මාධ්‍යවේදීන්ට සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් නාරායන් | සිළුමිණ

මාධ්‍යවේදීන්ට සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් නාරායන්

ආපසු ගිය මෝම් ඔහුගේ නිර්මාණ අගය කරමින් ලිපියක් ලියා ඇත. ඉන්දියානු ඉංගිරිසි සාහිත්‍ය ලෝකයට රැගෙන යෑමේදී නාරායන්, රාජා රාඕ, මුල්ක් රාජ් ආනන්ද වැනි ලේඛකයන් හා සමාන කාර්යභාරයක් ඉටු කළේය.

ඔහු ගැන නොදන්නා පොඩි ළමයෙක් පවා නැත. ඔහු මැවූ නගරය ලෝක සිතියමේ නැත. එහෙත් සිතියමේ ඇති ගමකට, පළාතකට වඩා හොඳින් ලෝකය ඒ නගරය හඳුනන්නේ ය. ඔහු විශිෂ්ට ඉන්දියානු ලේඛක ආර්.කේ. නාරායන්ය. නම කියූ විට ගම කියන්නට අවශ්‍ය නැත, මල්ගුඩිය යනුවෙන් ඔබ පිළිතුරු දෙනු ඇත. කෙසේ වුවද ඔහුගේ ජීවිතය හා සබැඳි වැඩිදෙනකු නොදන්නා අප්‍රකට කාරණා ගණනාවක් ද ඇත.

යටත්විජිත ඉන්දියාවේ උපත ලැබූ රාසිපුරම් ක්‍රිෂ්ණසේවාවි අයියර් නාරායන් ස්වාමි ඉන්දීය නිදහස් අරගලයට සහාය ද දක්වමින් පැවැති පාගමනකට සහභාගි වනවිට දොළොස් හැවිරිදි කුඩා ළමයෙකි. ඔහු තුළ අධිරාජ්‍ය විරෝධි අදහස් මෝදුවීමට වඩාත් බලපෑවේ ඔහුගේ මාමාය. උසස් අධ්‍යාපනය නිමා කළ නාරායන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ගුරුවරයකු වශයෙනි. එහෙත් විදුහල්පත්වරයා සමඟ ඇතිවූ මතභේදයක ප්‍රතිඵලයක් ලෙස ඔහු ගුරු භූමිකාවෙන් නික්ම ගියේය. පොත - පත කියැවීමට දැඩිව නැඹුරු වී සිටි නාරායන් තමන්ට ගැළපෙන වෘත්තීයමය භූමිකාව ලේඛකයකුවීම බව තේරුම් ගත්තේය. එවක් පටන් ඔහු කළේ නිවසට වී නවකතා ලිවීමයි. කෙසේ වුවද ඔහුගේ ලේඛන අතරින් මුලින් ම ප්‍රකාශයට පත්වූයේ නවකතාවක් නොවේ. එය සාගර නීතියට අදාළ ලියවිල්ලක් වූ අතර 17 වැනි සියවසේ එංගලන්තයේ සාගර නීතිය මැයෙන් ලියැවුණු කෘතියක් පිළිබඳ විචාරයකි.

ඉංගිරිසි පුවත්පත් හා සඟරා කිහිපයකට ද ඔහු ලිපි සැපැයීය. පුවත්පත්වලට ලිපි සැපයීමෙන් ඔහුගේ ආර්ථිකය නම් යහපත් නොවීය. පළමු වසර තුළ ඔහු ඉන් ඉපැයූ මුදල රුපියල් 9කට මඳක් වැඩි විය. කෙසේ වුවද ඔහුට තිබුණේ සරල දිවි පෙවෙතකි. නාරායන් සිය පළමු නවකතාව ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ලීවේ 1930 දීය. ඒ වනවිට ඔහු 24 හැවිරිදි වියේ පසුවිණි. මේ පළමු නවකතාවට ඔහුගේ මාමාගෙන් ලැබුණේ ද අයහපත් ප්‍රතිචාරයකි. එමෙන්ම එය ප්‍රකාශකයන් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් අර්ධචරිතාපදානමය තුන් ඈඳුණු නවකතාවක පළමු කොටසයි. “මල්ගුඩි නගරය” පාඨඛයාට මුල්වරට හමවුන්නේ ද මේ නවකතාවෙනි.

නාරායන්, 15 හැවිරිදි රාජවි නම් අසල්වැසි ගැහැනු දැරිවියක සමඟ ප්‍රේමයෙන් වෙළෙන්නේ ඔහු 27 හැවිරිදි තරුණයකුව සිටියදීය. රාජවිගේ පියාගේ අවසරය ලබාගන්නා ඔහු ඇය විවාහ කර ගැනීමට සමත් විය. විවාහයෙන් පසු බ්‍රාහ්මණ නොවන කුලවල ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි “ද ජස්ටින්” නම් පුවත්පතක වාර්තාකරුවකු ලෙස නාරායන් රැකියාවක් සොයා ගත්තේය. මේ වකවානුවේදී ඔහුට විවිධ පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ද ඉඩ ලැබිණි. “ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්” අත් පිටපත නාරායන් ඔක්ස්ෆර්ඩ් හි සිටි සිය මිතුරකුට යොමුකර තිබිණි. ඔහු එය ග්‍රැහැම් ග්‍රීන්ට පෙන්වා තිබේ. එය මුද්‍රණයෙන් එළිදැක්වීමට සුදුසු කෘතියක් බව නිර්දේශ කරමින් ග්‍රීන් එය සිය ප්‍රකාශකයාට යවා ඇත. අන්තිමේදී පොත ලියා වසර 5කට පසු 1935 දී එය ප්‍රකාශයට පත්විය. ඉංගිරිසි පාඨකයාට වඩාත් සමීප විය හැකි පරිද්දෙන් නම කෙටියෙන් යොදන ලෙසට නාරායන්ට උපදෙස් දී ඇත්තේ ද ග්‍රීන්ය. ක්‍රමයෙන් ග්‍රීන් සහ නාරායන් සමීප මිතුරන් බවට පත්විණි. නාරායන්ගේ දෙවන නවකතාව “ද බැචලර් ඔෆ් ආර්ට්ස්” 1937 දී ප්‍රකාශයට පත් වූයේ ද ග්‍රීන්ගේ නිර්දේශය මතය.

වර්ෂ 1939 දී සිය බිරිඳ රාජව් ටයිපොයිඩ් වැලැඳී ජීවිතයෙන් සමුගැනීම නාරායන් බරපතළ ලෙස කම්පනයට පත්කළ සිදුවීමක් විය. ඒ වනවිට තුන්හැවිරිදි වියේ සිටි ඔවුන්ගේ දියණිය හේමා ගැන සිතා ඔහු බලවත් සේ සංවේදී විය. බිඳවැටුණු මානසිකත්වයෙන් ගොඩඒමට ඔහුට කාලයක් ගත විය. “ද ඉංග්ලිෂ් ටීචර්” නවකතාව එළිදකින්නේ ඔහු එම කම්පනයෙන් මිදීමට ගත් වෑයමක් පරිද්දෙනි. එය තුන් ඇඳුතු නවකතාවක තෙවැන්න වූ අතර මුල් කෘති දෙකට ම වඩා ඔහුගේ චරිතය සමඟ සමීපව බද්ධ විය. මේ කෘතියෙන් පරාවර්තනය කෙරෙන්නේ රාජිව්ගේ සමුගැනීමෙන් කම්පනයට පත්ව සිටි තමාගේ ම චරිතය බව නාරායන් ම ප්‍රකාශ කර තිබේ.

නාරායන්ගේ කෘතීන් අතර වඩාත් ජනප්‍රිය මෙන් ම අවධානයට ලක්වූ නිර්මාණය වන “මල්ගුඩි දවස්” කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත්වූයේ 1942 දීය. ඒ වනවිට “ඉන්ඩියන් නෝට්ස්” නමින් ඔහු වාර සඟරාවක් පළ කරමින් සිටියේය. “ඉන්ඩියන් නෝට්ස් පබ්ලිකේෂන්ස්” නමින් තමාගේ ම ප්‍රකාශන ආයතනයක් ඇරැඹීමට ද ඔහු ක්‍රියා කළේය. එය අදටත් පවතී. ඔහුගේ මිනිපිරියක එය පවත්වාගෙන යයි.

1956 දී සිදුවූ සිය දියණියගේ විවාහයෙන් පසුව නාරායන් වැඩි වශයෙන් දේශාටනයේ යෙදිණි. චාරිකා කරන අතර පවා දිනකට වචන 1500 ක්වත් ලිවීමට ඔහු වගබලාගත්තේය. “ද ගයිඩ්” නවකතාව ඔහු අතින් ලියැවුණේ රොක්ෆෙලර් පදනමේ ශිෂ්‍යත්වයක් මත 1956 දී අමෙරිකාවට ගොස් සිටියදීය. එය ඔහුගේ පළමු අමෙරිකා සංචාරයයි. මිචිගන්, කැලිෆෝනියා වැනි විශ්වවිද්‍යාලවල ඔහු දේශන පැවැත්වීය. අමෙරිකාවේ ගතකළ නවමස් කාලසීමාව තුළ ඔහු පෞද්ගලික දින සටහන් එකතුවක් පවත්වා ගත්තේ මුද්‍රණය කරන අදහසින් නොවේ. කෙසේ වුවද “මයි ඩේට්ලස් ඩයරි” යනුවෙන් එම සටහන් 1964 දී ප්‍රකාශයට පත් විය. නාරායන් මේ කෘතිය හඳුන්වා දුන්නේ එය අමෙරිකාව ගැන තොරතුරු ඇතුළත් කෘතියක්වත් අමෙරිකානු සංස්කෘතිය ගැන අධ්‍යයනයක්වත් නොව ප්‍රධාන වශයෙන් ම අපදානමය කෘතියක් වශයෙනි.

නාරායන්ගේ ලේඛන ශෛලිය ඇන්ටන් චෙකොව්, ගී ද මෝපසාං සහ ඕ හෙන්රි වැනි ලේඛකයන්ගේ ශෛලියට සමාන වේ. ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක සමර්සේට් ෙමා්ම් වරක් ඔහු මුණගැසීමට මයිසූරයට පැමිණ ඇත. එහෙත් මයිසූරයේ වැසියන් නාරායන් ගැන දැන නොසිටි නිසා ෙමා්ම්ට ඔහුගේ නිවස සොයගත නොහැකි වී තිබේ. ආපසු ගිය ෙමා්ම් ඔහුගේ නිර්මාණ අගය කරමින් ලිපියක් ලියා ඇත. ඉන්දියානු ඉංගිරිසි සාහිත්‍ය ලෝකයට රැගෙන යාමේදී නාරායන්, රාජා රාඕ, මුල්ක් රාජ් ආනන්ද වැනි ලේඛකයන් හා සමාන කාර්යභාරයක් ඉටු කළේය. ඉන්දීය පුරවැසියකුට ලද හැකි එරට ඉහළම සම්මාන අතරින් දෙවන හා තෙවන සම්මාන වන පද්ම භූෂණ හා පද්ම විභූෂණ සම්මාන ඔහු වෙත පිරිනැමිණි. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා ද අවස්ථා කිහිපයකදී ම ඔහුගේ නාමය නිර්දේශ විය. 1989 දී ඉන්දීය රාජ්‍ය සභාවට ද ඔහු නම් කෙරිණි. නාරායන්ගේ කෘතිවල චිත්‍ර නිර්මාණය කළේ ඔහුග් බාල සොහොයුරු ආර්.කේ. ලක්ෂ්මන්ය. ඔහු ඉන්දියාවේ සිටි විශිෂ්ට කාටුන් ශිල්පියෙකි. “මල්ගුඩි දවස්” රසවාහිනී කතා මාලාව ආරම්භයේ ඔබ දකින මල්ගුඩි දුම්රිය ස්ථානය ඇතුළත් රූපරාමුව ද ඔහුගේ සිතුවමකි. ලේඛකයකු ලෙස ආර්.කේ. නාරායන් සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් තරම්ය. ජනමාධ්‍යවේදීන්ට වෙන් කිරීමට තරම් කාලයක් තමන්ට නැති බව ඔහුගේ අදහස විය. ඔහු රසිකයන්ට ද ප්‍රිය නොකළේය. “ඔවුන් කවුරුත් කියන්නේ එකම දෙයක්” යැයි ඔහු ඊට හේතුව පැහැදිලි කර තිබේ. එතෙකුදු වුවද

ඔහු මිනිසුන් සමඟ කතාබහ කිරීමට ප්‍රිය කළේය.

Comments