සොබා දරුමෙ කුපිත වෙලා | Page 2 | සිළුමිණ

සොබා දරුමෙ කුපිත වෙලා

නො දැහැමි රජුන් කල
කලට වැසි නැත යන බස
සැබැවැයි කී හ ගොවියෝ
කෙත් බිම් ඉරි තළන විට

කලට වැසි ඇති වී
ගොයම් රන් වන් වුව හොත්
නොදැහැමි රජුන් පිළිබඳ
දෙසුම ගැන විය සැක සිත්

අපේ නිමලෙගෙ බොල කොලුවා මා දං ගහට නැගල මාදං ගෙඩි කටේ දාගෙන ඇටේ ෂූ හ් ගාලා විසි කරන අතරෙ කවි කියනවා

අම්මට සිරි ගජ! කොලුවත් එක්තරා පණ්ඩිතයෙක් වෙන්ඩ යි යන්නේ. නිමලෙ වළකජ්ජ ගැහුව ම පරම්පරා ගතිය ගෙනියන්ඩ එකෙක් ඉන්ඩත් එපා යැ මං කියන්නෙ.

“මොකක්ද කොලුවො කවියෙ තේරුම?” මං ගහ ළඟට ගෙහුං ඇහුවා. බැලිඤ්ඤං කවි පොතකුත් අතේ තියා ගන.

“අදර්මිෂ්ට රජවරු රට පාලනය කරන කොට නියම කාලෙට වැහි වහිනවා. පොළොව වේළිලා ඉරි තළනව දකින ගොවියේ මේ කතාව ඇත්තයි කියනවා. හැබැයි නියම කාලෙට වැස්ස ඇවිත් ගොයම් පැහෙන කොට අදර්මිෂ්ට පාලකයා ගැන කියාපු අර අදහස ගැන සැක හිතෙනවා. ඕකයි තේරුම”

කොලුවා කියාපි.

“හදිසියේ ඕක කියවන්ඩ හිතුණෙ මොක ද පුතේ”?

මං ඇහුවා

“බණ්ඩයියා මැරිල ද හිටියේ. අපේ චන්දෙන් කුරුණෑගලින් එකට ආපු එතුමා මේ දවස්වල කිය කියා ඇවිදින්නෙ නිය‍ඟෙ ගැන.”

“එතුම මොක ද කියන්නෙ?”

“දැන් ඉන්න පාලකයො, රණවිරුවන්ට, රටට වැඩ කරපු අයට විරුද්දව කුමන්ත්‍රණ කරන හින්දා දෙයියො කෝපවෙලා නියඟයක් ඇති ‍වෙලාලු. ඒකෙන්ලු අපට කෙළවිලා තියෙන්නේ.”

“හද් දෙයියනේ! උන්දෑ අපේ චන්දෙ අරං ගියා ගියාමයි. පැත්ත පළාතෙ ආවෙ නෑ. පෑවිල්ලෙං කන්න හතරක් කෙළවිලා ඉද්දි නිකමට බලන්ඩ ආ‍ෙව නෑ. මොකට චන්දෙ දුන්න ද කියලා දැනුයි හිතෙන්නෙ.”

“එහෙම කියන්ඩ එපා.”

“ඇයි ඒ?”

“එතුමා මේ පැත්තට ආවොත් දෙයියො සන්තෝස වෙලා වහින්ඩ පටන් ගන්නවා”

“ඊට පස්සේ?”

“වැස්ස වැඩි වෙලා වැව් පිරිලා ගංවතුර ගලනවා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ, නිය‍ඟෙං කෙළවුණාට වැඩිය කෙළවිලා සෑහෙන පිරිසක් මැරෙනවා.”

“ඉතිං ඩිංගක් වහිනකං ඉඳලා ආපහු යන්ඩ බැරි යැ”

“කොහොම යන්ඩ ද? ආවොත් උන්නැහෙගෙ හිත උනුවෙලා පපුවට ගහගෙන ලෙඩ උනොත් හත්කෝරළේ මිනිස්සුන්ට සේවය කොරන්ඩ පින් කඳක් ඉතිරි වෙන් නෑ නෙවැ. ඒක හිතලා තමයි උන්නැහේ නෑවිත් ඉන්නේ”

නිමලෙගෙයි මගෙයි කතාව අස්සේ නිමලෙගෙ ‍බාල කොලුවා ගහ උඩට වෙලා කවි පොත කියෝනවා.

“බඹදත් වුව ද නම
වෙසවුණු දත්තයකු සම
රජෙක් වූයෙ ය බරණැස
කකා මුළු දඹදිව පිස”

කාට ද අප්පච්චියේ ඔය කවිඔල තියන අපබ්බුරංස තේරෙන්නෙ.

“කව්ද පුතේ ඕක ලියලා තියෙන්නෙ?” බැරි ම තැන මං ඇහුවා.

“සිරිලාල් කොඩිකාර කියලා මාමා කෙනෙක්” කොලුවා කියපි.

Comments