උණහපුළුවාට උගේ පැටියා රත්තරන් | සිළුමිණ

උණහපුළුවාට උගේ පැටියා රත්තරන්

 සිංහරාජයේ අලි අල්ලන්න ගිය හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා ඇතුළු විසිපස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායම වටලා නිවාස අඩස්සියට ගැනීමට ගම්මු පිරිසක් සමත් වූහ. ඔවුන්ගේ විරෝධය අලි ඇල්ලීමටය. අනෙක් පිලේ ගැමියෝ වනජීවී නිලධාරීන් පිරිසට කෑම-බීම සපයා රැකගත්හ. දිනක් වෛද්‍ය අතපත්තු දියට ගොස් එන අතර පලතුරු පිරුණු වත්තක හිමිකරු දැක වත්තට ගොඩ වුණේය. රන් තැඹිලියක් කපා පිළිගන්වන අතර වතු හිමිකරු මෙසේ මිමිණුවේය:

“අනේ මේ වතුපාළුවොත් එක්ක ඇට්ටියක්වත් ඉතිරි කරගන්න බැරි හැටි!”

කුතූහලයට පත් වෛද්‍ය අතපත්තු ඒ කීවේ කා ගැනදැයි බැරෑරුම්ව විමසීය.

“මේ හම්බාවොයි, දඬුලේන්නුයි, උණහපුළුවොයි ඇර වෙන කවුද මහත්තයා?”

“දැනුත් එයිද?” වෛද්‍යවරයාට සතුට නිම්හිම් නැති විය.

“කළුවර වැටෙන කල් හිටියොත් බලතෑකි...”

ගොම්මන් ඇඳිරියෙන් අවට වෙළී ගියද කිසිම සතකුගේ සේයාවක් වත් නැත. බලාපොරොත්තු අත්නොහළ වෛද්‍ය අතපත්තු රෑ බෝ වූ පසු යළි එන අදිටනින් පිටව ගියේය. ඔහු නැවත ආවේ අලි අල්ලද්දී යොදාගන්නා විසල් විදුලිපන්දමද අතැතිවය. රූස්ස ගස් මුදුන් සහ පොල්, තැඹිලි කරටි සිසාරා වැදුණු ආලෝකයට කිසිදු සතකු හසු නොවිණි. මඳකින් ගස්ලබු ගසේ කඳේ කළු ගුළියක් දැක එ් දෙස වෛද්‍ය අතපත්තුගේ අවධානය යොමු විය.

“මැණික් කැට හතරක් දිලිසෙනවා වගේ දැක්කෙ. බලද්දි පැටියෙක් බඩේ බැඳගෙන උණහපුළු අම්මෙක් ගස්ලබු කන්න යනවා. දෙන්නගෙ ඇස් හතර තමයි දිලිසෙන්නෙ.”

ඉන් පසු වෛද්‍ය අතපත්තු උණහපුළුවන් පිළිබඳ බොහෝ විස්තර කීවේය.

“අපි කතා කළ හැම සතෙකුටම වඩා උණහපුළුවා වෙනස්. ඌ වනාන්තරවලටම සීමා වුණු එකෙක්. කුඩා වඳුරකු වගේ ක්ෂීරපායියකු වුණාට වානර කුලයට අයත් නෑ. මනාව වැඩුණු මහපටැඟිල්ල වගේම දික්ව වැඩුණු නිය සහිත දබරැඟිල්ල වානරයන් නොපෙන්වන ‘උණහපුළු ලක්ෂණයක්’. නාසික කුහරයේත්, හිස් කබලේත්, දන්ත සූත්‍රයේත් පිහිටීම වානරයන්ගෙන් වෙනස්. වැඩුණු උණහපුළුවකුගේ කෙසඟ සිරුර අඟල් අටකට වඩා ලොකු නෑ. කෙටි වුවත් පැහැදිලිව පිටට නෙරූ හොම්බ, හිසේ ප්‍රමාණයට නොගැළපෙන තරම් ලොකු ඇස් සහ විශාලව ඍජුව විහිදුණු කන් නිසා එකවරම හඳුනාගන්න පුළුවන්. අතුල්-පතුල්, නාස්තුඩ හා කන්වාටි හැරුණු විට මුළු ඇඟම රෝමවලින් පිරිලා. මිනිසාට වගේම උණහපුළුවාටත් වල්ගයක් පේන්න නෑ. බොහෝ ක්ෂීරපායීන්ගේ පිරිමි සතා ප්‍රමාණයෙන් ලොකු වුණාට මෙයාලාගේ ගැහැනු සතයි විශාල.

“උණහපුළුවන් අළු දුඹුරු වර්ණයෙන් යුක්තයි. ගැහැනු සතා ඊට වඩා තද පාටයි. පැටවුන් වගේම නාම්බන්ගේ වර්ණය වැඩුණු උන්ට වඩා රතු දුඹුරු පැහැයට හුරුයි. බඩ, පාදවල ඇතුළු පැත්ත වගේම උගුර, කම්මුල්, කන්වල ඉදිරිපස සුදු පාටයි, නාසය රෝස පාටයි.” පොදුවේ එසේ වුවද සිංහරාජයේදී දුටු උණහපුළුවන්ට වඩා විල්පත්තුවේ උන්ගේ වර්ණ රටාව වෙනස් බව වෛද්‍ය අතපත්තුගේ නිරීක්ෂණයයි.

“විල්පත්තුවේ උන් කළුවට හුරුයි. පළාතෙන් පළාතටත් උන්ගේ පැහැය වෙනස්. මෙයා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සතෙක් නෙවෙයි. දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කීපයකත් ඉන්නවා. අපේත් වියළි, තෙත්, මධ්‍යම කලාප අනුව උප-විශේෂ හතරක වර්ණ රටා වෙනස් වෙනවා. මේ සෑම හේතුවක්ම පදනම් කරගෙන මිනිසා, වඳුරා, රිළවා සහ වානරයා ඇතුළත් ‘ඇන්ත්‍රොපීඩියාවන්ට’ ඇතුළු නොකර ‘රොසිනියි’ උප-විශේෂයට උණහපුළුවන් ඇතුළත් කර තිබෙනවා.”

උන්ගේ අභිජනන සමය පිළිබඳ සෙවීමට තරම් උන් එළිමහනේ නොසිටියත් ගැබිනි කාලය මාස තුනට වඩා තරමක් වැඩි බව වෛද්‍ය අතපත්තුගේ හැඟීමයි.

“වරකදී පැටවකු හෝ දෙදෙනකු බිහි කරන බව බොහෝ දෙනා විශ්වාස කළත්, පැටවුන් දෙදෙනකු බඩේ බැඳගෙන යන උණහපුළු අම්මලා නම් කවදා වත් දැකලා නෑ. පැටවා මවගේ ශරීර ප්‍රමාණයෙන් අඩක් පමණ වැඩී, තනිවම කෑම සොයාගන්න හැකි වන තුරු ඇඟේ එල්ලී සිටියත් මව යළි ගැබ්බර වුණු ගමන් පැටියා ස්වාධීන වෙනවා. වසරකට දෙවරක් පමණ පැටවුන් බිහි කරන්න මේ අය සමත්. පැටියා නිතරම ඇඟේ එල්ලී ඉන්න නිසා ‘උණහපුළුවාට උගේ පැටියා රත්තරන්’ කියලයි ගැමියන් කියන්නේ.”

වෛද්‍යවරයා උණහපුළු මවකගේ නිරීක්ෂණය කළ විශේෂ ලක්ෂණයක්ද හෙළි කළේය.

“උණහපුළුවන්ගේ ස්තන පුඩු පිහිටන්නේ පිරිමින්ගේ වගේ. පියයුරක් නෑ. ඒත් වැඳිරියකගේ මෙන් පපුව පෙදෙසේ පිහිටන ස්තනවලින් වරකා කහ පාටට හුරු ශ්‍රාවයක් පැටවුන් කිරි බොන කාලෙදි පිට වෙනවා. මෙය වෙන කිසිදු ක්ෂීරපායියකුගේ දකින්ට නෑ.” මේ සර්ව භක්ෂකයාගේ 'මෙනු' පතට ඉඳහිට පලතුරු අයත් වුණත්, නිතර තණකොළපෙත්තන්, කටුස්සන්, ගලහූනන්, ගස්ගෙම්බන්, කුඩා පක්ෂීන් හා බිත්තර වගේම ඌට වඩා හත්-අට ගුණයකින් විශාල මොනරුන්ද අයත් බවයි වෛද්‍ය අතපත්තු පවසන්නේ.

“උණහපුළුවා කම්මැළිකමින් ඇවිදිනවා වගේ පෙනුණාට ගොදුරකට ළං වුණු ගමන් විදුලි වේගයෙන් පැනලා අත් දෙකෙන්ම ගොදුර බදාගන්නවා. ඇස්පිල්ලන් නැති නිසා කිසි විටෙක ඇස් නොපියන මුන්ට ඝන අන්ධකාරේත් කෝඳුරුවන් පවා පේන නිසා අල්ලාගන්න පුළුවන්. විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා කණීනිකාව දුඹුරු පැහැ ගැනීම උන්ගේ නිශාචර දිවියට රුකුලක් කියලා. ඒත් හිරු එළියට අපහසුයි. ගැමියන්ගේ කතාවක් තියෙනවා මොනරුන් අල්ලන්න උණහපුළුවා දරන වෑයම ගැන. ඉතා සියුම් ශබ්දයකටත් සංවේදී මොනරා නිදාගන්නේ උස් ගස් අත්තක පිල් හකුළාගෙන, හිස ඒ අස්සේ හංගාගෙන. එහෙම නිඳන මොනරෙක්ගේ ඉවක් ආ ගමන් උණහපුළුවා හිමින් හිමින් ගහ දිගේ බඩ ගානවා. හදිසියේ වත් උගේ ඇඟේ වැදිලා ගස් පොත්තක් ගැලවුණොත් ඒක අතින් අල්ලාගන්නා උණහපුළුවා ආපසු ගහෙන් බැහැලා පොත්ත බිම තියලා අයෙත් ගහේ නඟිනවා! ඔහොම කීපවරක් වුණත් කර, කොහොම හරි මොනරාට ළං වුණ ගමන්ම විදුලිය වගේ කඩාපනිනවා. මේ කලබලේට ඇහැරෙන මොනරාගේ බෙල්ලෙන් අල්ලා හපා කන උණහපුළුවා පිල් හැර ඔක්කොම කාදමනවා. කේන්ති ගියාමත් ගොදුරක් අල්ලාගෙන සතුටු වුණාමත් කෙටි ශබ්දයක් නඟන උණහපුළුවා, රූස්ස ගසක හීන් අත්තක් ගාත්‍රා හතරෙන්ම අල්ලාගෙන ගුළි වෙලා නිඳාගන්නවා.”

එදා පලතුරු වත්තේදී උණහපුළු අම්මා සහ පැටවා ගස් ලබු ගහ දිගේ ගොස් හොඳින් පැසුණු ගෙඩියක් රස බලන්නට වූ විට වතු හිමියාගේ මිමිනුම මතක් වූ වෛද්‍ය නන්දන අතපත්තු චකිතයෙන් යුතුව ඔහු දෙස බැලුවේ කුමන පියවරක් ගනීද කියාය.

“පලතුරු වත්තෙ හිමිකාර මහත්මයා කීවේ ‘ඕං ඔහේ කාපුදෙන් මහත්තයා, උනුත් ජීවත් වෙන්න එපැයි’ කියලා. ඒ වෙලාවේ මට හිතුණා තාමත් ඒ වගේ මහත්වරුන් අප අතර ඉන්නවා නේද කියලා...”

අරුණි
[email protected]

Comments