කටුවන බලකොටුවේ ලන්දේසි සෙවණැලි | Page 2 | සිළුමිණ

කටුවන බලකොටුවේ ලන්දේසි සෙවණැලි

 ඒ 1761 වසරයි. මුල්ගිරිගලට රැස් වූ සිංහල සේනාව මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙනුවෙන් ලන්දේසීන්ගේ බල බිඳ දැමීමට සියල්ල සූදානම් කරමින් සිටිති. මේ වනවිටත් මාතර, හක්මන සහ අකුරැස්ස බලකොටු සමඟ කටුවන බලකොටුවේ තිබූ සබඳතා බිඳ දමන්නට සිංහල සේනාව සමත් වී තිබේ. චරපුරුෂයෝ සටන දියත් කිරීමට අවශ්‍ය රහස් තොරතුරු රැස් කරති. ඔවුන් හැඩි වත්තේ ඇටවූ අට්ටාලයේ සිට වෙස්වලාගෙන හොරවින්න, සියාරපිටිය, ගොමඩිය, කරවිල කන්ද, හග්ගිත කන්ද මෙන්ම කටුවනද සරක්කාලම් කරන්නේ තොරතුරු සොයන අටියෙනි. ගල්ගොඩ මහ අදිකාරම්ගේ සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වේ. උතුරේ තිබූ ලන්දේසි කඳවුරු සුන්නද්දූලි කළ ඔහුගේ අභීත කඩු-තුවක්කු හරඹ මේ සටනේදී වැදගත් වන ආකාරය ගැනය ඒ. මේ අතර හඟුරන්කෙත දිසාව ඇතුළු තවත් ප්‍රධාන පෙළේ සැට දෙනෙක් මුල්ගිරිගලට ගොස් සෙබළුන්ට පුහුණුව ලබා දෙති. ඉන් කොටසක් යා යුත්තේ වමටය. ඒ හක්මන කොටුව බිඳින්නටය. දකුණට හැරෙන පිරිසට ඇත්තේ කටුවන සටනය.

කටුවන සටන් සේනාංකය සතුව අලි ඇතුන් සය දෙනකු, කෑම්බීම් මෙන්ම තුවක්කු සහ උණ්ඩ ඇතුළු අවශ්‍ය යුද උපකරණ තිබේ.

කටුවන කොටුව තුළ ලන්දේසි සෙබළුන්ගේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූයේ ආනෝඩ් වැන් වර්ඩ් ය. වරින් වර එල්ල වූ සුළු ප්‍රහාර නිසා සතියක් පමණ නිදි වර්ජිතව සිටි මේ සෙබළුන්ට අනෙක් බලකොටු වෙත පණිවුඩයක් යවා ගන්නටද නොහැකිය. වෙහෙසට පත් හෙම්බත් ලන්දේසීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල වෙයි. කටුවනට හිරු උදාවන්නටත් පෙර අඳුරේ ඇරැඹි සටන අණ දෙන නිලධාරී ලෙෆ්ටීන් හොට්මාන් දින තුනක් පුරා මෙහෙයවයි. මාර්තු 2 වැනිදා මධ්‍යාහ්නය එළැඹෙමින් තිබේ. මැලේරියාවෙන් මෙන්ම පාචනයෙන් දුර්වල වූ හමුදාවක් සමඟ තවදුරටත් සටනේ යෙදීම කළ හැක්කක් නොවේ. පණ බේරා ගන්නට සිතූ ඇතැම් ලන්දේසි සෙබළු අඩි දොළහක් පමණ උස කළුගල් බැම්මට නැඟ ඊට වඩා පහළට පනින්නේ වනාන්තරය සොයන්නටයි. ඔවුහු අවි අතහැර වනය දෙසට පැන යති. කොටුව තුළ ඉතිරි වූයේ කීපදෙනකු පමණි. හොට්මාන් සිංහල හමුදාවට යටත් වෙයි.

සිංහල රාජ වංශයේ අවසන් සටන එසේ සිදු වූයේ රජුගේ සහභාගීත්වයෙන් තොරවය. ඒ කටුවන බලකොටුවේදීය. අපි ඒ අපූරු භූමිය නැරඹීමට ගියෙමු. ඒ යන ගමනේදී කටුවන පිළිබඳ ලියැවුණු අල්ප වූ පොතපත අතරින් විශේෂිත පොත්පිංචක් වන පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාගේ ‘රම්මල් පුවත’රැගෙන යෑමට අමතක නොකළෙමු. එහි සඳහන් පරිදි ඕලන්දක්කාරයින්ගේ අරමුණ වූයේ දකුණේ වෙරළ තීරය ඔස්සේ ගම්මිරිස්, කුරුඳු මෙන්ම අලි ඇතුන් වෙළෙඳාම කරගෙන යන අතරම, ඒ දෙසින් මතුවන සතුරු බලවේගවලට එරෙහිව සටන් කිරීමට මෙන්ම සපරගමුව හරහා උඩරටට ගමන් කිරීමට මඟක් සලසා ගැනීමය.

ඒ බව තහවුරු වූයේ කටුවන ප්‍රදේශයේ වෙසෙන විශ්‍රාමික විදුහල්පති පී. එල්. ඒ රණසිංහ මහතාගේ කතාවෙනි. “ලංකාවේ ගම්මිරිස්වලින් හොඳම ඒවා තියෙන්නේ මිද්දෙනියේ, ලෝකෙම හොඳ කුරුඳු තියෙන්නේ කරන්දෙණියේ.” මීට වසර තුන් සියයකට පමණ ඉහතදී කටුවන පෙදෙස යනු වල් අලින්ගේ කෙළි බිමක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. 19 වැනි සියවසේදී පනාමුුරේ ඇත්ගාල පිහිටුවන්නට ද එක් හේතුවක් වූයේ ඒ වනවිටත් කැළෑවල විසු වන අලි ගහනය විශාල වීමය.

අප සමඟ කටුවන තොරතුරු සෙවීමට ඒ සටනේ යෙදුණු මුදියන්සේලා දහතුන අතරින් පෙළපත් දෙකක මී මුණුපුරන් දෙදෙනෙක් සහභාගී වූහ. එක් අයකු අයත් වන්නේ අටකලන් කෝරළයේ විසු ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මුදියන්සේගේ පරපුරෙන් පැවැත එන කුඩා කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතාය. දෙවැන්නා උඩගම රාජපක්ෂ මුදියන්සේගේ පරපුරෙන් පැවැත එන ආචාර්ය අකිල විජය රාජපක්ෂ මහතාය. තම අත්තලා මුත්තලාගේ වීර කතා මුඛ පරම්පරාගතව මෙන්ම ලිඛිත සාක්ෂිද සහිතව ඉදිරිපත් කරමින් කටුවන සටනේ වගතුග අපට පැවසීමට මේ දෙදෙනා සතුව බොහෝ තොරතුරු විය.

ආරක්ෂක හේතු මත රජුගේ සහභාගීත්වය නොතිබුණද 5500ක සිංහල සේනාංකයක් රැස් කර ගන්නට තරම් ආශීර්වාදයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජ වෙතින් මුදියන්සේලා දහතුන්දෙනකු වෙත ලැබී තිබිණි. ඒ බව උදය ඇමටියගොඩ නිලමේ අපට කීවේ මෙසේය.

“මේ සටනට සේනාව මුල්ගිරිගලට රැස් වුණේ රජ්ජුරුවන්ගෙන් ආශිර්වාද ලබාගෙන, සරණංකර හිමියන්ගෙන් බණ අහලා, දළදා වහන්සේ වැඳ පුදාගෙන, හතරමහා දේවාල වැඳලා අවසර අරගෙනගෙන, අලුත් නුවරින් ගලිගමුව හරහා අම්මඩුවට සේන්දු වෙලා, අවසානයේ කුඩා කතරගම දේවාලයේ පඬුරු බැඳලා, තුන්තොටින්, පල්ලේ බැද්ද, අඹගමුව හරහා මඩුවන්වෙලට ගිහිල්ලයි. සටනට යද්දි ලෙඩ වෙනවා, සත්තුන්ගෙන් හානි වෙනවා, තුවාල වෙනවා. අනෙක ඒ අය යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරනවා. රෑ තිස්සේ මහ කැලේ මැදින් යද්දි එකඑක අද්භූත බලවේගවල බලපෑම් තියෙන්න පුළුවන්. ඒ වගේ බඩේ අමාරු, ඉහේ අමාරු, ඇඟපත රුදාවල් හැදෙන්නත් පුළුවන්. අනෙක ලන්දේසීන්ට පන්දම් අල්ලන සිංහලයින් අපේ අය මං මුලා කරන්න එකඑක ගුරුකම් වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒ හැමදේකටම ඔරොත්තු දෙන්න තමයි බෙහෙත් සැරයටිය ඉනේ බැඳගෙන යන්නේ. ඒකේ බෙහෙත් තෙලක් වගේම තව ගුලි වගේ දේවල් දාගෙන යන්න පුංචි පුංචි කාමර වෙන් කරලා තියෙනවා. අපේ පරම්පරාවේ බෙහෙත් සැරයටිය තාම අපේ වලව්වේ ආරක්ෂිතව තියෙනවා.” රට මැදට වන්නට සැදූ එකම බලකොටුව කටුවන පිහිටුවන්නට ලන්දේසීන් කටයුතු යෙදුවේ සූක්ෂ්ම අයුරිනි. ලන්දේසීන් මේ ස්ථානයේ කොටුව පිහිටුවීමට තීරණය කළ තවත් හේතුවක් වූයේ ඔවුන් පැමිණීමටත් පෙර සිට රජ දරුවන්ගේ ආරක්ෂාව සඳහා තෝරාගත් ස්ථානයක් බවට මෙය පත්ව තිබීමයි. පරාක්‍රමබාහු රජු සමඟ සුගලා දේවිය පාත්‍රා ධාතුව රැකගැනීම වෙනුවෙන් සටන්වදිද්දී ආරක්ෂාව සඳහා තෝරාගෙන තිබුණේද පසුව කටුවන කොටුව තැනූ ප්‍රදේශය බව මහාවංසයේ සඳහන් වේ. ඒ ක්‍රිස්තු වර්ෂ 1153- 1186 කාලයේය. ලන්දේසීන් කටුවන තෝරා ගැනීමට පෙර පෘතුගීසීන්ද මේ ස්ථානයේ කඳවුරු ලාගෙන සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඉඟුරු දී මිරිස් ගත්තා වගේ යැයි පෘතුගීසීන් එලවා ලන්දේසීන් ළංකරගත් සිංහලයින්ට කියන්නට වූ හේතුව කටුවන කොටුවෙන් පෘතුගීසින් එලවා දැමීමට ලන්දේසීන් දුන් සහායෙන් පසු එය සිංහල රාජ්‍යයට විරුද්ධ බලකොටුවක කර ගැනීමෙන්ම අවබෝධ වේ. ‘රම්මල් පුවතේ’ සුමිත් රණසිංහ මහතා දක්වන ආකාරයට කටුවන ප්‍රදේශය උප වාණිජ නගරයක් ලෙස පැවතුණකි. යකඩ කර්මාන්තය සඳහාද කිරම, යහලේගොඩසහ කරමැටිය වැනි ඉසව් නම් දරා තිබිණි. කටුවන සටන වේලාවේ එනම් 1761දී රාත්තල් 8ක් බර වෙඩි උණ්ඩ නිකුත් කළ හැකි පිත්තල සහ යකඩ කාල තුවක්කු භාවිත කළ බවට සාක්ෂි ඇත. යුදමය වාතාවරණයක විනාශ වන උණ්ඩ සහ තුවක්කු සංඛ්‍යාව නොගිණිය හැකි බැවින් ඒවා ක්ෂණිකව නිෂ්පාදනය කරන කම්මල් හා ශිල්පීන් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටි බව ‘මන්දාරම් පුවත’ ද පවසන බව ඔහු පෙන්වා දෙයි. වරක් පැරැණි චාරිත්‍ර අනුව උපකරණ තනා උඩරට රාජධානියට දිය යුතුව තිබූ යකඩ බෝල 650 වෙනුවට 1440ක් ඉල්ලූ විට එය ඉක්මනින්ම සපයන්නට තරම් හැකියාවක් තිබී ඇති බවට සඳහන් පුවත රණසිංහ මහතාට ප්‍රත්‍යක්ෂ වී ඇත්තේ යහලේගොඩ අක්කර භාගයක පමණ පෙදෙසක විසිරී තිබූ යබොර දැකීමෙන් පසුව බව ඔහු පවසයි.

තාක්ෂණය අතින් පමණක් නොව භූගෝලීය පිහිටීම අතින්ද මේ පෙදෙස බලකොටුවකට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම මනරම් දර්ශනයන්ගෙන් යුක්තය. ගිරුවා පත්තුවේ රම්මල් කඳුවැටියට සම්බන්ධ දෙණිය කන්ද, කරවිල කන්ද, මැද කන්ද, බෙංගමු කන්ද, හුළං කන්ද, හග්ගිත කන්ද, වීදි කන්ද, සපුතන්තිරි කන්ද, වතු කන්ද, හිඟුර කන්ද සහ වේගිරිය කන්ද කටුවන වටා වැටියක් මෙන් පැතිරී ඇත. මේ ඇතැම් කඳුවලට නම් වැටුණේ කටුවන සටන ජයගත් මුදියන්සේලා හට මෙන්ම සෙනෙවිවරුන්ට රජුගේ ප්‍රසාදය පළ කරමින් ලබාදුන් නින්දගම් නිසාය. හිඟුර කන්දට ඒ නම ලැබෙන්නේ බලකොටුව බිඳීමට පැමිණි හිඟුරා නම් සිංහල සෙනෙවියාට දුන් නින්දගම නිසාය. කරවිලයාට දුන් නින්දගම කරවිල කන්දයි. ශ්‍රියාවතීට දුන් නින්දගම සියාරපිටියයි. එපමණක් නොව සටනට සැරසුණු විවිධ ස්ථාන අලලා විවිධ නම් ද පටබැඳී ඇත. වෙස්වලාගත් චරපුරුෂයන් සිටි නිසා හොරු ඉන්නා අඩවිය හොරවින්න ලෙසද, කොටුවට පහරදීමට සැරසුණු පිරිස් ලුනු ගෙන එන්නන් යන එන පාරේ සිට හැඩ වූ වත්ත හෙවත් හැඩවත්ත ව්‍යවහාරයෙන් හැඩිවත්ත වූ බවද, සටන සඳහා වරෙව් යනුවෙන් පැවසූ වරෙව් පිටිය වරාපිටිය වූ බවද ජනශ්‍රැතියයි. කටුවන ලන්දේසි සටනට පෙර සිටද මේ ගම්වලට නම් යෙදී ඇත්තේ සිදුවීම් පාදක කරගෙනය. පරාක්‍රමබාහු රජ සහ සුගලා දේවිය අතර සටනේදී දේවියගේ සෙබළුන්ට මඟ හරස් කරමින් ගස් කපා හෙළූ රක්ඛ සෙනෙවියා නමින් රුක්මල්පිටිය ද එවැන්නකි. සති හයක පමණ කාලයක් තිස්සේ පැවැති බව කියන කටුවන සටන නිසා ආහාර පාන හිඟ වීමෙනුත් රෝගීවීමෙනුත් දුර්වල වූ සෙබළුන්ට හිරිහැර නොකරන ලෙස කළ ඉල්ලීමකට අනුව සපරගමු දිසාව කොටුවේ සිටි සොල්දාදුවන් ගෙන ගොස් ඝාතනය කරද්දී මොරදුන් හඬ නිසා ඒ ප්‍රදේශය මොරගහගොඩ ලෙස නම් කර ඇති බවද සඳහන් වේ. කොටුවේ තිබූ යුද උපකරණ ආදිය රැගෙන මාතරට පැමිණි සිංහල සේනාංකය නළා පිඹින්නකු හා බෙර වයන්නකු ඇතුළු ජා ජාතිකයන් හය දෙනකු මේ මරණයෙන් බේරා ඇත. ඔවුන් මෙන්ම සමස්ත සිංහල සේනාවටම ආහාර පාන සපයා ඇත්තේ අප දන්නා ජේම්ස් විලියම් මඩුවන්වෙල කොරළේගේ මුත්තනුවන් කෙනකු වන මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ විසිනි. ඔහු කටුවන කොටුවේ පිහිටි දොරක් අලියකු පිට ගෙනැවිත් තම වලව්වේ සවි කරගත් බව කීවේ ඒ සටනට සම්බන්ධ තවත් පුරුකක් වූ හැමිල්ටන් අබේසුන්දර වීරසිංහ මහතාය. මෙසේ සටන් වැදුණු කටුවන කොටුව පිළිබඳ 80 දශකයේදී ප්‍රේමදාස මුතුකුමාරණ කවියා ගුරුලු සන්දේශයේ සටහන් කළේ

ලන්දේසීන් කටුවන බල කොටුව බැඳ
සිංහල සෙනඟ වනසන්නට වෙහෙස විඳ
සුන් වූ අයුරු සිහිගන්වන සටන් වැද
පෙන්වයි අදත් නටබුන් කකියමින් හද

යනුවෙනි. එහෙත් 1788 මුකවෙටි අතපත්තු මුහන්දිරම් කවියා ලියන ලද කැටකිරිලි සන්දේශයේ බලකොටුවේදී බොටු කපා දැමුණු අයුරු මෙසේ සඳහන් විය.

කටුවන දිග ලක තුළ පසිඳු කිව් කැළ
දෙටුවන සෙවණ මහසෙන මැතිඳු යුද කළ
කටුවන කොටු තුඹස සිටු සිටු නමින් බල
බොටුගෙන කපා දැමු බව නරඹ නොපැකිල

ඉතිරිය මතුවට...

අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත

Comments