රත්තරං බිත්තර දාන කිකිළි මරන්න මොන හදිස්සියක්ද? | සිළුමිණ

රත්තරං බිත්තර දාන කිකිළි මරන්න මොන හදිස්සියක්ද?

අධිකරණ සේවයෙන් විශ්‍රාමිකව, දැන් නීතිඥ වෘත්තියේ යෙදෙන හිටපු මහේස්ත්‍රාත්/ දිසා විනිසකරු සහ එයටත් පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධරයකු වූ ඩබ්ලිව්.ඒ. ලක්ෂ්මන් මහතා ඔහු අධිකරණ සේවයේ යෙදී සිටියදී සිදුවූ එකිනෙකට සම්බන්ධතාවක් නොතිබුණ ද හාස්‍යමය ආකාරයෙන් එක්වර සිදුවූ සිදුවීම් දෙකක් මෙනෙහි කරයි.

එවකට ඔහු නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විය. එකල නාඋල මහේස්ත්‍රාත් අධිකරණය, දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දෙසතියකට වරක් නඩු අසනු ලැබූ, සංචාරක උසාවියක් විය. වර්තමානයේදී රට පුරා අධිකරණ ශාලා ව්‍යාප්තියත් සමඟ බොහෝ ගම්බද අධිකරණවලට සිවිල් අධිකරණ ‍බලය ද පවරා ඇත. සතියකට වරක් හෝ සති දෙකකට වරක් පමණක් ළඟම ඇති ප්‍රධාන නගරයේ ස්ථිර අධිකරණවල සංචාරක උසාවි වශයෙන් නඩු ඇසූ සංචාරක උසාවි ස්ථිර උසාවි බවට පත් කර ඇති අතර දැන් නාඋල අධිකරණය දිසා/ මහේස්ත්‍රාත් අධිකරණයකි.

මෙම සංචාරක උසාවිවල ඇති කැපී පෙනෙන ලක්ෂණයක් වශයෙන් ලක්ෂ්මන් මහතා මෙනෙහි කරනුයේ, ආයාසයකින් තොරව නඩු කියන්නන්ගේ මුහුණු විනිශ්චයාසනය හොබවන විනිසකරුගේ මතකයේ තැන්පත් වීමේ හැකියාවයි. මෙයට හේතුව සරල ය. පවතින නඩු බොහෝමයක් ඉක්මනින් විසඳිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදන සහිත නඩත්තු නඩු සහ සුළු ඉඩම් ආරවුල් ය. සංචාරක උසාවිය සතියකට වරක් හෝ සති දෙකකට වරක් රැස්වන සෑම දිනකදීම එකී නඩු බොහෝ විට කැඳවනු ලැබීමෙන් පෙර දිනවල දුටු මුහුණු විනිසකරු නැවත නැවත දැකීමෙන් මෙම සුපුරුදුභාවය ඇතිවේ.

එම වකවානුවේ නඩත්තු ඉල්ලුම්පත් මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනු කරන ලද්දේ ස්වාමි පුරුෂයාට හෝ අවජාත දරුවෙකුගේ පියාට එරෙහිව දරුවාගේ හෝ දරුවන්ගේ නඩත්තුව සඳහා සහ/ හෝ දෙපාර්ශ්වය නිත්‍යනුකූලව විවාහ වී ඇත්නම් භාර්යාවගේ ද නඩත්තුව සඳහා මුදලක් ලබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීම සඳහා ය. වර්තමානයේ දී බලාත්මක වන නඩත්තු පනතට අනුව ස්වාමි පුරුෂයාට වුව භාර්යාවගෙන් නඩත්තු මුදල් ඉල්ලා සිටීමේ අවකාශය උදාකර ඇත.

යුවළ කසාද බැඳ ඇත්නම් සමථයක් ඇති කිරීමේ අභිලාෂයෙන් දෙපාර්ශ්වය ම පවුල් උපදේශක වෙත යොමු කරයි. සමථයක් නොමැත්තේ නම් කරුණු විමසා බලා නඩත්තු මුදලක් නියම කරයි. මෙකී නඩත්තු මුදල, හිඟ මුදලක් නොමැත්තේ නම්, තැප‍ෑලෙන් වුව ගෙවීමට ඉල්ලා සිටිය හැක. එවිට පාර්ශ්ව නැවත අධිකරණයට ඒම අනවශ්‍ය ය. නඩත්තු මුදල වැඩි කිරීමේ ඉල්ලුම්පතක් ඉල්ලුම්කාරිය ඉදිරිපත් කරන්නේ නම් එවිට නැවත විමසීමක් උදෙසා පාර්ශ්වයන් නැවත අධිකරණයට පැමිණිය යුතු ය. පාර්ශ්වයන් සමාදාන වී එකට ජීවත්වන්නේ නම් එවිට නඩත්තු ගෙවීම ඇන හිටියා සේ සැලකිය හැකි ය.

එවකට නාඋල මහේස්ත්‍රාත් අධිකරණය පැරැණි ගොඩනැගිල්ලක විය. ගරා වැටුණු ස්වභාවය අලුත් තීන්ත ආලේපයකින් වසන් කළ, පැරැණි ගෘහ භාණ්ඩ සහ අධිකරණයන්ට ම පමණක් සුවිශේෂී වූ ‍‍ගෞරවප‍ූර්වක පෙනුමැති ය. පැරැණි විනිශ්චයාසනයක් එහි විය. එය විනිසකරු මූඩ්ලියර්තැන සහ නීති මඩුල්ල සිටින තැන් සුසුමක දුරකින් වෙන් වූ අතින් මැනිය හැකි තරම් වට ප්‍රමාණයකින් හෙබි කුඩා අධිකරණ ශාලාවක් විය. විනිසකරු අසුනේ හුන් කාරුණික විලාශයෙන් ඉදිරියට මඳක් නැඹුරු වූ ඩබ්ලිව්.ඒ. ලක්ෂ්මන් මහතාගේ ස්වභාවය ඔහු හමුදාවේ සිටි කාලයේ දී ගෙන දුන් ගෞරවාන්විත වාතාවරණයට හානියක් නොවුණි.

එදින එක් අවස්ථාවක දී කැඳවූ නම් දෙකක් ව‍ූයේ ඩයනා සහ චාර්ල්ස් ය. එවකට ලෝක පූජිත යුවළගේ නම් වීම සහ එකී බටහිර නාමයන් ගැමි පරිසරයකට නොගැළපීම හැරුණු විට මුහුණුවල හුරුපුරුදුකම නොසලකා සිටිය නොහැකි විය. ඩයනා කෝමළ පුංචි සිරුරැති, කැපී පෙනෙන ලක්ෂණ සහිත හැඩට ඉන්දියානු සාරියකින් සැරසී හුන් අතර චාර්ල්ස් අත්කොට කමිසයකින් සහ කලිසමක් හැඳ ඔප දමන ලද සපත්තු ජෝඩුවකින් සැරසී ජෝඩුවකට සරිලන ආකාරයෙන් ගැළපී සිටියේ ය. ඔවුන් කසාද නොබැඳී යුවළක් ලෙස කිසිවෙක්වත් සැක නොකළහ.

නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වය ම නීතිඥ නියෝජනයක් සහිතව අධිකරණ ශාලාව දෙපසින් ඉදිරියට පැමිණියෝ ය. “මොකක් ද මේ කාරණේ?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා මුලින් ම ඇසුවේ වගඋත්තරකාර පාර්ශ්වය දෙසින් මුලින් ම ඉදිරියට පැමිණි නීතිඥ මහතාගෙන් ය.

“මේ නඩත්තු ඉල්ලුම් පත්‍රයක්, ස්වාමීනි” ලෙස වගඋත්තරකරුගේ නීතිඥ මහතා පවසා සිටිය ද ඔහ‍ුගේ උගුරේ වූ යම් ආබාධයක් නිසා ඔහුගේ කටහඬ නෑසුණු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට නැමුණි.

“සමාවෙන්න, මට ‍ඔබ ඇහුණේ නෑ.”

“මෙය නඩත්තු ඉල්ලුම් පත්‍රයක්, ස්වාමීනි” මහේස්ත්‍රාත්වරයා වෙත හැරෙමින් මුඩ්ලියර්තැන පවසා සිටියේ උදව්වට ය. එහෙත් මුඩ්ලියර්තැනගේ සුසුමේ වූ මත්පැන් ගඳ මහේස්ත්‍රාත්වරයාට දැනීම නොවැළැක්විය හැකි විය.

“කිට්ටුවට එන්න, මුඩ්ලියර්,” ලක්ෂ්මන් මහතා කොඳුරා පැවසුවේ තවත් ඉදිරියට නැඹුරු වෙමින් ය. “තමුන් බීල ද ඉන්නේ?”

වහා වගඋත්තරකරු වෙතට හැරුණු මුඩ්ලියර් තැන මොර දෙමින් වගඋත්තරකරුගෙන් අසා සිටියේ “යුෂ්මතා, තමුන් බීල ද ඉන්නේ?”

ලක්ෂ්මන් මහතා (නැවතත් කොඳුරමින්) “නෑ. මං තමුන්ගෙන් අහන්නේ, මුඩ්ලියර්, තමුන් බීල ද ඉන්නේ?”

මුඩ්ලියර් තැන නැවතත් මොරදුන්නේ වික්ෂිප්ත වී සිටි වගඋත්තරකරු වෙතටයි. “යුෂ්මතා, ගරු විනිශ්චයකාරතුමා තමුන්ගෙන් නැවතත් අසා සිටින්නේ තමුන් බීල ද ඉන්නේ?” (සිනා)

වගඋත්තරකරුගේ අවුල් වූ නීතිඥ මහතා ඔහුගේ සේවාදායකගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට උත්සාහයක නියැළෙන විට ලක්ෂ්මන් මහතා මුවට නැඟුණු සිනහවක් මෙන් ම ඔහුගේ මනසේ ක්ෂණිකව සැරිසැරූ කුමන හෝ ආවේගයන් මැඩපවත්වා ගනිමින් තීරණය කළේ ප්‍රස්තූතගත කාරණය අවස්ථානුකූලව පළමුව විසඳා ගැනීමටත් අධිකරණ නිලධරයාගේ අවිචාරය පිළිබඳ දිනය අවසානයේදී දැඩි ලෙස ක්‍රියා කිරීමටත් ය.

“ඔබ කිවුවේ මෙය නඩත්තු ඉල්ලුම් පතක් කියලා.” ලක්ෂ්මන් මහතා පැවසුවේ දෙපාර්ශ්වය ම නියෝජනය කරනු ලබන නීතිඥවරුන්ට ය.

“ඇයි අද මේ නඩුව කැඳවන්නේ?”

ඉල්ලුම්කාරියගේ නීතිඥ : “නඩත්තු මුදල් ගෙවීම සඳහා”

ලක්ෂ්මන් මහතා (වගඋත්තරකරුගේ නීතිඥ මහතාගෙන්)

“සල්ලි ලෑස්ති ද?”

වගඋත්තරකරුගේ නීතිඥ: “ඔව්, ස්වාමීනි.”

ලක්ෂ්මන් මහතා: “මට මතකයි මේ නඩුව ගිය සතියෙ හරි ඊට පෙර සතියෙ කැඳවනවා. ඒ මොකටද?”

ඉල්ලුම්කාරියගේ නීතිඥ: “නඩත්තු මුදල් ගෙවීමට.”

ලක්ෂ්මන් මහතා: “හිඟ මුදල් තියෙනවා ද?”

ඉල්ලුම්කාරියගේ නීතිඥ: “නෑ, ස්වාමීනි, සියලු මුදල් කලට වෙලාවට ගෙවනවා.”

ලක්ෂ්මන් මහතා (ඉල්ලුම්කාරියගේ නීතිඥවරයාගෙන්) “නඩත්තු මුදල් වැඩි කිරීමේ ඉල්ලීමක් තියෙනවාද?”

ඉල්ලුම්කාරියගේ නීතිඥ : “නෑ, ස්වාමීනි.”

ලක්ෂ්මන් මහතා: “ඔවුන් පවුල් උපදේශක වෙත ඉදිරිපත් වුණා ද?”

වගඋත්තරකරුගේ නීතිඥ: “ඔව්. ඉන් පසු ඔවුන් සමාදාන වුණා. (සිනා) දැන් ඔවුන් එකට ජීවත් වෙන්නේ.” (උස් හඬින් සිනා)

ලක්ෂ්මන් මහතා: මදක් විමතියෙන්. “එහෙනම් මොකක් ද මේ නඩත්තු ගෙවීම?”

නීතිඥ දෙපළ එකිනෙකාගේ මුහුණු බලමින් එක් මහතෙක් පැවසුවේ: “ඔවුන් කසාද ජෝඩුවක්. මේ සමාදානේ ඇති කරන්න මාත් මගේ උගත් මිත්‍රයාත් ගොඩාක් මහන්සි වුණා. මේ සමාදානෙ වුණෙත් අපේ බල කිරීම නිස යි. අපි දෙන්නටම හිතුණේ ඔවුන් උසාවියට ගෙන්වන එක ඔවුන්ගේ විවාහ පොරොන්දු තියන්න හේතු වෙයි කියලා.” (සිනා)

ලක්ෂ්මන් මහතා: “ඒක උසාවියේ රාජකාරිය. මං කැමතියි නඩුවක් තවදුරටත් කැඳවන්න අවශ්‍ය නැති විටක ඒ බව අධිකරණය දැනුම්වත් කරනවා නම් ඒත් පේන්නේ කාටවත් හදිස්සියක් තිබුණේ නැහැ වගේ නඩුවේ වර්තමාන තත්ත්වය ගැන අධිකරණය දැනුම්වත් කරන්න.”

වගඋත්තරකරුගේ නීතිඥ: “ඉක්මන් කොටයි කියනවානෙ, ස්වාමීනි” (උස් හඬින් සිනා) “වැඩ අධික වීම තමයි ඒ අමතක වීමට හේතුව.”

ලක්ෂ්මන් මහතා: “එහෙමත් නැත්නම් කාටවත් හදිස්සියක් තිබුණෙ නැද්ද රත්තරං බිත්තර දාන කිකිළි මරන්න?” (උස් හඬින් සිනා)

ඒ මත එකී කාරණය නිමා කළ ලක්ෂ්මන් මහතා කාර්ය මණ්ඩල සේවකයාගේ සැකමුසු අවිචාරය සම්බන්ධයෙන් පෙර දින රාත්‍රියේ සහභාගි වූ සාදයක ප්‍රතිඵලයකැයි සේවකයාගේ හේතු දැක්වීම බාර ගැනීමට තීරණය කළේ ය.

Comments