ප්‍රශ්න පත්‍රය පිට කළේ 'බ්ලූටූත්' තාක්ෂණයෙන් | Page 2 | සිළුමිණ

ප්‍රශ්න පත්‍රය පිට කළේ 'බ්ලූටූත්' තාක්ෂණයෙන්

'මේ මොහොතේ ඔබ විසින් මුහුණ දුන් ප්‍රශ්න පත්‍රය සමඟ අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදි සිසුන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රය සමඟ සන්සන්දනය කර බලන්න'

මේ පසුගිය 19දා උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් ගම්පහ ප්‍රදේශයේ බාලිකා විදුහලක් ඉදිරිපිට බෙදූ අත් පත්‍රිකාවක වූ සඳහනකි. ඒ පත්‍රිකාව දුටු බොහෝ සිසු සිසුවියෝ අන්දුන් කුන්දුන් වූහ. ඒ වනවිට තමන් මුහුණ දුන් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කෙසේ හෝ විභාගයට පෙර පිටවී ඇති බවට සැක සිතූ දරුවන් අතර ඇතිවූයේ මහත් වික්ෂෝපයකි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙද්දී හෙළි වූයේ එය එසේ නොව තනිකරම කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

ඒ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හැරෙන්නට අන් සියලු පුද්ගලයින් රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වෙද්දී, අනාවරණය වූයේ ඉන් එහා ගිය බරපතළ ගණයේ විභාග වංචාවක් මේ සිද්ධිය පසුපස පැවැති බවයි. සිදුවීම් දාමයක් පසුපස දිවෙන මේ කතා පුවත හරහා දෙවරක් සිතන්නට මෙන්ම ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවේ නම් ඒ විභාග දෙපාර්තමේන්තුවටය. මන්ද ලංකාවේ විභාග සහතික යනු ලොව බොහෝ රටවලදී ඉතා ඉහළින් පිළිගැනෙන බැවිනි. එසේ ජාත්‍යන්තරව පිළිගන්නා විභාගයක පිළිගැනීම ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේද විභාග දෙපාර්තමේන්තුවටය.

උසස් පෙළ යනු පාසල් ජිවිතේ අවසන් කඩඉම් විභාගයයි. මේ කඩඉම ජය ගන්නට සිසුවෝ වසර 13 ක් වැනි දිගු කාලයක් පෙරුම් පුරති. එම කඩඉම ජයගත්තත් සරසවියකට පිවිසෙන්නට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි ලක්ෂ ගණන අතරින් 25000 ක් වැනි අතළොස්සකටය. වෛද්‍යවරයකු, නීතිඥවරයකු හෝ ඉංජිනේරුවකු එසේත් නොමැතිනම් වෙනත් ඉහළ තානාන්තරයකට පිවිසීමට උසස් අධ්‍යාපනයක් ලැබ ගත හැකි වනුයේ මේ කඩඉම පැන ගතහොත් පමණි. නොඑසේනම් සිදු වනුයේ මුදලක් ගෙවා ඉහළ අධ්‍යාපනය ලබන්නටය.

තම දරුවා හොර දොස්තරවයෙකු හෝ හොර නඩුකාරයකු කරන්නට කිසිම දෙමවුපියකු කැමැති වන්නේ නැත. වැඩිහරියක් දෙමවුපියන්ට අවශ්‍ය වන්නේ අතේ සතේ නැතිව හෝ තම දරුවන්ට ඉහළට ඉගැන්වීමටය. එසේ නොමැතිව හොර පාරෙන් හෝ මේ කඩඉම පැනගැනීමට දරුවන් පොලඹවන දෙමවුපියන්ද නැතිවාම නොවේ. මෙවැනි දේ සඳහා දරුවන්ට ගුරුහුරුකම් දෙන ගුරුවරුන් සිටීමද අවාසනාවකි.

මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුවෙකි. 19 හැවිරිදි මේ සිසුවා පසුගිය 19 වැනිදා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සිය පාසලේම වූ විභාග මධ්‍යස්ථානයට යන්නේ සිය පියා විසින්ම දරුවාට දුන් විභාග මධ්‍යස්ථානයකට තහනම් වූ අති නවීන දුරකථනයද රැගෙනය. බ්ලූටූත් පහසුකම් ද ඇති එම දුරකථනය සිසුවාට පියා විසින් මිලදී ගෙන දී ඇත්තේ ද විභාගයට ඔන්න මෙන්න කියා තිබියදීය. සිසුවා එදින විභාග ශාලාවට යන්නේ සිය පියා හා ටියුෂන් ගුරුවරයා විසින් දෙනු ලැබූ විභාග වංචාවකට මුල පිරීමේ අගනා උපදෙස් ද සහිතවය.

බොහෝ විට මීට කලින් පැවැති ප්‍රශ්න පත්‍රයවලටද මේ සිසුවා පිළිතුරු ලියා ඇත්තේ මේ ආකාරයෙන්යැයි අනුමාන කළ හැක්කේ රසායන විද්‍යාවට වඩා අපහසු ප්‍රශ්න පත්‍රද මීට පෙර පැවැති නිසාවෙනි. එසේම යමෙකු විභාග වංචාවක් කරයි නම් ඒ එක් ප්‍රශ්න පත්‍රයකටම පමණක් නොවන නිසාය. මේ පියාද උගත් පිළිගත් රැකියාවක් කරන තැනැත්තෙකි. ඔහු වෛද්‍යවරයෙකි. උසස් පාසලකට ඇතුළත් කළද තම දරුවාගේ සමත්වීම ගැන කිසිදු විශ්වාසයක් නොතිබූ හෙයින් ඔහු පුතාට දෙන්නේ අපූරු උපදෙසකි. ඒ අධි තාක්ෂණික උපකරණ හරහා වංචනිකව පිළිතුරු ලිවීමය. සිය ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් විභාගයට පෙර පියා පුතාට අති නවීන දුරකථනයක් මිලදී ගෙන දෙන්නේ විභාග ශාලාවකට දුරකථන රැගෙන යෑම අතිශයින් තහනම් බවද දැන දැනමය.

ජංගම දුරකතන මෙන්ම බ්ලූටූත් ද විභාග මධ්‍යස්ථානවලට තහනම් වූයේ අද ඊයේක නොවේ. විභාග නිරීක්ෂකයින්ට නොපෙනෙන පරිදි එය කනේ රඳවා ගෙන පිටස්තරයන් හා සම්බන්ධ වෙමින් පිළිතුරු ලිවීමට මේ හරහා හැකියාව ඇත්තේ ය. මේ සඳහා ජංගම දුරතකන අවශ්‍ය නැත. මීට පෙර සිය කන් ලේන්සුවලින් ආවරණය කර ගනිමින් විභාග වංචා සිදු කිරීමට සිසුන් තැත් කළ අවස්ථා හෙළිදරව්ව වීම නිසා මෙවැනි දේ විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑම අතිශයින්ම තහනම් විය.

එහෙත් ඒ තහනම නොතකමින් මෙවැනි උපකරණ හොර රහසේ විභාග මධ්‍යස්ථානවලට ගෙන යෑමේ සිදුවීම් කොතෙකුත් වාර්තා වෙයි. අදාළ සිසුවා ප්‍රශ්න පත්‍රය ලද සැණින් කළේ සිය ජංගම දුරතකනයෙන් එහි වූ පිටු ඡායාරූප ගතකර වයිබර් තාක්ෂණය ඔස්සේ කලින් සැලසුම් කරගත් පරිදි සිය පියාට හා සැකකාර ටියුෂන් ගුරුවරයාට යැවීමයි. මේ සඳහා සැකකාර පියා විසින් මේ ටියුෂන් ගුරුවරයාට රුපියල් ලක්ෂ 10ක් ලබා දී ඇතැයිද පරීක්ෂණවලදී හෙළිවිය. ඒ තම දරුවාට බ්ලූටූත් හරහා අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වෙනුවෙනි.

එය ඒ ආකාරයෙන් ඉතා සූක්ෂමව සිදුවුවත් මේ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා ‘කල දුටු කළ වළ ඉහගත්තා සේ' අනතුරුව කර ඇත්තේ තමාගේ අනාගත සුබ සිද්ධිය සඳහා මෙය යොදා ගැනීමයි. ඒ සඳහා ඔහු රහසේම ක්‍රියාත්මක විය. ඔහු කළේ මේ වෙද්දී ගම්පහ ප්‍රදේශයේ ග්‍රැෆික් නිර්මාණ ආයතනයක සිය රසායන විද්‍යා ටියුෂන් පන්ති පිළිබඳ අත් පත්‍රිකා මුද්‍රණය කරමින් සිටි සිය සොහොයුරා ඇතුළු කීප දෙනකුට සිසුවා එවූ ප්‍රශ්න පත්‍රයෙන් තෝරා ගත් ප්‍රශ්න කීපයක් කිසිදු වෙනසක් නොකර යැවීමය. මුද්‍රණය කෙරෙන එම අත් පත්‍රිකාවට මේ ප්‍රශ්න ඇතුළත් කරන ලෙසද ඔහු උපදෙස් දී තිබේ.

සිසුවා එවූ ප්‍රශ්නවල අන්තර්ගතයේ කිසිදු වෙනසක් නොවූ අතර එහි වූයේ ඉතා ආකර්ශණීය අයුරින් සඳහන් වූ ඉහත ටියුෂන් ගුරුවරයාගේ පුනරීක්ෂණ පංතිය ගැන විස්තරයකි. ‘යුගයේ අසමසම රසායන විද්‍යා දේශක ----------' යනුවෙන් ටියුෂන් ගුරුවරයාගේ නම ද ඇතුළත්ව එම පත්‍රිකාව මුද්‍රණය කර තිබිණි. තමන් කලින් පැවැත්වූවායැයි පවසන සම්මන්ත්‍රණයකදී මේ ප්‍රශ්න මේ ආකාරයේම ලබා දීමට තමන්ට හැකිවූවායැයි උදාහරණද සහිතව එම පත්‍රිකාවේ සඳහන් කර එම පන්තිවලට සහභාගී වී ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා ලෙස ඔහු මේ පත්‍රිකා මගින් සිසුන්ට ආරාධනා කර තිබිණි.

මෙසේ සකස් කළ අත්පත්‍රිකා බෙදන්නට නියම වූයේද ඔහුගේ ගෝල බාලයින්ටමය. ඒවා බෙදූවේද ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් අසලය.ඇත්තෙන්ම ඔහු අපූරු ආකාරයේ ගුරුවරයෙකි. ‘බොරුවට ආයුෂ නැත්තාසේ මේ ගුරුවරයාගේ ද බොරුව අසුවිය. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ පරීක්ෂණ කටයුතු බාර වූයේ සී.අයි.ඩී යට ය. මුලින් ඉහත ටියුෂන් ගුරුවරයාගේ පියාත් සොහොයුරාත් මුද්‍රණ කටයුතු කළ අයත් නීතියේ රැහැනට හසුවිය. ඒ ඔස්සේ දිගින් දිගට පරීක්ෂණ සිදු කරද්දී අවසානයේ සිසුවාට හොරකම ඉගැන්වූ වෛද්‍ය පියා මෙන්ම සිසුවාද නීතියේ රැහැනට හසු විය.

1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතට අනුව විභාග නීති හා දඬුවම් නියම වන අතර විභාග ශාලාවේ තිබිය යුතු දේ හා නොගෙනිය යුතු දේ ද එහි සඳහන්ය. මෙවැනි අධිතාක්ෂණික උපකරණ විභාග මධ්‍යස්ථානවලට ගෙනයෑම තහනම් වන්නේ සිසුන්ට පමණක් නොවේ. නිරීක්ෂකයින්ටද එය තහනම් ය. විභාග ශාලාධිපතිවරයාට පමණත් ජංගම දුරකතනය රැගෙන යෑමට අවසර දී ඇත්තේ අවශ්‍ය අවස්ථාවන්හීදි විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමටය. කොළඹ උසස් පෙළේ පාසලක පැවැති මේ විභාග මධ්‍යස්ථානයට ඉහත සිසුවා ජංගම දුරකතනය ගෙන ගියා පමණක් නොව එයින් ඡායාරූපද ගැනීම සුළු කොට තැකිය නොහැක්කේ මේ කටයුත්ත කිසිම නිරීක්ෂකයකුට හසු නොවීම නිසා ය. නැතිනම් මෙයට තවත් අය වක්‍රාකාරව යම් යම් අයුරින් හවුල් වූවාද යන්න ගැන විමර්ශනය කෙරෙමින් පවතී.? මුදල්වලට සිය දෙමවුපියන් පවා පාවා දෙන යුගයක එවැනි අනුමාන සාධාරණ විය හැකි ය.

විභාග දෙපාර්තමේන්තුවේ මෙවැනි හිඩැස් තැන් මතු වූයේ අද ඊයේ නොවේ. 2012 වසරේදී ද විභාග දෙපාර්තමේන්තුවේ ඇතුළතින්ම විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිටවී එය සම්පත් අත්තටගේ නමැති ටියුෂන් ගුරුවරකු අත පත්වීමේ සිද්ධියක් පිළිබඳ මීට පෙර වාර්තා විය. එදා සිසුන්ට යම් සහනයක් ලැබිණි. විභාග ප්‍රශ්න පත්‍ර යනු අතිශයින්ම රහස්‍ය දෙයකි. සමහර විභාග ප්‍රශ්න පත්‍ර අවසන් වූ පසුද එය රහස්‍ය ලේඛන ලෙස සලකයි. ප්‍රශ්න පත්‍රයක් අවසන් වූ පසු එය මුද්‍රණය කරවා බෙදා හැරීමට පෞද්ගලික මුද්‍රණකරුවන්ට කිසිසේත් අවසරයක නැත. ඒ සඳහා නිශ්චිත කාලයක් ඇතුවා සේම විභාග දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියද ලැබිය යුතුය.

විභාග දෙපාර්තමේන්තුව විවිධ නීති සම්පාදනය කළද ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේද යන්න ඇගැයීමක් නොකිරීම එහි ඇති තවත් අඩුපාඩුවකි. උදාහරණයක් ගතහොත් විභාග මධ්‍යස්ථාන සහිත පාසල්වලට අනවසර පුද්ගලයින්ට ඇතුළුවීම තහනම් කළද මේ නීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නැත. විභාග මධ්‍යස්ථාන තුළට අනවසර දෑ ගෙන යෑම පරීක්ෂාවට ලක් කළේ නම් මෙවැනි අකටයුතුකම් වන්නේ ද නැත. නිරීක්ෂකවරුන් සිය රාජකාරි පැහැර නොහැරියේ නම් මෙවැනි දේ වන්නේ නැත. කොටින්ම විභාග ශාලාවල වංචාවන්ට කිසිදු ඉඩක් නැත්තේනම් මෙවැනි දේ කරන්නට සිසුහු නොපෙලෙඹෙති. මෙහි කොතැන හෝ හිඩැසක් ඇතිබව අප පිළිගත යුතුය.

වංචනිකයනට කවදත් කොතැනකවත් ඉඩක් නැත. එසේ තිබියදී දරුවන්ට වංචාව උගන්වන්නේ නම් ඒ දරුවන්ට ද අනාගතයක් නැති වන බවට මෙය හොඳම උදාහරණයකි. උගත් දෙමවුපියන් ද මෙවැනි දෙයට පෙලැඹීම අවාසනාවකි. අපේ සිසුන්ට සාධාරණත්වය ලබාදීම වෙනුවෙන් යැයි පවසමින් සටන් කරන වෛද්‍යවරුන්ට මෙවැනි වෛද්‍යවරුන්ද සිටීම අභාග්‍යයකි. විභාගය යනු ජිවිතයම නොවන බව අපි තේරුම් ගත යුතු වෙමු. විභාගය ජීවිතයේ කොටසක් පමණක් කර ගන්නා දරුවන්ට යායුතු මං බොහෝය

 සුභාෂිණි ජයරත්න 

 

Comments