සීය පැන්නත් ගමන ෂුවර් | සිළුමිණ

සීය පැන්නත් ගමන ෂුවර්

* එකම සුදුසුකම A-Z තනි අකුරේ නොම්මරය 
* කෝටියක් දුන්නත් දෙන්නේනම් නෑ

1902 පෙබරවාරියේ දවසක්‍.

එංගලන්තෙන් නැව් නැගපු මෝටර් කාර් රථයක් කොළඹ වරායට සෙන්දු වන ආරංචිය අහපු හුඟ දෙනෙක් වරාය අවට රැස්කමින් හිටියා.

එඩ්ගා ගේ හිත ආඩම්බරෙන් පිරිලා.

“ඔන්න! මම තමයි උඹලගෙ රටට මුලින් ම කාර් එකක් ගේන්නේ...”

නොකිව්වට ඔහුගෙ මුහුණෙ තිබුණෙ එහෙම ලියැවුණු ආඩම්බරයක්.

ලංකාවට ට්‍රෑම් බස් හඳුන්වලා දීපු Boasted Brothers of Colombo සමාගමේ හයිකාරයෙක් වෙච්චි එඩ්ගා මනී, වාෂ්ප එන්ජිමක් සහිත තනි සිලින්ඩරයේ ‘8hp Rover’ මෝටර් කාර් එක ගෙන්නුවෙ ලංකාවේ ප්‍රධාන නගර ටිකවත් හරියට සම්බන්ධ වෙන තරමට පාර තොටක් නොතිබුණු යුගයක.

ඒත් පාර දිගේ ඔහු පැදගෙන යන මේ අමුතු වාහනේ දැකගන්න මඟ දෙපස මහ සෙනඟක් පෙළ ගැහිලා හිටියා.

“දැන් ඉතින් අපේ රටට දිගටම ඔය කාර් කියන ජාතිය ඒවි...”

බලා හිටපු මිනිස්සු එක එක කතා කිව්වා.

කාලෙ ගෙවිලා ගියා. ඒ එක එක කතා ඇත්ත වුණා. දැන් අපේ රටේ තියෙන්නෙ කාර් ලක්ෂ ගණනක් දවසකට එහා මෙහා යන යුගයක්.

ඒ සිදුවීමෙන් අවුරුදු 115 කට පස්සෙ, ඔබ මේ ලිපිය කියවන අදට සතියකට පෙරත් එහෙම දවසක් උදාවුණා. අලුත් කාර් නිසා නෙමෙයි, පරණම පරණ, පරණ කාර් නිසා.

මොරටුවේ වේල්ස් කුමරිය ළඟ ඉඳලා ගාලු කොටුවට යනකල් පාර දෙපැත්තේ මහ සෙනඟක්. ඔවුන් හිටියෙ අපේ රටේ පැරැණිම කාර් හෙවත් ‘වින්ටේජ් කාර් රැළිය’ ගමන් කරන හැටි දැක බලා ගන්න.

පෙරහර එන බව කියාගෙන ඉදිරියෙන් ම ගියේ පපර බෑන්ඩ් සංගීතය.

එඩ්ගා ගෙනාපු පළමුවැනි කාර් එකවත් 1904 දී ජී.සී. නැප් ගෙන්වපු පළමු වැනි පෙට්‍රල් කාර් එකවත් නැතුවට, 1908 ලංකාවට ආපු, දැනට ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන ඉපැරැණිම වාහනය හෙවත් මේ රිය පෙරහරේ ජ්‍යෙෂ්ඨයා, ‘ඇල්බියන් මරේ’ ඉස්සරහින්ම ගමන් කළා.

ඔස්ටින්... බේබි ඔස්ටින්.... බෝට් ටේල්.... වොක්ස්වෝල්... ස්ටෑන්ඩර්ඩ්.... වූල්ස්ලි සහ B.S.A මෝටර් සයිකල්... ඊට පිටුපසින්.

වැළලුණු ඉතිහාසයක් පෙරටු කරන් යන මේ හැමෝගෙන් ම ඉස්මතු වුණේ අමුතු ලස්සනක්. ගාම්භීරත්වයක්. එකකට එකක් නොදෙවැනි සුවිශේෂී බවක්.

හරියටම කිව්වොත් 1908 පටන් 1940 දක්වා යුගයක බිහිවුණු මේ සමකාලීනයන් මුණ ගැහුණෙ අවුරුද්දකට පස්සෙ. පාටින්... හැඩයෙන්... හැමෝම ‘ස්මාර්ට්’.

R 138, X 755, Z 9738, Z 4705, A 2374, Q 279, Z 7867, C 9276, Z 437, Z 4545, X 8180, Z 9874, D 3360, Z 2273, X 1988, S 495…. හැමෝටම තිබුණෙ මේ වගේ තනි ඉංග්‍රීසි අකුරක නොම්මරයක්. ඒක තමයි වින්ටේජ් කාර් එකක අනන්‍යතාව.

මේ රටේ කොහේහරි තැනෙක කාගෙහරි ළඟ සැඟවිලා ආරක්ෂිතව ඉන්න මේ වින්ටේජ් කාර් ගොන්න, එළියට එන්නෙ එහෙමත් දවසක.

‘VCOC’ හෙවත් Vintage Car Owner’s Club, අවුරුද්දක් පාසා සංවිධානය කරන රැළියට නම් කොහේ හිටියත් ඔවුන් හුඟ දෙනෙක් සහභාගි වෙනවා.

පුළුවන්කම තිබුණත් මේ කාර්වලට හැම වෙලාවෙම පාරේ දුවන්න බැරි හේතු හුඟක් තියෙනවා කියලයි සංගමයේ සභාපතිවරයා කියන්නෙ.

“අවුරුදු සීයයකට වැඩි කාලයක් තිස්සේ මේ වාහන රැකුණේ අයිතිකාරයො දෙතුන් දෙනෙකුගේ අතින් අතට ගිහින්. ඒ විදියට කාලෙන් කාලෙට අතින් අත යද්දි ඒවායේ පොත් අස්ථානගත වෙනවා. මොකද මේ සමහර වාහනවල අයිතිකරුවන් මියගිහින් අවුරුදු ගණනාවකට පස්සෙයි, පවුලෙ අය වාහනේ කාටහරි දෙන්නෙ.

ආසාව තියෙන කෙනා ගත්තට සමහර විට වාහනේ පොත නැහැ. ඉතින් රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්න. ඊළඟට රෙපෙයාර්ස්වලට යද්දි පරණ වාහන ගැන දැනුම තියෙන ටින්කර් බාස්ලා නැහැ. අමතර කොටස් නැහැ. සමහර ඒවා එංගලන්තෙන්ම ගේන්න ඕනේ. ඒකට වියදම අධිකයි. ටයර් එකක් ගෙවුණොත් ටයර් නැහැ. ප්‍රශ්න ගොඩයි...”

ඒ විදියෙ ගැටලු බාධක මැද්දෙ වුණත් අවුරුදු සීයක් හමාරක් පරණ මේ වාහන ඔවුන් රකින එක ගැන සභාපතිවරයාට නම් තිබෙන්නේ සතුටක්.

“මේ රටේ වින්ටේජ් කාර් දැනට හුඟක් තියෙන්නෙ සල්ලිය බාගෙ තියෙන අය අතේ. ඒ අය වියදම් කරලා මේ වාහන නඩත්තු කරන නිසා තමයි මේ තරමටවත් ආරක්ෂා වෙලා තියෙන්නේ. අපි ඔවුන්ට ආරාධනා කරනවා වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ් එකට බැ‍ඳෙන්න කියලා. මොකද ඒ හුඟක් අය වාහන ගෙවල්වල ලස්සනට ආසාවට නිකම් තියාගෙන ඉන්නවා. ඒ කාර් එක, එක දවසකට හරි එළියට ආවොත් කී දෙනෙක් දකිනවද... සතුට සහ දැනුම ලබනවද. වින්ටේජ් කාර් කියන්නෙ අපේ රටේ ඉතිහාසයේ එක පරිච්ඡේදයක්. සංචාරක ආකර්ෂණයට හොඳම අංගයක්.”

ඔහු කියන ඒ ඇත්ත, ගාලු යන අතරමඟ අපිත් අත්වින්දා.

“මේවා කොහේ හැංගිලා තිබුණද මංදා...”

‘පුදුමයි නේද මෙහෙම කාර් තවම අපේ රටේ තියෙනවා කියන එක...!’

‘අර බලන්නකො අර කාර් එකේ පිටිපස්සෙ හරියට බෝට්ටුවක් වගේ...’

‘ආන්! ඩිකිය වෙනුවට ට්‍රන්කා පෙට්ටියක් බැඳපු කාර් එකක්...! මෙන්න! ඒ වගේම පන් පෙට්ටියක් බැඳපු එකකුත් යනවා...’

රැළියෙ යන කාර්වල විශේෂතා ගැන ජනතාවගේ එක එක කතා.

සතුට... විමතිය... ආස්වාදය... ඔවුන්ගෙ හිත්වල පොදිකන හැටි!

සෙල්ෆි ගහන තරුණ ගැටවුන්ට හොඳම අවස්ථාව උදා වුණේ හික්කඩුවෙ කොරල් සෑන්ඩ්ස් හෝටලය ඉදිරිපිට කාර් පෙළම නතර කරපු වෙලාවෙ.

යමින් එමින් හිටි, ගමන් බිමන් මොහොතකට නතර කළ බොහෝ දෙනෙක්, එක පෙළට නවතා තිබෙන මේ කාර් දැක බලා ගත්තෙ නිකම්ම නෙවෙයි, අතපත ගාලා. හිතේ හැටියට ෆොටෝ ගහලා.

මෙතුවක් කලකට පිංතූරයක් නැතිනම් සෙල්ලම් බඩුවක් ලෙස පමණක් දැක තිබූ රැජනගේ රටේ පරණ කාර්, හැබෑවටම දකිද්දී ඔවුන්ගෙ මුහුණුවල තිබුණෙ අමුතුම හැඟීමක්.

සංචාරකයන්ගෙන් පිරී තිබුණු ගාලු කොටුවේදී ලැබුණෙත් ඊට නොදෙවැනි ප්‍රතිචාරයක්.

‘පෙඩ්ලර්’ වීදියෙ නවතපු වින්ටේජ් කාර් පේළියත් ඉංග්‍රිසි යුගයට අයත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ඔබමොබ ගිය වින්ටේජ් කාර් ක්ලබ් සාමාජිකයන්ගේ ‘ෆැන්සි ඩ්‍රස්’ විශේෂාංගයත් නිසා පැය කිහිපයකට එතැන මැවුණේ ලන්දේසි - ඉංග්‍රීසි යුගයක්.

“කොහොමටත් අපි හැම අවුරුද්දෙම මේ වින්ටේජ් රැළිය තියන්නෙ නුවර පෙරහරින් සතියකට පස්සෙ සතියෙ. මොකද සංචාරකයො ගාලු එන්නෙ පෙරහර බලලා. කාර් ටික පෙළට නවත්වලා පපර බෑන්ඩ් ගහනකොට, ඔවුන් ඇවිත් අපෙන් ප්‍රශ්න අහනවා.

“පුදුමයි අපි ශ්‍රී ලංකාවේදි මේ කාර් යළි දකින එක. කොහොමද මේවා ඔයාලා සංරක්ෂණය කරන්නෙ? බොහොම හොඳට මේන්-ටේන් කරලා තියෙනවා...” ඔවුන් කතා කරන්නෙ බොහොම සතුටින්.

එංගලන්තෙ වාහන හදපු මුල් කාලෙමයි අපේ රටටත් මේ වාහන ගෙන්නුවේ, ඒ තරම් සල්ලියබාගෙ තියෙන දේශීය ව්‍යාපාරිකයො ඒ කාලෙ අපේ රටේ හිටියා. තේ වතු, රබර් වතු හිමියෝ, රේන්ද මුදලාලිලා, වතු අධිකාරිවරු, සුදු මහත්වරු, ඒජන්තවරු... හුඟ දෙනෙක් පාවිච්චි කළේ මේ එංගලන්තෙ කාර්. ඇත්තටම කතා කරන්න පුළුවන්නම් මොනතරම් ඉතිහාසයක් මේ කාර් ඇතුළෙ සැඟවිලා තියේවිද.

කනගාටුවට කාරණය තමයි, අපේ රටේ පෞරාණික වටිනාකමක් ඇති පන්සල්, පල්ලි, ගොඩනැඟිලි ඇතුළු විවිධ දේ රකින්න බලන්න වග කියන රාජ්‍ය ආයතනයක් තියෙනවා. නමුත් මේ තරම් ඇන්ටික් වැලිව් එකක් තියෙන වාහන ටිකවත් රැකගන්න රජයේ සහායක් නැතිකම. අපි ප්‍රවාහන ඇමැතිතුමා මුණගැහෙන්න ඉන්නෙ. දුවන්න පුළුවන් තත්ත්වයේ තිබෙන, රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්න තියෙන වාහන අතළොස්සවත් රැකගන්න අපිට උදවු කරන්න කියලා. අපිට අවශ්‍ය මේ වාහනවලට පොත් හදාගන්න එක විතරයි. එහෙම වුණොත් ගරාජ් ඇතුළෙ - වතුවල - ගස් යට ඔහේ දිරාපත් වන මෙතෙක් එළියට නොදාපු වින්ටේජ් කාර් තව සිය ගණනක් මිනිස්සුන්ට දැකබලාගන්න පුළුවන් වේවි. රටේ සංචාරක ව්‍යාපාරයට උදව්වක් වෙන්නත් අපේ ක්ලබ් එකට පුළුවන් වේවි...”

ඔවුන් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික විසඳුමක්.

අපේ රටේ බෝට්ටු නිෂ්පාදන ‍ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ‘නීල් මැරින්’ සමාගමේ සභාපති, නීල් ෆර්නැන්ඩු මහතා වත්මන් මුල් පුටුව හොබවන වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ්, බිහිවන්නේ 1989 වසරේ.

එහි පැරැණිම සාමාජිකයා, හර්සිල් ෆර්නැන්ඩු. 1908 මෙරටට ගෙන්වපු ‘ඇල්බියන් මරේ’ රථයේ වර්තමාන හිමිකරු. සංගමයේ ලේකම් තනතුර දරන්නෙත් ඔහු.

“අපේ රටේ පරණ කාර් වෙනුවෙන් මුලින්ම සංගමයක් බිහිවෙන්නෙ 1953. ඒ, ‘වෙටරන්ස් කාර් ක්ලබ්’ එක. 1903 මෙරටට ගෙන්වූ, ධාවනය නොකළත් දැනට තිබෙන පරණම කාර් රථය හිමි විත්රූ පීරිස් සභාපති වූ මේ සංගමයේ මාත් හිටියා.

අසූ ගණන් වෙද්දි සංගමය එතරම් ක්‍රියාකාරි වුණේ නැහැ. ඔය අතරෙ එවකට ප්‍රවාහන කොමසාරිස්වරිය තීන්දුවක් ගත්තා, මේ රටේ තියෙන සියලුම A - Z වාහනවලින් ප්‍රයෝජනයක් නැහැ. RMV එකට ෆයිල් ගොඩගහගෙන ඉන්න බැහැ. පාඩුයි. ඒ ඉඩකඩ ලාබදායි දේකට යොදවනවා. A - Z වාහන බලපත්‍ර අවලංගු කරනවා කියලා. අපි හැමෝම ෆයිට් කළා. 40 දෙනෙක් එකතු වෙලා ‘වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ්’ එක බිහිකළා. අද වෙනකොට අපේ සාමාජිකයන් ළඟ විතරක් කාර් 400කට වැඩිය තියෙනවා.අපේ සංගමයෙන් පස්සෙ, වින්ටේජ් ක්ලැසික් කාර් ක්ලබ්, බෙන්ස් ක්ලබ්, මයිටි මිනි ක්ලබ්... වගේ වාහන සංගම් ගණනාවක් බිහිවුණා. අපේ සංගමයට බැ‍ඳෙන්න තියෙන එකම සුදුසුකම තමයි A - Z තනි අකුරේ නොම්මරයක් සහිත වාහනයක් තිබීම. අපේ සමහර සාමාජිකයො ළඟ පරණ කාර් දහය පහළොව තියෙනවා.

එකම දේ අපි මේවට හරි ආදරෙයි. කෝටියක් දෙනවා කිව්වත් කවුරුවත් විකුණන්නෑ. ‘වින්ටේජ් මෝටර්ස්’ නමින් මගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙත් පැරැණි කාර් නඩත්තුව සහ අලුත්වැඩියාව වෙනුවෙන්මයි.

හර්සිල් මහත්මයා කියන්නෙ තමන් සතුටින් කරන වෘත්තිය සහ සේවාව ගැනයි.

‘ඔයා මට වඩා ආදරේ ඔය පරණ කාර් එකටමනේ... සලකන්නෙත් කාර් එකටමනේ...’ මේ වින්ටේජ් කාර් හිමියන්ගේ බිරින්දෑවරු ඉඳහිට එහෙම කිව්වත් ඇත්ත කතාව වෙනස් එකක් කියලයි සංගමයේ භාණ්ඩාගාරික මහේන්ද්‍ර සමරසිංහ මහතා කියන්නේ.

“කාර් අතගාන මිනිස්සු යකඩ ගොඩවල් එක්කම හැපෙනවා මිස වෙන වෙන දේවල්වලට යන්නෑ. ක්ලබ් ප්‍රශ්න, ගෑනු ප්‍රශ්න ඔළුවෙ නැහැ. කාර් ගැන විතරයි හිතන්නෙ කියලා වයිෆ්ලා දන්නවා...”

හිනාවෙවි වුණත් ඔහු කියන ඒ කතාවෙ නම් ඇත්තකුත් ඇති.

පරණ කාර්වලින් නෝනලා - මහත්තුරු - දරුවො හැමෝම එක වගේ සතුටු වන හැටි කියන්න හොඳම උදාහරණෙ මේ රැලියෙදි දැක්කෙ වෛද්‍ය මහින්ද බාලසූරිය පවුලෙන්.

මල්කි රෙන්ට කාර් සමාගමේ සභාපති මහේෂ් මල්ලවාරච්චි මේ සංගමයේ එක් උපසභාපතිවරයෙක්. පැරැණි කාර් තිහ හතළිහක එකතුවක් ඔහු සතුයි.

කොහොම වුණත්, නීල් ෆර්නැන්ඩු ප්‍රමුඛ, මහේෂ් මල්ලවාරච්චි, මහේන්ද්‍ර සමරසිංහ, වෛද්‍ය මහින්ද බාලසූරිය, සමන් කරුණානායක, සවින් කරුණානායක, හර්සිල් ෆර්නැන්ඩු, රවිඳු වන්නිආරච්චි, දමින්ද ෆර්නැන්ඩු, ලසන්ත සේනාරත්න, යූ. පී. ජයවර්ධන, දමිත් ගජමන්, ගැමුණු අලවත්තගම සහ සුජිත් ෆර්නැන්ඩු වින්ටේජ් කාර් රැළිය නියෝජනය කළේ හදවතින්ම නැඟුණු හැඟීමකින්.

දෙපැති කණ්ණාඩි කිසිත් නැති ඉතාම සරල අංගෝපාංග පමණක් ඇති මේ පරණ කාර්, ගාලු ගිහින් ආවා කියන්නෙත් පුදුමයට කාරණයක්. ඒත් ඒක ඔවුන්ට ප්‍රශ්නයක් නෙවෙයි.

අතීතයට පෙම්බඳින මිනිසුන් ටිකක් එක් යුගයක අභිමානය කියාපාන පුරා වස්තුන් බඳු මේ පැරැණි කාර් අනාගතයට වදෙන් පොරෙන් සුරකිනවා.

යටගියාවක මිහිර අභිමානය ඉඳහිට හෝ අපි දකින්නෙත් ඒ නිසා.

ඡායාරූප - ක්‍රිෂාන්ත මේදිස්
චමිල පීරිස් 

Comments