සිය දියණියගේ සෙවණේය. ඇය බෙහෙවින් වයෝවෘද්ධය.
“අපි හිටියේ කෑගල්ලේ. ඉඩම් ලැබෙනවා කිව්වම මෙහෙ පදිංචියට ආවා. ඒ කාලේ මේ ගම බොහොම සරුයි. ඇළේ හොඳට වතුර තිබුණා. අපි ගොවිතැන් කටයුතු කරගෙන හොඳින් හිටියා. යුද්ධය පටන් ගත්ත කාලේ හැම වෙලේම දරුවොත් ඇදගෙන දුවනවා ජීවිත බේරා ගන්න. දැන් ගමට තියෙන ලොකුම ප්රශ්නය තමයි වන අලි. රංචුවක අලි හතළිහක් පනහක් විතර ඉන්නවා. ඒ මදිවාට රිලවුන්ගෙනුත් කරදරයි.” සෝමලතා අම්මා පවසන්නේ කනගාටුවෙනි.
සින්නවත්තේ බොහෝ පවුල්වල පිරිමි ග්රාමාරක්ෂක බළකායේ සේවය කරති. එය ඔවුන්ගේ ගමට ද රැකවරණයකි. ගමේ හොර හතුරන් නැත. ගොවිතැන් කටයුතු අසීරු නිසා දරු පවුල් රැක ගැනීමට ගමේ පිරිමි ගමෙන් පිට රැකියා සොයා යති. සින්නවත්තේ කාන්තාවන්ට අමතර රැකියාවක් කිරීමට ඕනෑතරම් වෙලාව ඇත්තේය. නමුදු ස්වයං රැකියා ලෙස කුමක් කරන්න ද කියා ඔවුන්ට අදහසක් නැත. අප එහි යනදා ගමේ සියලුම කාන්තාවන් සිටියේ පුංචි රැස්වීමකය.
අප හමුවූ ඔවුහූ තම දුක පවසන්නට වූහ.
“දරුවන් පාසල් යවලා ගෙදර වැඩ කළාට පස්සේ අපි ගෙවල්වලට වෙලා ඉන්නේ නිකං. අපට ආර්ථික ප්‍රශ්න ඕනෑ තරම් තියෙනවා. අපිත් ආසයි අතට කීයක් හරි ලැබෙන දෙයක් ගන්න. අපිට පුළුවන්නම් ස්වයං රැකියාවක් පටන් ගන්න. අමතර ආදායමක් ලබන්න පුළුවන්. අපිට බිම්මල් හදන්න බැහැ. මෙහෙ වතුර නැති නිසා . වගා කරන්න බැහැ වැස්ස නැති නිසා. ඇගළුම් කර්මාන්ත ශාලාවක් වත් තිබුණානම් එතැන රස්සාවට යන්න තිබුණා. පුළුවන්නම් පත්තරේට ලියන්න අපේ ගමට ඇවිල්ලා කාට හෝ අපි වෙනුවෙන් ස්වයං රැකියාවක් ආරම්භකරන හැටි කියලා දෙන්න කියලා...” . කුලඟන සමිතියේ රැස්වීමට සහභාගී වී සිටි කාන්තාවෝ එක හඬින් පැවසූහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම සින්න වත්ත වුවද ගැමියන් කවුරුත් එකමුතුය. ගමට යහපතක් වීමට නම් ගමේ හිස් බිම්වල ජනතාව පදිංචි විය යුතුය . කෙතරම් හොඳින් ඉගෙන ගත්ත ද රැකියාවකට හෝ සම්මුඛ පරීක්ෂණයකට ගිය විට ගැමි දරුවෝ පසු බසිති.
“දරවෝ ඉගෙන ගන්නේ සිංහල ඉස්කෝලේ. ඒ අයට දෙමළ බැහැ. නමුත් මඩකළපුව දිස්ත්‍රික්කයේ රැකියාවකට ගියාම දෙමළ නැති නිසා අපේ දරුවන් පසු බසිනවා. අපට ලියුමක්ආවත් එන්නේ දෙමළ භාෂාවෙන්. ඒ වෙලාවට අපිට සිදුවෙනවා දෙමළ භාෂාව දන්න කෙනෙක් හොයාගෙන යන්න. අපි දරුවන්ට උගන්න ගන්න පුදුම දුකක් විදින්නේ” . පුෂ්පලතා පවසන්නේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනයට වටිනාකමක් නැතිකම ගැන කනගාටුවෙනි.
සින්නවත්ත ගැමියන් ආගන්තුක සත්කාරයට බොහෝ ලැදිය. නමුදු හුෙදකලාවේ කල් ගෙවන ඔවුන්ට ජිවිතයේ වෙනසක් රසවින්දනයක් නැත . හැමදේම කියන්නට ඔවුන්ට සිටින්නේ පන්සලේ හාමුදුරුවන් පමණි. හුෙදකලාවේ කල් ගෙවන මේ ගැමියෝ කොයි මොහොතේ හෝ තම ගම්මානයේ හිස් ඉඩම්වල අලුත් පවුල් පදිංචි වෙතැයි දෑස් දල්වා බලා සිටිති. එමෙන්ම නිවෙස්වල නිකරුණේ දවස ගතකරන කාන්තාවන් බලා සිටින්නේ අතමිට සරුකර ගන්නට ස්වයං රැකියාවක් ගැන යම් ආයතයක් හෝ සංවිධානයක් තම ගම සොයා එනතෙක්ය. ඈත දුෂ්කර අදටත් රටේ බහුතරයක් නොදන්නා මේ සිංහල ගම්මානයේ ජනතාවගේ, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔබට කළ හැකි යමක් වේ නම් ඔබත් යන්න සින්නවත්තට..