ඔබේ පැනයට අපෙන් පිළිතුරු | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

අමා

ප්‍රශ්නය :- දියගොඩ මධුකා

මම පෞද්ගලික ඇගළුම් කම්හලක සේවය කරනවා. මා විවාහක වන අතර දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. මගේ සැමියා කිසිම රැකියාවක් ගැන උනන්දුවක් නැහැ. ස්ථිර වශයෙන් කිසිම රැකියාවක් එක දිගට කරන්නෙ නැහැ. මම තමා ඔහුගේ වියදම් සියල්ලමත් දරන්නේ. ඔහු මා ගැන කිසිම සැලකිල්ලක් නැහැ. නිතර නිතරම මගේ හිත රිදෙන දේවල් කරනවා මිස මට ආදරය කරන්නේ නැහැ. ඔය අතර මට වැඩ පොළේදි නිතර මුණ ගැහෙන කෙනෙක් මට ආදරෙයි කිව්වා. මම ඔහු සමඟ වසර තුනක් ම විටින් විට එකතු වුණා. පසුගිය කාලයේ ඔහු මගෙන් අමුතු ඉල්ලීමක් කළා. ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ වරින් වර අඹු සැමියන් ලෙස එක්වන ලෙස මට බල කළා. ඒ අතර ඔහු එම අවස්ථා ඡායාරූප ගත කළා. වීඩියෝ ගත කළා.

ඔහු නිතර දරුවන් සමඟ මා භාර ගන්නා බව කිව්වා. ඒ අතර මම නිවසේ සිට රැකියාවට ආවා. ඔහු ගැන මම උපරිම විශ්වාසය තබාගන හිටියා. ඒත් නිතර නිතර වෙන ඔහුගේ යහළුවන් සමඟ ඔහු ඉදිරිපිට ලිංගික සම්බන්ධකම් පවත්වන්නට කියුවට මම ඒකට කැමැති නැහැ.

දැන් ඔහු කියනවා මම එසේ නොකළහොත් ඔහු සතුව තියෙන මගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවාලු. මම ඒකට භයට මේ සියල්ලටම එකඟ වුණා. දැන් මට නින්ද යන්නෙ නැහැ. මගේ සැමියාත් මාව සැක කරනවා. මට හරිම බයයි. ඔහු මේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරියි කියලා. මම දැන් කරන්න ඕනේ මොකක්ද? මට ජීවිතේ එපා වෙලා.

පිළිතුර : මධුකා,

ඔබ ඔබේ සැමියගේ වැරදි ගොඩක් ඔබේ දීර්ඝ ලිපියේ සඳහන් කර තිබෙනවා. මට නං පෙනෙන්නේ ඒ වැඩි හරියක් ඔබ, ඔබවම සාධාරණීකරණය කරන්නට නිර්මාණය කරගත් ඒවා බවයි. ඔය කියන තරම් වැරදි ගොඩක් ඔබේ සැමියාගේ නැති වෙන්නට පුළුවන්. අනිත් අතට, සැමියා ආදරේ නැහැ හෝ වෙනත් දෙයක් නිසා ඔහු වැරදි කරනවා නම් ඔබත් වැරදි කරන එක සුදුසු නැහැ නේද? ඔබ තමයි ඔබේ ගෞරවය රැක ගත යුතු වන්නේ. තව කෙනෙකුට ඔබේ ගෞරවය රකින්න බැහැ. ඒ වගේ ම ඔබේ ගෞරවය රකින්න තව කෙනෙකුගේ ගෞරවයට හානි කරන්න එපා. තමන් සමඟ එකට කාලයක් ජීවත් වුණ ගැහැනිය හෝ පිරිමියා කිසියම් හේතුවක් නිසා අත ඇර දැමූ පසුවත් ඇගේ හෝ ඔහුගේ වැරදි කියන්නේ තවදුරටත් ඇය හෝ ඔහු කෙරෙහි ඇති බැඳීමෙන් බි‍ඳෙන්නට බැරි නිසයි.

ඔ‍ෙබ් අලුත් පෙම්වතාගේ ක්‍රියා කලාපය ගැන බලමු. කිසිම පිරිමියෙකුට ගැහැනියක් අයුතු විදිහට පාවිච්චි කරන්න බැහැ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා තියෙන පොලිස් පරිගණක අපරාධ අංශයට යන්න. එහිදී ඔබේ පැමිණිල්ල දමන්න. ඔබ නිහඬව හිටියොත් ඔහු වෙන කෙනෙකුටත් මේ අපරාධය කරාවි. ගැහැනියක් තමන් ආදරය කරන පිරිමියා ඉදිරිපිට සළු පිළි උනා දමන්නේ ඔහු ඇගේ ගෞරවය රකිනු ඇතැයි විශ්වාස කරගෙනයි. එහෙත් මෙවන් ජඩ, නරුම වැඩ කරන මිනිසුන් ලෝකයේ ඉන්නවා.

දැන් වහාම ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. කවදා හෝ දිනක ඔහුට ස්වභාව ධර්මයේ නීතියට පිටු පාන්නට වනවා සහතිකය. ඔබත් දරුවන් දෙදෙනෙකුගේ මවක් නිසා දරුවන්ගේ ගෞරවය රකින්නට කටයුතු කරන්න. “මවක්” කියන්නේ හැම විටම නිවැරැදි තීරණ ගත යුතු කෙනෙක්. දැන් ඔබේ සැමියා සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට උත්සහ කරන්න. ඔහුට ඔබ ‍පත්ව ඇති අසරණ තත්වය ගැන කියන්න.

ඔබේ පෙම්වතා කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් බව පෙනෙනවා. වහාම ඔය නොගැළපෙන සම්බන්ධයෙන් ඉවත් වෙන්න ඔහු ඔබට දුරකථනයෙන් තර්ජනය කරන්නේ ඔබේ අසරණකම දන්න නිසා. ඔබට කිසියම් සෙවණක් තියෙන බව දැන ගත්තාම ඔහුගේ චණ්ඩිකම් අහෝසි වී යාවි. ඒ නිසා ඒ ගැන තකන්න එපා. නීතිය හා පොලිසිය ගැන විශ්වාසය තබන්න.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10 

Comments