
• ‘අමුතු බට නළාවේ’ නාදය මතු වුණේ කොහොම ද?
මගේ අක්කත් අම්මත් ජීවිතයෙන් සමුගැනීම මට විශාල කම්පනයක් වුණා. අම්මා නික්ම යෑමත් සමඟ සිත සදා ගැනීමට වෑයම් කරමින් සිටියදී කවි ටිකකුත් එකතු වුණා. මෙසේ සිටියදී රන්පත් ආයතනයේ අධිපති මා මිත්‍ර නිරූන් බුද්ධසිරි කවි පොතක් කරන්න මට ඇවිටිලි කරමින් සිටියා. ‘අමුතු බට නළාව’ එළිදැක්වුණේ මේවායේ ප්‍රතිඵලයක් හැටියට. මේ කෘතියේ පෙරවදන පිටු 63ක්. කාව්‍ය නිර්මාණ 50ක් මීට ඇතුළත්.
• ‘අමුතු බට නළාව’ කවර 5කින් ඉදිරිපත් වුණා. මේ රටේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයට එක් කළ මේ අලුත් අත්දැකීම මඟින් අපේක්ෂා කළේ කුමක් ද?
තමන්ගේ රුචිකත්වය අනුව පාඨකයාට කැමැති පිටකවරයක් තෝරා ගැනීමේ අවස්ථාව එමඟින් ලබාදීමට අපට පුළුවන් වුණා. කවර නිර්මාණ ශිල්පය කලාවක්, කෘතියක අන්තර්ගතයත් සමඟ ඒක සම්බන්ධයි. මෙතැනදී ඒ කලාව වඩා නිර්මාණශීලී ලෙස අපි භාවිත කළා. මේක තාක්ෂණයේ වර්ධනයත් සමඟ පොදුවේ ග්‍රන්ථ කර්මාන්තයේ ඉදිරියට පිය නැඟීමක් මිසක් නිසරු වෙළෙඳ තරගයක් නොවෙයි. මේ කවර 5 නිර්මාණය කළේ, චමින්ද කුමාර, චරිත් බණ්ඩාර, සුදත් අබේසේකර, හර්ෂණ ජයතිලක, සිසිර අමරබන්දු සහ මම. මේ නිර්මාණශීලී වෙනස සිදුවෙන්නේ කෘතිය මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන රන්පත් ප්‍රකාශන ආයතනයට ඇති හැකියාවත් සමඟ.
• මේ කෘතියේ පෙරවදන මඟින් අද අපේ රටට ජාතික ව්‍යාපාරයක ඇති අවශ්‍යතාව මතු කිරීමට ඔබ වෑයම් කරනවා. මෙය පැහැදිලි කළ හැකි ද?
මේ යන විදිහටම අපට තවත් කොපමණ දුරක් ඉදිරියට යා හැකි ද කියන ප්‍රශ්නය අප ඉදිරිපිට තිබෙනවා. නව ලිබරල් ආර්ථිකය ඉතා තීරණාත්මක විදිහට අපේ සංස්කෘතියට, හර පද්ධතියට පහර දී අවසන්. ඒ පහර දීමට මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය පාවිච්චි කළා. මේක කලාපීය වගේම ගෝලීය ව්‍යාපෘතියක්. වර්තමාන දේශපාලන පක්ෂ ඒකෙ ඒජන්තයා ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මුදල විසින් සියල්ල තීරණය කරන තැනට අද සමාජය ගමන් කරල තියෙන්නෙ. ආදරයට, සෙනෙහසට මේ සමාජයේ තැනක් නැතිවෙලා. එදා අපි ජීවත්වුණු, අත්විඳපු යහපත් සමාජය අද අපේ දරුවො දකින්නෙ නෑ. අපේ ජීවිත පවා ගතකරන්න වෙලා තියෙන්නෙ අපට ඕනෑ විදිහට නෙවෙයි.
එදා සුද්දො කළ විනාශය දරාගන්න බැරිව, ඊට එරෙහිව සැබෑ ජාතික ව්‍යාපාරයක් මේ රටේ මතු වුණා. පුද්ගල දේශපාලනයෙන් තොර, සැබෑ දේශප්‍රේමී, සැබෑ සංස්කෘතික නියෝජනයක් සහිත, අපේ පොළොවේ සම්පත් ගැන හැඟීමක් අවබෝධයක් ඇති සැබෑ ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව අදත් තිබෙනවා. මේ ක්‍රමය වෙනස් කරගන්න ලැබෙන්නෙ එවැනි ව්‍යාපාරයකින් පමණයි. ඊට යම් හෝ රුකුලක් දීමට මේ කෘතිය මඟින් මං වෑයම් කළා.
මේ කෘතිය එළිදැක්වීමේදී ප්‍රධාන දේශනය සිදු කළේ මහාචාර්ය රාජ් සෝමදේව. එතුමා “ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව දැක්මක්” මැයෙන් ඉදිරිපත් කළ කාරණා, අදහස් ඉතාමත් වැදගත්. මේ සංවාදය අර්ථාන්විතව, ගැඹුරින් පෝෂණය කිරීමට එය හේතු වේවි.
• මේ වෙනකොට තරුණ කවීන් තමන්ගේ නිර්මාණ ප්‍රකාශයට පත් කරන ප්‍රධාන මාධ්‍යයක් බවට නව මාධ්‍ය පත් වෙලා. මේ ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද?
මාධ්‍ය භාවිතය තරමටම හැදෑරීම තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. සේකර දැකපු සමාජයක් තියෙනවා. බෝඩිම, ප්‍රබුද්ධ වගේ නිර්මාණ ගත්තොත් ඔහු 77ක් එන බව නොදැන සිටියත් එහෙම එකක් එන බව පෙන්නුම් කරල ලියල තියෙනවා. හැබැයි අපි 77ක් ඇවිත් අවුරුදු 40ක් විතර ජීවත්වෙලා සේකර ලියපු දේවත් ලියන්නෙ නෑ.
මං බ්ලොග් එකක් කරනවා, ෆේස්බුක් එකේ ලියනවා කියනවා මිසක් අන්තර්ගතය පිළිබඳ සැලැකීමක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. එහෙම හැදෑරීමක් තියෙනවා නම් ඒක දැනෙනවා. ලංකාවේ තියෙන අර්බුදය තමයි මේ. අපි මෙහෙම බලමු, ගුවන්විදුලිය තියෙද්දි ඉතාම අඩු ප්‍රාථමික පහසුකම් යටතේ ඉතාමත් දැවැන්ත ගීත සාහිත්‍යයක් මතු වුණා. ඉතාම විශිෂ්ට ගණයේ ගායකයො, පද රචකයො, සංගීතඥයො බිහි වුණා. අමරදේවද, නන්දාද, වික්ටර්ද, නීලාද, සෝමතිලක ජයමහද, මාලිනී බුලත්සිංහලද, ටී. එම්. ද, රෝහණ බැද්දගේද, බන්දුල විජේවීරද, සුනිල් එදිරිසිංහද, සනත් නන්දසිරිද, මිල්ටන් මල්ලවාරච්චිද, කපුගේද, ජෝතිද ආදි වශයෙන් මේ හැම කෙනාටම වෙනම හඬක්, පෞරුෂයක් තිබුණා.
දැන් චැනල් 80ක් විතර ආවට පස්සෙ හරි විදියට නම් මේ වෙද්දි මාලිනී බුලත්සිංහල, 20ක්, නීලා වික්‍රමසිංහලා 20ක්, ටී. එම්. ලා 20ක් එන්න ඕනෙ නේ. කෝ? එනවා, කොපි විතරයි එන්නේ. තාක්ෂණය තිබුණ පළියටම වැඩකාරයො එන්නෙ නෑ. ප්‍රශ්නය තාක්ෂණය නෙවෙයි.
• සිංහල භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන අතරම සිංහල භාෂාවට, සංස්කෘතියට, බෞද්ධාගමට පහර ගැසීම විලාසිතාවක් වෙලා. ඔබ මෙය දකින්නේ කෙසේ ද?
සිංහල භාෂාවෙන් වැඩ කරන කෙනෙක් ඒ උරුමයට සහ ජාතික සංස්කෘතියට ගරහනවානම් එයාගෙ හැදෑරීම්වල සහ අනන්යතාෙව් ප්‍රශ්නයක් තියෙනවා. මෙතැන තියෙන මූලික ප්‍රශ්නය සිංහල මනුෂ්‍යයෙක් සිංහල ජාතියට සිංහල සංස්කෘතියට සහ සිංහල උරුමයට ආදරය කරන්නෙ නැතිව අනෙක් ජාතියකට ආදරය කරන්නෙ කොහොම ද? කවුරුහරි එහෙම පුළුවන් කියනවානම් මං ඒක පිළිගන්නෙ නෑ. මානව ප්‍රේමය කියන දේ ඇතිවෙන්නෙ මුලින්ම තමන්ගේ සංස්කෘතියෙන්. ඉතාමත් ගැඹුරු ආධ්‍යාත්මික විග්‍රහවල යෙදුණු බුදුරජාණන් වහන්සේ පවා වදාළ මූලික කාරණයක් තමයි මමත්වය. ඒක තමයි ලෝකයේ තියෙන ගැටලුව.
මේ කියන මමත්වය බැහැර කරලා කවුරුහරි වෙනත් දෙයක් ගැන සිතනවා කිව්වොත් ඒක බොරු ව්‍යාපෘතියක්. එයා මානවවාදියෙක්නම් තමන්ගේ දරුවන්ට තමන්ගේ උරුමයට ආදරය කළ යුතුයි. කාටහරි පුළුවන් ද තමන්ගේ දරුවන්ට ගහලා අනුන්ගේ දරුවන්ට ආදරය කරන්න. කවුරුහරි එහෙම පුළුවන් කියනවානම් ඒක බොරුවක්. තමන්ගේ දරුවාට ආදරය කරන තරමට තමයි අනුන්ගේ දරුවන්ට ආදරය කරන්න පුළුවන් වෙන්නෙ, මම කියන්නෙ මේ තමන්ගෙ එක විතරයි හොඳ කියල නෙවෙයි. දෙමළ මනුස්සයාට තමන්ගේ භාෂාවේ සංස්කෘතික මූලයන් කොපමණ හොඳට දැනෙනවාද සිංහල මනුස්සයාටත් සිංහල භාෂාවේ සංස්කෘතික මූලයන් හොඳට දැනෙනවා.
ඒක ඉංගිරිසි මනුස්සයාටත් ප්‍රංස මනුස්සයාටත්, රුසියානු මනුස්සයාටත් ඒ විදිහටම අදාළයි. ඉවාන් ටර්ගිනිව් රුසියානු විප්ලව සමයේ ඇතිවූ අර්බුදයකදී ප්‍රංසයට යනවා. එහෙ ගිහින් ඔහු මොකද කියන්නෙ, මං මගේ දෛනික වැඩ කටයුතු ප්‍රංස භාෂාවෙන් කරගන්න බව ඇත්ත. හැබැයි මං හිනාවුණේ, හැඬුවේ රුසියානු භාෂාවෙන් කියලා. තමන්ගේ හැඟීම් භාවයන් ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන්නෙම තමන්ගෙ සංස්කෘතික භාෂාවෙන්. අනෙක් භාෂා සන්නිවේදන උපකරණ. ඉංගිරිසි භාෂාවෙන් අපට ලියන්න කියන්න පුළුවන් තමයි. නමුත් අපේ සමීපතමයකුගේ සමුගැනීමක් වගේ දෙයක් සිංහල භාෂාවෙන් ඇහුණොත් තමයි අපට දුක හිතෙන්නෙ. නැත්නම් ඒක දැනෙන්නෙ නෑ. දැනුණත් යම් පමණකට අපි කරන්නෙ ඒ දැනුණු ප්‍රමාණයට අනුව ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නිහඬ වීම. හැබැයි ඒ ආරංචියම අපේ සංස්කෘතික භාෂාවෙන් අපට ඇහුණොත් ඇස්වලට කඳුළු එනවා, ඉස්සෙල්ලම තමන් හොයාගන්න ඕන තමන් කවුද කියලා. එසේ නොවීමත් ලංකාවේ තියෙන මූලික ප්‍රශ්නයක්.