චන්ද්‍රිකා එනකං උඩ බලාගෙන | Page 2 | සිළුමිණ

චන්ද්‍රිකා එනකං උඩ බලාගෙන

 මේ දවස්වල අපේ නිමලෙගෙ වැඩේ ම අහස දිහා බලාන ඉන්න එක. ඉර අව්වට ඇස් දෙකත් පුච්චා ගනී ද මන්දා.

“උඹ උඩ බලං හිටියට ඉල්මහ පටන් ගන්නකං හත් කෝරළේට වහිනවා බොරු.”

මං කීවා.

“මං ඒක දන්නොව බණ්ඩයියෙ. මං බලන්නෙ වැහි බිත්තර තියනවද කියලා නෙමෙයි.”

“හෙණං වැහිලිහිණියා දිහා ද?”

“අව් සැරට වැහිලිහිණි‍ෙයක්වත් නෑ බණ්ඩයියෙ”

“හෙණං හෙලිකොප්‍ටරේකින් නියං ආදාර එයි කියලා ද?”

“මොන පිස්සු ද බණ්ඩයියෙ. ආස්යාන්තරා ඔලිං කවද්ද ආදාර බෙදුවෙ.”

“හෙණං අහවල් කෙංගෙඩිය ද? දෙවියොවත් බලයි කියලද?”

“නෑ.... නෑ... මම්මේ චන්ද්‍රිකාව දකින කං උඩ බලං ඉන්නේ.”

“පිස්සුද නිමලෙ. එතුමිය දැං ඉන්නෙ කොළඹ. සහජීවන කාරියංසෙ”

“බණ්ඩයියාට පිස්සු! මම කියන්නෙ එතුමිය ගැන නෙමෙයි”

“එහෙනං?”

“පසුගිය කාලෙ ඇරියයි කියන චන්ද්‍රිකාව ගැන”

“හප්පච්චියේ! ඒක රහසේ ම නේද ඇරියයි කියන්නෙ?”

“රහසේ ඇරියත් කොයි වෙලාවක හරි එනවා නෙවැ.”

“ඉතිං නිමලෙ ඕක දිහා බලං ඉන්නෙ අහවල් එකට ද?

“අද කුමන්තරණ කාරයො වැහි වැහැලා නෙවැ. ඕක ආපහු එනවා දැක්ක ගමං ගල්ගෙඩියක්වත් ගහලා බිම දැම්මොත් අපරාදෙනෙ”

ඔයිම්මෙයිං නිමලෙයි මමයි චන්ද්‍රිකා ගැන කතා කොරන්ඩ පටං ගත්තා. මීට කාලෙකට ඉස්සර රට ම කතා කෙරුවෙ චන්ද්‍රිකා ගැන. ඊට පස්සේ අවුරුදු දහයක් ඒ මාත්තුරුකාව අමතක වෙලා තිබුණා. හැබැයි මාත්තුරුකාව නැති වුණාට අපි කවුරුත් නොදැන චන්ද්‍රිකාවක් ඇරල තියනවා අහසට. චන්ද්‍රිකා ගැන හොඳට ම ඉගෙන ගෙන නාසා ආයතනේටත් උගන්නන්ඩ පුළුවන් මට්ටමේ කෙනෙක් තමයි ඒක ඇරලා තියෙන්නේ. ඉතිං කාට ද ආඩම්බර. අපේ රටේ ගොං වහන්සේලාට චන්ද්‍රිකා තාක්සනේ තේරෙන් නෑ.‍ ඇත්ත වසයෙම් ම අද හරක් පට්ටි නඩත්තු කරලා කිරි බෝතල් දෙකක් අමාරුවෙං මිරිකා ගන්නවට වැඩිය නරක ද ඉඩමක් කඩමක් විකුණලා හරි චන්ද්‍රිකා අරින්ඩ ඉගෙන ගන්න එක.

මට දැන්නං හිතෙන්නේ ජනවාරි 8 විප්ලවේද මොකද්ද එක උනේ නැත්නම්, ඇමෙරිකාවේ නාසා ආයතනේටත් එහා ආයතනයක් ලංකාවේ හදන්ඩ තිබ්බා කියලයි. එහෙම හැදුවා නම් ඇමෙරිකන් කාරයෝ අපට දන නමනවා සත්තයි. බොරු ද මං අහන්නේ!

Comments