විශ්වවිද්‍යාල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය | Page 4 | සිළුමිණ

විශ්වවිද්‍යාල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය

පසුගිය කාලය තුළ කොළඹ දේශපාලනය උණුසුම් වී තිබුණේ සයිටම් විරෝධී අරගලවලිනි. ඊට මුහුණදීමට ආණ්ඩුවේ උපාය උපක්‍රම වෙනස් කිරීමත් සමග සයිටම් අරගලය යම් තරමකින් පසුබා ඇතැයි නිරීක්ෂණය වේ. ආණ්ඩු විරෝධී රැල්ල තුළ සයිටම් අරගලය පමණක් නොව, අනෙකුත් වැඩ වර්ජන රැල්ලද පසුබා ගොස් තිබේ.

සයිටම් විරෝධී අරගලයේ සක්‍රීය දේශපාලන කොටස්වල දකින්නට ලැබුණු ප්‍රධානම ප්‍රති විරෝධතාව වූයේ අරගලය තමන්ගේ අතේ නම් සම්පූර්ණ ශක්තිය යොදා අරගල කිරීමය. අරගලය තමන්ගේ අතේ නොවේ නම් එය දිය කර හැරීම ය. මේ තක්කඩි උපක්‍රමය ලාංකික වම යොදාගත්තේ අදක ඊයේක නොවේ. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කිරුළ උසුලන්නේ ජනතා විමුක්ති පෙරමුණය. එහි අභාවවාචික අනුප්‍රාප්තිකයා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වනවිට තම පරම්පරා උරුමය කරට ගෙන සිටී.

සයිටම් අරගලය තුළ ක්‍රියාකාරී වූ දේශපාලන කොටස්වල අභ්‍යන්තර පරස්පර විරෝධතා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සමහරුන් දුටුවේ එම අරගලය දිය කර හැරීමට දරන තැතක් ලෙසිනි. අරගලයක කොටස්කරුවන් කට්ටිවාදි වීම මෙන්ම අරගලයේ අභ්‍යන්තර හැඩතලවල පරස්පරතා විවේචනය කිරීම නොඉවසීමත් ලාංකික වාම අරගලයන්හි නෛසර්ගික ලක්ෂණයන්ය. එහෙත් සංවාද කර විසඳා නොගන්නා අභ්‍යන්තර පරස්පර විරෝධතා නිසාම අරගල අවලංගු වන විට සියලු දෙනා කසාය බිවු ගොළුවන් බවට පත් වෙති.

සයිටම් අරගලය බරපතළ පරස්පරතා විරෝධතාවලින් යුක්ත වූ අරගලයකි. එහි ගාමක බලවේගය වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයට එකඟය. ඔවුන් එරෙහි වන්නේ සයිටම්වලට පමණ ය. අරගලය වටා සිටි තොරොම්බල්කරුවන් වූ වාමවාදි කණ්ඩායම් සයිටම් විරෝධයෙන් ඔබ්බට ගොස් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයටද එරෙහිය. ඔවුන්ට අවශ්‍ය රජය යටතේ වූ වෛද්‍ය අධ්‍යාපන ආයතනයන්ය. එහෙත් මේ වාමවාදී කණ්ඩායම්වලට අනෙකුත් අධ්‍යාපන ආයතනයන් පෞද්ගලික අයිතිය යටතේ තිබීම ගැටලුවක් වී නැත. එසේම ලෝක ප්‍රවණතාවක් ලෙස පෞද්ගලික අධ්‍යාපනය ව්‍යාප්ත වීමද සැලකිල්ලට ලක් කරන්නේ නැත.

සයිටම් අරගලය තුළ ක්‍රියාකාරී වාම කණ්ඩායම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අවස්ථාවේ හැසිරුණේ කට්ටිවාදී ලෙසින් බව දැන් බොහෝ අයට අමතක ය. පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදීත් මේ කණ්ඩායම් අනුගමනය කළේ කට්ටිවාදී උපක්‍රමයකි. ''සටන කොතැනද, එතැන අප'' යැයි කියන න්‍යායෙන් අරගලයට පෙරට එන්නේ අරගලයේ සුක්කානම තමන් අතට ගැනීමට හැකි වන්නේ නම් පමණි. එය අතිශය බොළඳ ක්‍රියාවක් වන අතර, දේශපාලන ව්‍යාපාරයකට තරම් නොවන්නකි.

එහෙත් මේවා ප්‍රශ්න කිරීම මේ අරගලයේ භාවිතාව නොවේ. එවැනි ලාමක හැසිරීම් ප්‍රශ්න කරන ඕනෑම මොහොතක ප්‍රශ්න කරන්නාට ලේබල් ඇලවේ. ප්‍රශ්න කරන්නා සතුරාගේ ගොඩට ඇද දැමීම ලාංකික වාම භාවිතයයැයි සැලකිය හැකි තරමට එය ශක්තිමත්ය. සයිටම් අරගලයේ පරස්පරතා හා කල් ඉකුත් වූ සාධක ප්‍රශ්න කළ හැම මොහොතකම ලේබලය ඇලවූයේ සයිටම් හිමිකරුගේ මුදලින් යැපෙන්නකුයැයි කියමිනි.

එහෙත් අරගලය ඓතිහාසික අවතක්සේරුවකට හා අවලංගු කිරීමකට තල්ලු කරන පරස්පර විරෝධතා එලෙසම තබාගැනීමත් ඒවා අමතක කර දේශපාලනය කිරීමත් කිසිම ලේබල් ඇලවීමකට හේතූන් කරගන්නේ නැත. මේ වැරදි භාවිතයේ උපරිමයකට ඇවිත් තත්ත්වය පුපුරා යෑමකට පැමිණ ඇති නිසා දෝ බොහෝ සංවේදී පිරිස් අරගලය ප්‍රශ්න කරන ආස්ථානයකට මේ වන විට පැමිණ සිටී. කුමන පක්ෂය අන්තරය හැසුරුවද විශ්වවිද්‍යාල තුළ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් නොවේ. වාම පක්ෂ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවද විශ්වවිද්‍යාලයන්හි ප්‍රජාතන්ත්‍රවාදි සංස්කෘතිය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැත. ඔවුන් එවැන්නක් ප්‍රශ්න කළ වහා පවසන්නේ අන්තරය ස්වාධීන ශිෂ්‍ය බලවේගයක් බවත්, ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් ය. මේ නිදහසට කරුණු විශ්වවිද්‍යාලයන්හි පළමු වසරේ පොඩි උන්ට ගැළපෙන උත්තරයක් වුවත් ලාංකික දේශපාලනයෙන් තෙම්පරාදු වූ කිසිවකුට එය තේරුම් ගන්නට අපහසුවක් නැත.

මේ දිනවල සයිටම් අරගලයට සම්බන්ධ කිහිපදෙනකුගේ මුහුණු පොත් සරසා ඇත්තේ සයිටම් අරගලය ශක්තිමත් කිරීමට විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්නැයි ඉල්ලන පාඨයකිනි. සටන්කරුවන්ටම අරගලයේ දිග පළල පිළිබඳ ගැටලුවක් ඇති වීම නිසාදෝ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ සිටී. කොයි ආකාරයෙන් වුවද එසේ කටයුතු කිරීම ධනාත්මක බව පැවසිය යුතුමය. එහෙත් විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කිරීම වඩා ගැඹුරු දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට හේතු වන බවද අප තේරුම් ගත යුතුය.

විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නොවන පරිසරය නිසා නිදහස් මතවාදයන්ට ඉඩක් නොපවතී. අන්තරය පාලනය කරන දේශපාලන පක්ෂය ගන්නා වූ තීන්දු තීරණ මත ශිෂ්‍ය දේශපාලනය හැසිරවේ. එහෙත් විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වුව හොත් මේ පවතින සන්දර්භය වෙනස් වේ. එවිට අලුත් ශිෂ්‍ය මතවාදයන්ට ඉඩක් ඇති වන අතර, එනිසා අලුත් මතවාදයන් දරන ශිෂ්‍ය සංවිධානයන්ද නිර්මාණය විය හැකිය. එසේ වෙනස් වන ආකෘතිය තුළ ශිෂ්‍ය මතවාද, ශිෂ්‍ය සංවිධාන පමණක් නොව, අලුත් අරගලයන්ද ඒ අරගලයන්ගේ සටන්කරුවන්ද විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් මතු විය හැකිය.

ඒ අර්ථයෙන් විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් කිරීම වඩා ප්‍රගතිශීලීය. දැනට සයිටම් අරගලය තුළ ඉඳිමින්ම විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන්නන් ගසට නැඟ වාඩී වී සිටින අත්ත කපාදැමීමට උත්සාහ කරන්නන් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ ගසේ අත්තක වාඩි වී ගස මුලින්ම කපාදැමීමටය. ඒ සමගම ඔවුන්ගේ අරගලයට නව මානයන් ලැබෙන්නේය.

 අබරන් 

Comments