ගිරිබාවේ පාසල් දැරියගේ ශෝචනීය කතාව | සිළුමිණ

ගිරිබාවේ පාසල් දැරියගේ ශෝචනීය කතාව

නිවෙසේ තනිව සිටින දියණිය ගැන සිතමින් පැමිණි ඇය නිවෙසට ගොඩ වෙමින් දියණිය ඇමතුවද මෙදා වෙනදා මෙන් ඇ‍ය එද්දී ඉදිරියට එන ඇගේ එකම දියණිය එදා ඇය ඉදිරියට නොආවාය. එනිසාම ඕ දියණිය සොයමින් ඇතුළු ගෙට වැදුණාය. එහිදී ඇය දුටුවේ මිහිපිට කිසිම මවකට දැකිය නොහැකි දෙයකි.

ළපටි හිරු රැස් හෙමින් සීරුවේම ප්‍රචණ්ඩ වෙමින් තිබුණි. නිල් වලාවන්ට යටින් වූ ගහකොළ පවා එහා මෙහා පැද්දුණේ මහා සුළඟට බියක් ද එක්කාසු කරමිනි. දිනය පසුගිය අගෝස්තු 23 වැනිදාය. වෙලාව දහවල් 12 ට පමණ ඇත. චණ්ඩ හිරු ගිරිබාව අහස් තලයේ මුදුන් වී ගොසිනි. එහෙත් ලොවට රහසේ හිමින් සීරුවේ මලක මල් පෙති බිම වැටී වියැකී යන සෙයක් මේ පොළෝ තලයේ මිනිසුන්ට නොව උඩ සිටිනා දෙවියන්ටවත් පෙනුණාදැයි සිතා ගත නොහැකිය. ගිරිබාව සාලිය අශෝකපුර ගම්මානයේ පදිංචි සන්ධ්‍යා මධුෂාණි මෙතෙක් පතපොතට යොමුවී වෙහෙසට පත් දෑසට මද විරාමයක් දෙමින් මොහොතකට රූපවාහිනිය නැරැඹීමට සිතා නිවෙසේ සාලයට පැමිණියාය. එහෙත් යක්ෂාවේෂවූ මාරයා ඇගේ සුරතල් කෙළිලොල් ජීවිතය උදුරා ගන්නට මාන බලමින් සිටි බවක් ඇය නොම දත්තාය. සාමාන්‍ය පෙළින් උසස් පෙළට සමත් වී සරසවි සිහිනය වෙනුවෙන් මුල සිටම කැප වූ සන්ධ්‍යා නිරන්තරයෙන් වෙහෙසුණේ ඒ සිහිනය සැබෑ කරගැනීමේ අදිටනිනි. අවසානයේ සියල්ලම දමා ඇයට මෙලොවින් සමුගෙන යෑමට සිදු වූයේ පාපතරයෙකුගේ කුරිරු වද හිංසාවකට ලක්වෙමිනි.

ඇය ගිරිබාව, රා.ව. ඉ. යාය 2, සුදර්මාරාම මාවත, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ සන්ධ්‍යා මධුෂාණි ඒකනායක නැමැති අවුරුදු 17 ක පාසල් සිසුවියයි. පාඩම් කරමින් සිටි පොත් ටික පසෙක තබා රූපවාහිනිය නරඹමින් සිටි ඇයට මොහොතකින් නිවෙසට කිසිවෙකු පැමිණෙන හඬ ඇසෙන්නට ඇත. එහෙත් ඒ ආවේ තම ජීවිතය ඩැහැ ගන්නා මාරයකු බව නම් ඇයට නිකමටවත් සිතෙන්නට නැත. නොඑසේනම් ඒ පැමිණියේ සිය නිවෙසට මීටර් 75 ක් පමණ එහායින් වූ අසල්වාසී නිවෙසක පුද්ගලයකු නිසා ඇය ඔහු හා සිනා සී කතා කරන්නට පවා ඇත. එහෙත් සැණෙකින් සිදු වූයේ ඇය නොසිතූ දෙයකි.

ඇගේ නිවෙසේම නිදන කාමරයක් තුළ දී ම ඒ කාමාතුරයාගේ ගොදුර බවට ඇය පත් වූවාය. එහෙත් තම ජීවිතයත්, මවත් පියාත් මෙන්ම දයාබර සොහොයුරාත් සිහි වී දෝ ඇය ඒ කාමාතුරයා සමග මහා පොරයක් අල්ලා තිබුණි. එහෙත් ඇගේ දෑත් එකට අල්ලා ගැට ගැසූ රෙදි කැබැල්ල ඇගේ බේරී යෑමේ සියලු තැත ව්‍යර්ථ කර තිබුණේ කවුරුත් නොසිතූ ලෙසය.

සන්ධ්‍යාගේ මව ඒ ප්‍රදේශයේ ඔවුන්ගේ නිවෙස ආසන්නයේම තැනක ඇය දිනපතාම පාහේ කරන මුරුක්කු පැකට් කිරීමේ යෙදී සිටියේ දෛනිකව කීයක් හෝ උපයා ගැනීමේ අදිටනිනි. පියා කුඹුරු ගොවිතැනේ යෙදෙද්දී මව උපයන සොච්චම ද ඔවුන්ගේ දිවි සැරියට මහත් සහනයක් විය. සන්ධ්‍යාගේ සොහොයුරා රැකියාව කරනුයේ ගමෙන් පිට පළාතකය. එදා සන්ධ්‍යාගේ මව නිවෙසට පැමිණියේ වෙනදාට වඩා වේලාසනිනි.

“ දුවේ‍‍.. දුවේ..” නිවෙසේ තනිව සිටින දියණිය ගැන සිතමින් පැමිණි ඇය නිවෙසට ගොඩ වෙමින් දියණිය ඇමතුවද මෙදා වෙනදා මෙන් ඇ‍ය එද්දී ඉදිරියට එන ඇගේ එකම දියණිය එදා ඇය ඉදිරියට නොආවාය. එනිසාම ඕ දියණිය සොයමින් ඇතුළු ගෙට වැදුණාය. එහිදී ඇය දුටුවේ මිහිපිට කිසිම මවකට දැකිය නොහැකි දෙයකි. ඇගේ ආදර දියණිය නිවෙසේ කාමරයක සයනයක් මත වැතිරිලාය.

“ අනේ මගේ දුවේ! මේ මොකද? උඹට මොකද පුතේ වුණේ.” කියමින් දියණිය වෙත පිනූ ඇය දුටුවේ දියණියගේ දෑත් පිටුපසට කර කිටි කිටියේ ගැට ගසා තිබෙන අන්දමය. මුළු ලොවම උඩුයටිකුරුවී දෙපාමුල කඩා වැටෙද්දී ඒ මව‍‍ගේ මුවින් ගිලිහුණු විලාපය අසා අසල්වාසීහු ඒ නිවෙස වෙත දුව ආහ.

දෑතම ගැට ගසා ඇඳක් උඩ වැතිරී තිබූ සන්ධ්‍යාගේ සිරුර පුරා විවිධ තැන්වල සීරීම් වැනි තුවාලය. ඇගේ උඩු තොලෙහි වූයේද කාමාතුරයාගේ දත් පහරවල්ය‍. ඒ‍ වෙද්දීත් ඇගේ හුස්ම පොද මේ වා තලයට මුසු වී හමාරය.

තම කුසින් වැදූ ආදරණීය දියණිය ඇඳක් මත කාමාතුරයෙකු අතින් මියගොස් සිටිනවා දැකීම මවකට දරා ගත නොහැකිය. ඇය විලාප තැබුවාය. කෑ මොර දී ඇඬුවාය. එහෙත් ආපසු නොඑනා ගමන් ගිය සන්ධ්‍යා සිය අප්‍රාණික සිරුර අභියස හඬා වැටෙන මව දෙස බැලුවේ නැත. ඒ මවගේ විලාපය අසා පැමිණි අසල්වාසීහූ කිහිප දෙනෙක් සිදුව ඇති දේ අදහා ගත නොහැකිව පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා සිද්ධිය පැවසූහ. සැණෙකින් ක්‍රියාත්මක වූ ගිරිබාව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් ඇතුළු නිලධාරීහූද, මීගලෑව හා ගල්ගමුව පොලිස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීහූ දැරියගේ නිවෙසට පැමිණියහ. සැණෙකින් පරීක්ෂණ ආරම්භ විය.

මුළු සාලිය අශෝකපුර ගමම සන්ධ්‍යාගේ නිවෙසට එක්වූයේ මේ විපත දරා ගත නොහැකිවය. සැවොම මේ සිදුවීමෙන් කම්පාවට පත් වූයේ මෙලෙස අකල් මරණයකට ලක්වූයේ තම ගමේ කිසි කෙනකුගෙන් වචනයක් නොඅසා දැහැමිව කල්ගෙවූ දැරියක බැවිනි.ගමේ උදවිය සන්ධ්‍යාගේ නිවෙසට රොක්වී සොවින් බරව සිටියදී ගමේ එක් පුද්ගලයකු මේ සියල්ලන්ගෙන්ම වසන් වෙමින් ඉක්මන් ගමනින් ගමෙන් පිටමං වෙන්න උත්සාහ කළේ කාගේත් දෑසට ලක් නොවෙන ලෙසය. එහෙත් උඩ සිටින දෙවියන් මේ සියල්ල දෙසම ඕනෑකමින් බලා සිටින්නට ඇත. මේ පුද්ගලයා බස්රියක නැගී මුල්ලක අසුනකට වී මුහුණ සඟවා ගෙන සිටින අන්දම තවත් කෙනෙක් සිය විමසිලිමත් දෑස් අයා බලා සිටියේය. ඔහු එම බස්රියේ කොන්දොස්තරවරයාය. අදාළ පුද්ගලයාගේ හැසිරීමේ අමුත්ත මුලින්ම දුටුවේ ඔහුය. ඔහු වහාම ක්‍රියාත්මක වූයේය. ගිරිබාව, පාළුවැව හංදියේ ත්‍රීරෝද නැවතුම්පොළේ අයෙකුට දුරකතන ඇමතුමක් දුන් කොන්දොස්තරවරයා මේ පුද්ගලයා‍ ගැන දැනුම් දුන්නේය. ඔවුන්ට ක්‍රියාත්මක වන්නට තත්ත්පරයක් හෝ ගත වූයේ නැත. බස් රථය පාළුවැව හංදියට ළංවෙත්ම බසයට කඩා වැදුණු තරුණයෝ කාමාතුරයා අල්ලා ගත්හ. ඔහු අල්ලා වහාම පොලිස් නිලධාරීන්ට බාර දුන්හ.

ඒ පුද්ගලයා 31 හැවිරිදි අවිවාහක තරුණයෙක් බව පොලීසිය හඳුනා ගත්තේය. විමර්ශන සිදු වෙද්දී අපරාධයක් සිදූ වූ ස්ථානයක්ය යන්න අඟවමින් සන්ධ්‍යාගේ නිවෙසේ මිදුල වටා කහපාට පොලිතින් පටි ඇදෙද්දී නිවෙසේ දොරවල් ජනෙල් සියල්ල වැසුණි. කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ලෙස පොලිස් ආරක්ෂාව අදාළ ස්ථානය පුරා වැටුණි.

රැස් වූ සියල්ලන්ම එක හුස්මට බලා සිටියේ සිදුව ඇත්තේ කුමක් ද යන්නය. එහෙත් එය කියන්නට සන්ධ්‍යා දෑස් විවර කළේ නැත. මව මිදුල මැද හුස්මක්වත් නොගෙන හඬා වැටෙද්දී මිනිසුන්ගේ එකිනෙක එළියට පනින කතා අපගේ සවනත වැකුණි. ඉන් කියැවුණේ මෙම කාමාතුරයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අයෙකුය යන්නය. එසේම සිද්ධියෙන් පසු ඔහුගේ මවත් පියාත් දෙදෙනාත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහුගේ නිවෙසේ දොර ජනෙල් කඩා කාමරයකට පවා ගිනි තබා ඇති බවත් කියැවුණි.

එසේම සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී අසැබි දසුන් සහිත වීඩියෝ පට 300 කට ආසන්න ප්‍රමාණක්ද සොයා ගත් බව ගිරිබාව පොලීසිය පවසයි. සන්ධ්‍යාගේ ජීවිතය උදුරා ගත් බව කියන පුද්ගලයා ගිරිබාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් හිමාල් චන්දන කහදවල මහතා ඉදිරියේ දී සිදු විය. දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යනු ලැබීය.

එපමණක් නොව සිද්ධියට සම්බන්ධයැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාද ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා ලබා ගැනීමට පොලිස් නිලධාරීහූ කටයතු කළහ. ගිරිබාව පොලීසිය විසින් සැකකරු ඉකුත් 24 දා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ සැකකරු මෙම සිසුවිය දූෂණය කර මරා දැමූ බවට චෝදනා ගොනු කරමිනි. ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා සැකකරු ලබන මස 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

එම්. එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ

Comments