
මංගල යෝජනාව
මට මුල් පත්වීම ලැබුණේ හේවාහැට මණ්ඩලයේ දුෂ්කර පාසලකටයි. 1962 දී රජයට පවරා ගනු ලැබූ මෙතෝදිස්ත පාසල, රජයේ මහා විද්‍යාලයයක් බවට පත් වූයේ 1963 දී ය. පාසලේ ඉංග්‍රිසි ගුරුවරිය වූ දිසානායක මහත්මිය මා හා බොහෝ කුලුපගව සිටියාය. ඇය මට හිතවත්කම් පාන බව දුටු තරුණ ගුරුවරු මට උසුළු - විසුළු කළහ.
“මිසිස් දිසානායකගෙ මල්ලියෙක් ඉන්නවා පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියෙ. ඒ හින්ද ද දන්නෙ නෑ එයා උඹට ඔච්චර ආදරේ” යනුවෙන් ඔව්හු මට කවටකම් කළහ.
දිනක් දහවල් විවේක කාලයේදී මට ප්‍රධාන කාර්යාලයට එන ලෙස විදුහල්පති තුමා පණිවිඩයක් එවා තිබුණි. මා එහි යන විට, මේසය ඉදිරිපිට පුටුවේ වාඩිවී සිටි දිසානායක මහත්මිය සමඟ විදුහල්පති තුමා කතා - බහ කරමින් සිටියේය.
“මිස් ගුණරත්නට මංගල යෝජනාවක් ඇවිත් තියෙනවා” යැයි සිනාසෙමින් පැවසූ විදුහල්පතිතුමා, මට වාඩිවන ලෙස අනෙක් පුටුව පෙන්වීය.
ගුරු සගයන්ගේ විහිළු ඇත්තක් වන්නට යන්නේදෝයි මට බියක් දැනුණේ ඒ වනවිට මට පෙම්වතකු සිටි නිසාය. විදුහල්පතිවරයා මා අතට කොළ කෑල්ලක් දුන්නේය. මම එහි ලියා තිබූ දේ අමාරුවෙන් කියවා ගතිමි.
“මම ගුණරත්න ටීචව කස බදනවා. ගෙදර එක්ක ගිහින් සිනි කුරු කවනව”
මට සිනා පහළ විය. “කවුද මේක ලිව්වේ?” විදුහල්පතිතුමා ද සිනාසෙමින් සිටියත්, දිසානායක ගුරුතුමිය වෙත වූයේ කෝපයකි.
“මේ තුනේ පන්තියෙ එකෙක්. මූට දෙන්ඩ ඕන දඬුවම මට හිතා ගන්නවත් බෑ. ඒකයි මං මේක ලොකු සර් ළඟට ගෙනාවෙ.”
ඇය පුපුරා හැලෙමින් විස්තර කළාය. ඇගේ ඉංග්‍රීසි පාඩම අතරතුරදී මුතුබණ්ඩා යමක් ලියමින් සිටිනු ඇය දැක ඇත.
“මුතු බණ්ඩා, මොකද කරන්නෙ ඔතන?”
“මැඩම්, එයා හොර ලියුම් ලියනවා” පිළිතුර ළඟ සිටි සිසුවාගෙනි.
දිසානායක මහත්මිය වහා එතැනට ගොස්, කොළ කැබැල්ල පොඩි එකාගෙන් උදුරාගෙන, කියවා බලා, “මුන්ගෙ තරමට නෙවෙයි වැඩ!” යැයි තරහින් පවසා, පාඩම දිගට ම කරගෙන ගොස්, පසුව ‘හොර ලියුම’ විදුහල්පති තුමාට බාර දී ඇත.
“මිස් ගුණරත්නම කියන්ඩකො, අපි දැන් මේ ලියුමට මොකද කරන්නෙ කියල.”
“මහ එවුන්ට කියන්ඩ තියෙන්නෙ අවුරුදු අටේ කොල්ලව හදා ගන්ඩ කියල” දිසානායක මහත්මිය ඉවසුම් නැති කෝපයෙන් කීවාය.
“අනේ සර්, මොකුත් නොදන්න ගානට අපි නිශ්ශබ්දව ඉඳිමු. පහුගිය සතියෙ ගණිත පාඩම් වලට මං පන්තිවලට ගියාම, මුතු බණ්ඩගෙ අයියල - අක්කල නැත්තෙ මොකද කියල අහල බැලුවම, ඒ පවුලෙ ලොකු ම අයියණ්ඩිගෙ මඟුල් ගෙදර කියල ළමයි කිව්ව. අයියා අලුත් අක්කට සලකන හැටි දැකලා, පොඩි එකත් හීන දකින්ඩ ඇති. මිසිස් දිසානායක ඕකට තරහ අරන් අවුලක් හදාගන්න ඕන නෑ.”
විදුහල්පති තුමා මගේ අදහස අනුමත කළේය.
“පොඩි වුණාට උගේ තේරීම ගැන වරදක් කියන්ඩත් බෑ. අපි ඕක අතෑරල දාමු මැඩම්”
මම දිසානායක මහත්මියගේ අතින් අල්ලා ගෙන, ඇයට ස්තුති කරමින් විදුහල්පති කාර්යාලයෙන් පිටවී ගියෙමි. මගේ ආදර සම්බන්ධකම දන්නා තරුණ උපාධිධාරී ගුරුවරයෙක් නුවරඑළියට ලිපියක් යවා තිබුණි.
“දසා ඉක්මනින් මාරුවක් හදාගෙන නුවරට වරෙන්. උඹේ කෙල්ලට තුනේ පන්තියෙ කොල්ලොත් ලියුම් ලියනවා.”
(සත්‍ය සිද්ධියක් ඇසුරෙනි)
විශ්‍රාමික ආචාරිනී බර්නි දසනායක
අම්පිටිය - මහනුවර
අන්නාසි වගාව
දශක දෙකකට පමණ ඉහත ග්‍රාමීය මහ විදුහලක සිදු වූ කතා පුවතකි. විදුහලේ කෘෂිකර්මය විෂය ඉගැන්වූයේ සෝමරත්න නම් ගුරු මහතෙකි. විදුහලේ පරිසර අලංකරණය හා වගා කටයුතු සම්බන්ධව මහත් උනන්දුවකින් ගුරු - සිසු සහයෝගය ඇතිව කටයුතු කිරීමේ හැකියාව ඇති එතුමා ඒ ගැන කැපවී ක්‍රියා කළේය.
විදුහල්පති තුමා ද මෙතුමා පිළිබඳ මහා ප්‍රසාදයකින් නිතර කතාබහ කළේය.
දිනක් සෝමරත්න මහතාට විදුහල් වත්තේ පිටුපස මායිමේ අන්නාසි වගාවක් දැමීමේ අදහසක් පහළ විය. මේ බව විදුහල්පතිතුමා ද දැනුවත් කර ඒ සඳහා කටයුතු සම්පාදනය කළේය.
විදුහලේ එකොළොස්වැනි ශ්‍රේණියේ සිසුනට කෘෂි විද්‍යා විෂය යටතේ අන්නාසි වගා කිරීම සම්බන්ධව දින කීපයකට ඉහතදී තේරුම් කර දුන් හෙයින් ඔවුන් මේ සඳහා යොදා ගැනීමට ගුරු මහතා තීරණය කළේය.
වගාව සඳහා ගන්නා පැළ, බිම සකස් කිරීම ආදිය පිළිබඳ තවදුරටත් ඔවුන් දැනුම්වත් කිරීම අනවශ්‍ය බව ද සෝමරත්න මහතාට සිතිණි.
වගාව සිදුකරන දිනය පමණක් දැන්වීමට ගුරු මහතා වග බලා ගත්තේය.
දිනය උදා විය. සිසුහු තම තමා ගෙන ආ පැළ ද රැගෙන වගා භූමියට ගියහ.
“යකෝ... මේ මොනවද උඹල ගෙනැල්ල තියෙන්නෙ. මේ අන්නාසි මහ ගස් නෙ. අන්නාසිවල හිටුවන්නේ අර ගෙඩිය උඩ තියෙන මොරයියනෙ. ඇරන් පලයල්ලා”
සෝමරත්න මහතා තද කේන්තියෙන් බැණ වැදුණේය. සිසුහු ගෙන ආ පැළත් රැගෙන එකිනෙකාගේ මුහුණු බලමින් පන්ති කාමරයට ගියහ.
යමක් දැනීමෙන් පමණක් නොව ක්‍රියාවෙන් අවබෝධ කර ගත යුතු බව පන්ති කාමරයට ගිය සෝමරත්න මහතා සිසුනට පහදා දුන්නේය.
සිරිසේන හෙට්ටිගේ
උඩනිරිඇල්ල