දැක නොදුටු වත | සිළුමිණ

දැක නොදුටු වත

කෙටි කතාව

ය‍හනේ වාඩි වූ මිත්‍ර ප්‍රථමයෙන් තවුසකුගේ සේ දෙකට බෙදී ගිය දිගැති හිස කෙස් දෙඅතින් සකස් කර ගත්තේ ය. ඉන්පසු පැත්තට හැරී නිදන ෂෙහන්යා දෙස බලා සිටියේ ය. ඇගේ පැහැපත් වත ඇඳිරි නිලැති පහන් එළියට හසු නොවේ.

මිත්‍ර, හෙමිහිට ෂෙහන්යාට කතා කළේ ය. එහෙත් ඇය සිටියේ නිදි නැතිවයි. හෝරාවකට වඩා වැඩි කාලයක් ඇය දිගින් දිගට ම සිතුවාය. ඇය ඒ තැනට ගමන් කර තිබුණි. සොඳුරු සිහින ප්‍රාර්ථනා විසිතුරු වීදුරු මල් බඳුනක් බිම වැටී බිඳී විසිරෙන්නා සේ ඇගේ වෛර්ණ ලෝකය බිඳී ගොසින් ය. එහි නිශ්චිත බවක් තිබුණි. අනාගතයේ තව බොහෝ දේ ඇති බව ඇය දැන සිටියා ය. එය පිළිගැනීම සඳහා කඳුළේ තෙත් බවක් ඇගේ දෙනෙතේ විය.

තමාට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩිමහල් මිත්‍ර විවාහ කර ගැනීමට ෂෙහන්යා එකඟ වන විට අවුරුදු හත අටක් ඔහු සමීප ව ඇසුරු කර තිබුණි. ඔහු ගෞරවනීය ප්‍රියමනාප පෞරුෂයකින් යුතු විය. ඔහු සංගීතඥයකි; ගායකයෙකි; එක් චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යය දෙක තුනක හෝ රඟපා තිබුණි. ඒ පිළිබඳ ව ඔහු පුවත්පතකට කියා තිබුණේ තමන් වඩාත් උචිත සංගීත ක්ෂේත්‍රයට වන බව ය. මැදිවයසේ සිටියත් ඔහුගේ ඇඳුම් පැලඳුම් සහ ගායනා රිද්මය වඩාත් ළං වූයේ යෞවනයට ය.

මිත්‍ර ස්ථිරව ම ෂෙහන්යාට හමුවන විට තම ප්‍රථම විවාහයෙන් බිරියත් දරු දෙදෙනාත් අත්හැර දමා තිබුණි. ඒ විවාහය අට අවුරුද්දක් පැවැතුණි. දියණිය ගේ මුහුණ නම් හරියට ම මිත්‍රගේ ම වගේ ම ය. ඒ විවාහය සුන්නද්දූලි වී යෑම පිළිබඳ ව මිත්‍ර කලාපුවත් මාධ්‍යකරුවන්ට සියල්ල ප්‍රකාශ කර සිටියේ තැන්පත් අහිංසක ස්වරූපයෙනි. මෙහිදී මිත්‍ර නිවැරදිකරු යැයි මතවාදය ඉදිරිපත් කළ පිරිස අතර ඉදිරියෙන් ම සිටි මාධ්‍යවේදිනයක වූයේ ෂෙහන්යා ය.

ෂෙහන්යා ගේ නිරුවත් වූ උරහිසෙන් අල්වා මිත්‍ර තමා දෙසට හරවා ගත්තේ ය. ඒ ඇයට නොරිදෙන්නට ය. ඇගේ දෙනෙත්වල තිබූ සෑම හැබෑ ගැහැනියකට ම උරුම හදවතේ කඳුළු සාගරයක තෙත නිසා ඇඳුණු වෛවර්ණ බව මිත්‍ර නොදුටුවේ ය.

“ඇයි?” ෂෙහන්යා ඇසුවේ නිදිබර ව ය.

“අර ඉස්සරහ හාන්සි පුටුවෙ තිබ්බ ඩයිරිය ඔයා ගෙනත් තිබ්බද?”

“ඔව්. ඔයාගෙ කාමරේ මේසෙ උඩ.”

ඒ ඔහුගේ සංගීත කාමරය යි. එය පෙර අපර දෙදිග සංගීත භාණ්ඩවලින් යුතුය. ඔහු වඩාත් ප්‍රිය කරන හාන්සි පුටුවක් සමඟ තව ආසන කීපයක් ද මේසයක් ද කනප්පුවක් ද එහි විය. බිත්තියේ තිබුණෙ ක්‍රිස්තුන් වහන්සේ ගේ සහ සරස්වතී දේවියගේ පෙති පිළිම දෙකකි. ඔහු අලුත් තනුවක් හදන්නේ එහි සිට ය. ඔහු ගේ සිතිවිලි මියුරු රසයෙන් යුතු ය. එහෙයින් ඔහු ගේ ගීත ද රසවත් ය. මතක හිටින සුළුය.

ඇ‍ඳෙන් නැගිට ගත් මිත්‍ර ප්‍රථමයෙන් යන්නේ මුළුතැන් ගෙට ය. ඉන්පසු ඔහු කට පෙත්තට කිරි කෝපි බඳුනක් හදා ගනී. ස්වල්ප වේලාවකින් ඔහුගේ සංගීත කාමරයෙන් නැඟෙන්නේ සිගරැට් සුවඳකි. විටෙක ගිටාරයෙන් තත් බිඳින හඬ නැඟේ.

ෂෙහන්යා සිතුවේ සත්මාසයක් ගත වෙන ඔවුන්ගේ විවාහ ජීවිතය පිළිබඳ ව ය. එය සිතිය යුත්තක් බවට පත්වී තිබුණි. මේ දක්වා ඇගේ සිතේ තිබුණේ මිත්‍ර පිළිබඳ ව ගෞරවනීය සෙනහසකි. එහෙයින් මේ විවාහය දේවත්වයට ළං වූ එක් වීමක් සේ ඇය සිතුවා ය. එහෙත් ඔහු අහඹු දෙවතාවකදී හැර අන් හැමවිට ම ඇය සමඟ කායික ව එක්වීම මග හැරියේ ය. ඔහු ඇය ව ලෞකික සුවයේ ඉම දක්වා රැගෙන නොයා මඟින් ම හැර ගියේ ය.

ෂෙහන්යාට සිහිපත් වන්නේ විවාහයට පෙර ඔවුන් දෙදෙනා කතරගම ගිය ගමන ය. තිස්ස වැව සමීපයේ රාත්‍රිය ගත කරන්නට මිත්‍ර අපූරු නවාතැනක් සොයා ගත්තේ ය. ඇඳුම් බෑග් දෙකත් ගිටාරයත් කාමරයට රැගෙන ආවේ මිත්‍ර විසින් ම ය.

“ඇඟපත හෝදාගෙන රෑට කාල ඉමු” මිත්‍ර කීවේ ය. ෂෙහන්යා තමා සිටින ඉසව්ව හඳුනා ගැනීම සඳහා අඩ අඳුරින් යුතු කුඩා ඉස්තෝප්පුවට පැමිණියා ය.

විදුලිය පහනින් නැගෙන ආලෝකය තිබුණත් දුර වැව් දිය සිපගත්තේ සඳ එළියයි. වැව් බැම්ම මත තවමත් පරිසරයේ සොඳුරු බව සොයන්නවුන්ය. පෙම්වත්තු අත්ගෙන කතා කරමින් සිනා සෙමින් ගමන් කරති; නැත්නම් තුරුලු වී වාඩි වී සිප ගනිති. ගේහසිතක උපදින රම්‍ය වූ නිම්නයක අසිරිය රැඳි පෙම්වත් බවක් හැම තැන ම තිබුණි.

මිත්‍ර ගිටාරය රැගෙන එළියට පැමිණ එය පුටුවක් මත තබා ෂෙහන්යා සමීපයට පැමි‍ණියේය. මිත්‍ර ඇයගේ නළල සහ දෙතොල් බොහෝ වේලාවක් සිප ගත්තේ ය. එය ඔවුන්ගේ ප්‍රථම උණුසුම් හමුවීම විය. ඒ හැඟීමට එකඟ වීමට දෙදෙනා ම තීරණය කර තිබුණි. මිත්‍ර ෂෙහන්යා තුරුලු කර ගත්තේ කර වටා දෙඅත් යැවීමෙන් පමණක් නොවේ.

“අපි ලබන සුමානෙ බඳිමු” ඔහු හෙමිහිට කීවේය.

මිත්‍ර රාත්‍රී ආහාරය කාමරයට ම ගෙන්වා ගත්තේ ය. ඔහු ඇගේ රුචියට ප්‍රමුඛත්වය දී තිබුණි. ඔහු ආහාරයට පෙර පානය කළේ මඳක් බ්‍රැන්ඩි මිශ්‍ර කළ උස බියර් වීදුරුවක් පමණි. තමා කඳුකරයට වඩා වියළි කලාපයට කැමැති බව ඔහු කීවේ ය.

“මං උඩ ඉඳල පහළ බලන්න බයයි.” මිත්‍ර සිනාසෙයි. මීදුමින් පිරුණු බියකරු ප්‍රපාතයක් සහිත කඳුකරය මිත්‍රට බිය උපදවන සුලු ගුප්තයකි.

“අහං ඉන්න මොනරු කෑ ගහන සද්දෙ. උන් නිදා ගන්නෙ නැතිව පාළුව කාන්සිය තුනී කර ගන්නවා” මිත්‍ර ෂෙහන්යා සමීපයේ ම ඇ‍ඳේ දිගැද්දී කීවේය.

“වන්දනාකාරයන් අඩු දවසක ඉර බැහැගෙන යනකොට කිරි වෙහෙරෙ මළුවෙ වාඩිවෙලා ඉන්න. බැති ගීයක ශාන්ත සුවය තියෙනවා”

“ලයිට් එක තිබුණට කමක් නෑ” මිත්‍ර ෂෙහන්යාගේ රාත්‍රී ඇඳුමේ බොත්තම් ගලවන ගමන් කීවේ ය. ඔහු එය කළේ හෙමිහිට ය. ඇගේ ඇත් දළ පැහැයෙන් යුතු සිරුර ඔහු, නිරුවත් වන හැම තැන ම බෙහෙවින් සිප ගත්තේ ය. ඇගේ නිරුවත එක් එක් ආකාරයෙන් දකින්න ඔහු ප්‍රිය කළේ ය.

“අපි දෙන්නට හැබෑවට ම තව කල් තියෙනවනෙ” ඇ‍‍ඳෙන් නැඟී සිටිය මිත්‍ර නානකාමරයට ගොස් අසාමාන්‍ය වෙලාවක් ඇඟපත හෝදා ගනිමින් රැඳී සිටියේ ය. ඉන්පසු පැමිණ තේ බඳුනක් හදාගෙන එළියේ පුටුවේ තිබූ ගිටාරය සොයා යෑමට පෙර ෂෙහන්යාට මෙසේ කීවේය.

“ඔයාට මහන්සි ඇතිනෙ. නිදාගන්න”

සොඳුරු ඉමක් සොයා ගොස් එහි ඉම දැක දැකත් අතරමං කළේ ය, යන හැඟීමක් ෂෙහන්යාගේ සිතේ ඇති විය. එහෙත් ඔහුගේ සිතිවිලි සහ රුචිය උසස් ය. එහි ක්‍රමික රිද්මයක් තිබෙනවා විය හැකිය.

පසුදා ෂෙහන්යා පිබිදුණේ මිත්‍ර සිපගත් හෙයින් ය. ඇය පන්සිළු ප්‍රේම අනන්තය දක්වා දුටුවා ය.

එය සොඳුරු බවේ වන්දනාවෙන් යුතු අති ප්‍රේමණීය සංචාරයක් විය. ඔහු ෂෙහන්යා බුදින්නට කැමැති හැම දෙයක් ම නොමසුරුව රැගෙන දුන්නේ ය. ඔහු නිසැක ව ම උන්මාදනීය විය. අධිවේගී මාර්ගයේ නොපැමිණ ඔහු අනෙක් පාරෙන් අගනුවර කරා පැමිණියේ ‍පොල්රුප්පාවෙන් යුතු මුහුදු වෙරළේ තප්පලම්ගසා වාඩි වී ඇය හා දොඩන්නට ය. ඔහු කිසිවක් සොයමින් සිටියේ ය.

ක්ෂණික අසාර්ථක දෙවතාවක් හැරුණු විට ඔවුන්ගේ විවාහය ද ඒකතානමය බවෙන් යුක්ත විය. ඇය දුරකට කැඳවාගෙන හුදකලා අතරමංවීම් පමණක් සත් මසක විවාහ දිවිය තුළ බහුල විය. ඇය තමා නොදැන සිටි කිසිවක් මිත්‍ර තුළින් දුටුවා ය. එක් අතකින් මේ සියල්ල ෂෙහන්යා මුහුකුරා යෑමකි.

“මේ වගේ දේවල් විඳ දරාගන්න පුළුවන් වුණේ ඉන්දියාවෙ සත් පත්තිනි දේව මෑණිවරුන්ට විතරයි. නැත්නම් රහසින් පිටස්තර දේවල් විඳ දරා ගන්න ඕනෑ. ඒත් නැත්නම් හිත හදාගෙන වෙන් වෙන්න ඕනෑ.”

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ඇගේ මාමා කෙනකු වූ විශේෂඥ මනෝ වෛද්‍යවරයා කීවේ ඇය දෙස එක එල්ලේ බලමින් ය. ඔහු දකුණු අතේ දබරැඟිල්ල මඳක් ඔසවාගෙන සිටියේ ය.

ෂෙහන්යා තමා සහ මිත්‍ර අතර ගොඩනැඟී ඇති තත්ත්වය පිළිබඳ ව අගක් මුලක් නෑර සුප්‍රකට මනෝ වෛද්‍ය මාමාට ප්‍රකාශ කර සිටියා ය. ඉන්පසු මාමා කී දෙයින් අතීරණාත්මක වූ ඇය තවදුරටත් රඳා පවතින්න වෑයම් කළා ය.

“මේ ඇබ්බැහිකම් නැති කරන්න බැරිද?”

“බෑ. අමාරුයි.”

“ඇයි ඒ?”

වෛද්‍යවරයාගේ මුහුණේ තිබුණේ නිශ්චිත බවකි. ඔහු පූර්ව අත්දැකීම් ප්‍රත්‍යක්ෂයෙන් බහුශ්‍රැත ව සිටියේ ය.

“බෑ දුවේ. ඒක දිගුකාලීන ඇබ්බැහිකමක්. ඒක අහිංසකයි. සල්ලාල නෑ. ඒත් ඒක විකල්ප සහකාරියට දැඩි ලෙස බලපානවා. ඒ හින්ද ඒක වෙනස් කරන්න ගතවෙන කාලෙ තව බොහෝ දේ වෙනස් වෙන්න පුළුවන්!”

මිත්‍රගේ සංගීත කාමරය පැත්තෙන් සිගරැට් සුවඳ නැඟේ. එහෙත් ගිටාරයෙන් හඬක් නොනැගේ. ෂෙහන්යා දින ගණනාවක් පුරා සිතමින් සිටි සිතිවිල්ලක නිශ්චිත හැඟීමෙන් ඇ‍ඳේ වාඩි වූවා ය. ඇය හිස කෙස් බැඳගත්තා ය; පොරවන රෙද්දෙන් මුහුණ පිස දා ගත්තා ය. එහෙත් කොයි දේටත් සම්මුතියක් අවශ්‍ය විය.

ෂෙහන්යා මිත්‍ර සිටි සංගීත කාමරයට යන විට ඔහු සිටියේ ඇඳි පුටුවේ දිගැද්දී දෙනෙත් පියා ගෙන ය. සිගරැට්ටුවේ වූයේ කැඩී යෑමට ආසන්න දැල්ලකි. දෙනෙත් පියා සිටින මිත්‍රගේ වතින් සිහිපත් කරවන්නේ මුනිවරයකුගේ විලාසයකි. හිමාලයේ සිටි මුනිවරයකුගේ ධ්‍යානය බිඳි මේනකා දිව්‍යාංගනාවගේ කතා පුවත ෂෙහන්යාට සිහිපත් විය. එහෙත් තමන්ට එවැන්නක් කළ නොහැකිය. ඔහු සම්මතයෙන් පලා යමින් සිටියේ ය. ඔහු ලෞකික තෘප්තිය සොයන්නේ හුදකලාවේ ය. එය අහිංසක සම්මතයකි.

“නිදි ද?” ෂෙහන්යා මිත්‍ර සමීපයට යමින් ඇසුවා ය. නො නින්දේ සිටි මිත්‍ර දෙනෙත් හැර ප්‍රථමයෙන් සිගරැට්ටුව අළු බඳුනේ එබුවා ය. ඔහු සමීප කනප්පුව මත තිබූ කිරි කෝප්පය ගෙන බලා යළි තැබුවේ ය. ‍‍

“හිටින්න මං කිරිකෝපි එකක් හදල ගේන්නම්.” ෂෙහන්යා කීවා ය.

මිත්‍ර බලා සිටියේ දුහුල් ඇඳුමැති ෂෙහන්යාගේ කය දෙස ය. ඒ බැල්මේ ආගන්තුක බවක් ඇයට නොදැනුණි.

මිත්‍රට සිතුණේ ඒ සියල්ල දැන් ආගන්තුක නොවන බව ය. සිහි කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස ඇගේ කය දැක තිබේ. එක්වීමේ බැඳීමේ සානුකම්පිත බව හැර අන් යමක් දැන් ඉතිරි ව නැත. යළිත් එහි නුහුරුබවක් උපදින්නේ ම නැත.

ෂෙහන්යා දුම් දමන කිරි බඳුන් දෙකක් ම රැගෙන ආවා ය.

‘ඒක හොඳයි. ඔයත් වාඩිවෙන්නකො.”

තෘප්තිමත් හැඟීමෙන් යුතු මිත්‍ර ගිටාරය ගෙන තතක් දෙකක් පිරිමදී. ඉන්පසු ආරම්භ වීමට තිබූ දිගු නිශ්ශබ්දතාවට අකැමැති වූ ෂෙහන්යා කතා කළා ය.

“ඇවිල්ල මොකුත් ම කළේ නෑ නේද?”

කිරි උගුරක් පානය කර සිගරැට්ටුවක් දල්වා ගත් මිත්‍ර නැගී සිටියේ ය. ඔහු ගිටාරය පසෙකින් තැබීය. ඔහු වසා තිබූ ජනේලය සමීපයට ගොස් එහි පියන්පත් හැර දැම්මේ ය. එයින් පිටත පොල්ගසින් හෙවණ වූ පාළුවකි. මඳ අඳුරකි. අලුත් සු‍ළ‍ඟේ තිබුණේ නගරයට ආවේණික ඛනිජ තෙල් සුවඳ සමඟ පොල් හෙවණේ තණ කොළ සුවඳයි.

“හිතුවා. ඒ වුණාට හිතුණෙ ම නෑ” මිත්‍ර කීවේ ය. ඔහු පැමිණ යළි පුටුවේ ම වාඩි විය.

“ඔයාට හිතෙනවද තනියෙන් හිටියොත් හොඳයි කියලා.”

මිත්‍ර සිටියේ සන්සුන් ව ය. ඔහුගේ දෙනෙතේ විස්මයක් නොවීය. ෂෙහන්යා අවබෝධයෙන් යුතුව සියල්ලේ අවසානය කරා සපැමිණ සිටීම පහන් සිතිවිලි උපදවයි.

“එහෙම තැනක් තියෙනවද?” ඇය යළි ඇසුවා ය.

මිත්‍ර හිස කෙස් සකස් කර ගත්තේය. ඔහු දෙඅත්ල පිරිමැද්දේ හෙමිහිට ය.

“ඔයා මාත් එක්ක තරහ නෑ නේද?”

ඉස්සෙල්ල විවාහයත් අත්හැර දැමුවේ මේ නිසා ම නොවේදැයි අසන්නට ඇයට සිතුණි. එහෙත් ඇය මෙසේ කීවා ය.

“අනේ නෑ”

මිත්‍ර බැලුවේ ෂෙහන්යාගේ දෙනෙත් දෙස ය. ඇය ඉවත බලා ගත්තා ය.

“අපි නීතියෙන් වෙන් වුණත් මං ඔයා ගැන නොබල ඉන්නෙ නෑ.” මිත්‍ර මොහොතක විරාමයක් ගත්තේය.

“මං ගෙයක් බලලයි තියෙන්නෙ.”

ජනෙල් පියන්පත් අතරින් ගලා එන්නේ හීතල සුළඟකි. එය වැස්සක පෙර නිමිත්තකි. මේ දවස්වල දෙගොඩ හරිය පහුවෙන කොට වහින්නේ ය.

“මතක ඇතිව ජනේලෙ වහන්න.”

ෂෙහන්යා නැගී සිටියේ යහනට ගොස් නිදන්න නොව සැනසිල්ලේ සිතන්නට ය.

දුර ඈත ඇඳිරි අහසින් පොද වැසි ඇද වැටෙමින් තිබුණි.

Comments