ඇත්ත කතා කරනවා නම් දේශපාලනය ගැන කතා කරන්න බෑ. දේශපාලනය කතා කරන්නේ නැතිව ඇත්ත කතා කරන්නත් බෑ. ඉතිං හොඳම දේ කට පියාගෙන ඉන්න එකද?
මහින්ද මහත්තයා කොටි පැරද්දුව කියන එක ඇත්තක්.
ඒත් මහින්ද මහත්තයා පපුවට ගහගත්තේ රට ගැන ආදරෙන් කියන එක ඇත්තක් නෙමෙයි. ඉස්සර දැක්ක ගමන් ළමයි වඩා ගන්නවා. එහෙම පෙනුණට ඒ දැක්ක ගමන් වඩා ගන්නවා නෙමෙයි, ඒ පියුරු සබන් ගාලා කල් තියා සූදානම් කරලා තියෙන ළමයි. ඒවා ඇත්තටම වීදි නාට්‍ය.
බස් ගැමුණුව තමන්ට ඕනෑ විදිහට පාලනය කරගන්න තරම් ශක්තියක් තිබුණත් තමන්ගේ දරුවන් තමන්ට ඕනැ විදිහට පාලනය කරගන්න ශක්තියක් තිබුණද? කොළඹ නගරේ වහලා රේස් පදින එක නවත්තන්න පුළුවන්වුණා ද? රටට තිබුණ පාලනේ දරුවන්ට නොතිබු ණේඇයි?
එහෙම වුණේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?
අපේ නේ... ළමයිනේ... කාර්රේස් නේ... කියලා හිතුවද? ඒකද වුණේ?
ඒත් තමන්ගේ ළමයින්ට විතරක් නෙමෙයි ආසාවන් කියන දේ හැම ළමයින්ටම තියෙනවා කියලා හිතන්න බැරි වුණේ ඇයි?
වෙන ළමයි කෙසේ වුණත් තමන්ගේ ළමයි අගනුවර වහලා රේස් පදින එක හොඳ නෑ කියලා නොහිතුණේ ඇයි? වරද කාගෙද?
සමගිය වෙනුවට අසමගිය ඇති කරන්න හදන මිනිස්සු ම වීරයෝ වෙන්නේ ඇයි?
සමගියට වඩා අපි හැමවිමට අසමගිය වෙනුවෙන් පෙනී හිටින්නේ ඇයි?
මායාවට මායාවෙන් ප්‍රතිචාර දැක්වීමත් රඟපෑමට රඟපෑමෙන් ප්‍රතිචාර දැක්වීමත් බොරුවට බොරුවෙන් ප‍්‍රතිචාර දැක්වීමත් දේශපාලනයද?
සුද්දන්ට අපට වඩා මොළේ තියෙනවා කියලා අපට හිතෙන්නේ ඇයි?
ජපන්නු අපට වඩා හපන්නු කියලත් අපට හිතෙන්නේ ඇයි?
සියලු ලෙඩට එකම බෙහෙත විදේශ ආයෝජන කියලම හිතෙන්නේ අපේ බුද්ධිමත්කම නිසාද?
විදේශ ආයෝජන ලැබෙනවා නම් රට මැද්දේ හරි වරාය හදන්න අපට හිතෙන්නේ ඇයි?
අපිට කිසිම දෙයක් හරියට හිතාගන්න බැරි ඇයි? කිසිම දෙයක් හරියට හිතාගන්න බැරි අය හරි දේශපාලනයක් කරන්නේ කොහොමද?
ප්‍රශ්නම මිසක් උත්තර නැතිඑක හොඳ දෙයක් ද?
සිහිනයෙන් ප්‍රශ්න එන්නේ පිළිවෙළකට නොවේ. කෙසේ වුවත් අදහස් පිළිවෙළකට නොආවත් අවදියෙන් සිටින විට වඩා සිහිනයේ දී අපේ සිත පැහැදිලිය; නිර්මලය. සැබවින්ම සිහිනයෙන් සිතන දේ අපට අවදියෙන්ද සිතිය හැකිනම් අපේ රට මෙයට වඩා යහපත් තැනක් වනු ඇත.
සත්‍යය අන් කොහේදී කෙසේ වෙතත් නින්දේදී සුවගෙනෙයි. අසත්‍යය අන් කොතනදී සුව එළවූවත් නින්ද අපෙන් ඈත් කරවයි. යම් අයකු නිදි සුව නොලබන්නේ නම් ඔහු සෑහෙන්න බොරු කියන අයෙකු වීමට ඉඩ ඇත.
මේ සියල්ල සිතී මට අවසානයේ සිතුණේ සිහින සාගරය ඉන්දීය සාගරයට ද වඩා සුන්දර බවය.
එහෙත් එසේ සිතුණේ සිහිනෙන් ද අවදියෙන් ද යන්න මම නොදනිමි.