රාජ්‍ය නොවන සංවිධාන ඉටු කරන්නේ විමුක්ති දේශපාලන කාර්යභාරයක්ද? | Page 4 | සිළුමිණ

රාජ්‍ය නොවන සංවිධාන ඉටු කරන්නේ විමුක්ති දේශපාලන කාර්යභාරයක්ද?

 2015දී මහින්ද රාජපක්ෂ පරාජය කර පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එකට එකතු වූයේ ලාංකික ධනපති පන්තිය පමණක් නොවේ. සුළු ධනේශ්වර බලවේගයන්ද සමාජයේ විමුක්තිවාදී කුඩා කුඩා කණ්ඩායම් හා තනි තනි පිරිස්ද ඊට සහාය දැක්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ප්‍රතිසංකරණ දිනාගැනීමේ සමාජ අභිලාශයෙනි. නව ලිබරල් ව්‍යාපෘතිය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආර්ථික පදනම වූ බැවින් එම කරුණ දේශපාලනික වශයෙන් මහාපොදුසාධකය විය. එහෙත් රාජපක්ෂ රෙජීමයට එරෙහිව පොදු අපේක්ෂකයා තෝරාගත්තේ දේශපාලනික මහාපොදුසාධකය අමතක කරමින් සාපේක්ෂව වඩා නිවැරැදි දේශපාලන අභිලාශයන් පෙරදැරි කරගෙනය.

වෙබ් අඩවියක පළ වූ, එම දේශපාලන වෙනස පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයකුගේ නිරීක්ෂණයක් මෙබඳුය:

"2015දී පොදු අපේක්ෂකයා බලයට පත් කරගැනීම සඳහා මහන්සි වූ විමුක්තිවාදීන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී කොටස්වලට එල්ල වූ අවලාදයක් වූයේ ඔවුන් ධනපති ක්‍රමය තට්ටු මාරුවට රැකගැනීම සඳහා මහන්සි වන බවය. එහෙත් ඔවුන් මහන්සි වූයේත් සටන් කළේත් යම් නිශ්චිත දේශපාලන මොහොතකදී කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා ය."

"මේ තලයේදී අපට ‘මහින්ද – මෛත්‍රී’ ප්‍රතිපක්ෂයටම විකල්ප වූ විසඳුමක් යෝජනා කළ හැකි නොවේ. ‘උනුත් එකයි – මුනුත් එකයි’ කියන සටන් පාඨය ප්‍රයෝජනවත් එකක් වන්නේ උනුත් නොවන, මුනුත් නොවන ‘තෙවැනි එකෙක්’ අපට පෙන්වා දිය හැකිනම් පමණි."

පරිධියේ රාජ්‍ය පාලයක් වන ශ්‍රී ලංකාව නව ලිබරල් ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා බවට සැකයක් නැත. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් බලගතු රටවල්වල මැදිහත් ඉවීමෙන් හසුරවන්නේද එබැවිනි. ඒ අනුව පරිධියේ පිහිටි රටක් නව ලිබරල් ව්‍යාපෘතියෙන් හුදෙකලා වී කිසිදා පවතින්නේ නැත. ඒ අර්ථයෙන් රාජ්‍ය වටා සිටින බුද්ධිමතුන් නව ලිබරල්වාදී බුද්ධිමතුන් ලෙස හඳුනාගැනීමත් අසාධාරණ නොවේ.

පසුගිය කාලය පුරා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ව්‍යාපෘතියක් ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර මේ රාජ්‍ය නොවන සංවිධානයන්ද නව ලිබරල් ව්‍යාපෘතියේ ජාලමය අවශ්‍යතාවකි. ගෝලීය ප්‍රාග්ධනය ලොව පුරා විසිරී යන විට යම් යම් කාරණාවලදී පහසුකම් සපයන්නාගේ කාර්යය ඉටු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. එසේම ඊට කම්පන ධාරක (Shock absorber ) ලෙස හඳුන්වන්නේ ද එනිසා විය හැකිය.

නව ලිබරල්වාදී ව්‍යාපෘතිය ගෝලීය ප්‍රාග්ධනය මෙන්ම ජාතික ප්‍රාග්ධනය මගින්ද සකස් වී ඇත. ජාතික ප්‍රාග්ධනය නව ලිබරල් ව්‍යාපෘතිය වී ගෝලීය ප්‍රාග්ධනය විමුක්ති ව්‍යාපාරයක් ලෙස සකස් වන්නේ නැත. සමස්ත ගෝලීය ධනවාදයම සකස් වී ඇත්තේ නව ලිබරල් ව්‍යාපෘතියට එකඟවය. ඒ අනුව ජාතිකවාදීද අන්තර්ජාතිකවාදී ද යන්න නොසලකා නව ලිබරල් ව්‍යාපෘතිය මගින් සෑම තලයකම ධනවාදයට පක්ෂපාතිත්වයක් දරයි.

එහෙත් රාජ්‍ය නොවන සංවිධානයන් හා සම්මුතික ගතව සිටින බොහෝ විචාරකයන්ට අනුව ඔවුහු විමුක්ති දේශපාලනයේ කසකරුවෝය. ලෝකය තුළ ගෝලීය ප්‍රාග්ධනය හරහා භාණ්ඩ හා සේවා නිදහසේ සංසරණය වීමට ඉඩකඩ සපයා දෙන රාජ්‍ය නොවන සංවිධානයන් නව ලිබරල්වාදයේ ආරක්ෂකයන් වේ. නව ලිබරල්වාදී ව්‍යාපෘතියේ එහෙව් කසකරුවන් හා සම්මුතිගතව සිටින පිරිස් විමුක්තිවාදීන් වන්නේ කෙසේදැයි විචාර බුද්ධියෙන් සිතා බැලිය යුතුය.

මේ යුගය තුළ ධනපති විරෝධී දේශපාලනයක නිරත වන බොහෝ පිරිස් රාජ්‍ය නොවන සංවිධාන හා සම්මුතිගතව සිටී. ඒ බොහෝ විට රැකියාවක් සදහා ය. එසේ නොවේ නම් වෙනත් වැදගත් හේතුවකටය. කෙසේ සම්බන්ධව සිටියත් ඔවුන් ඓන්ද්‍රීය ලෙස දේශපාලනය කරන්නේ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය සමඟය. එය අමතක කර රැකියාව සඳහා පමණක් එය හා සබඳතා පැවැත්වීම විමුක්ති දේශපාලනයට පටහැණි භාවිතාවකි.

රාජ්‍ය හා රාජ්‍ය වටා සිටින බුද්ධිමතුන් පමණක් නව ලිබරල් ව්‍යාපෘතියේ කර දරන්නන් වී, රාජ්‍ය නොවන සංවිධාන වටා සිටින බුද්ධිමතුන් විමුක්තිවාදීන් ලෙස තේරුම් ගැනීම උත්ප්‍රාසජනක අත්දැකීමක් වන්නේ එබැවිනි. තමන් කොතරම් පිළිගැනීමට අකැමැති වුවත් රාජ්‍ය නොවන සංවිධාන හා සම්මුතිගත වීමෙන්ද සිදු කරන්නේ නව ලිබරල් ව්‍යාපෘතිය කර තබාගෙන යෑමකි. එහෙත් තම පැවැත්ම සඳහා අනෙකාට අවලාද නඟන අතර, තමන් සුදනන් බවට පත් වන්නට උත්සාහ ගනිති.

ශ්‍රී ලංකාවේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස දේශපාලනිකව හැඩගැසී සිටින පිරිස් අතිවිශාල අර්බුදයක පැටලැවී සිටින නිසා මේ දේශපාලන තක්කඩිකමෙන් ගැලවීමට ඔවුන්ට කිසිදා නොහැකිය.

අබරන් 

Comments