සුවඳ විලවුන්වලට කැමති වලසුන් සොයා කැනඩාවේ ජැස්පර් වනාන්තරයට | සිළුමිණ

සුවඳ විලවුන්වලට කැමති වලසුන් සොයා කැනඩාවේ ජැස්පර් වනාන්තරයට

මෙ‍හෙ වලස්සු ඉන්නෙ රංචු පිටින්. මේ පළාත් වල ඉන්න අය තනියම ඉන්නකොට හැම මොහොතේම සද්ද බද්ද කරමින් ඉන්නෙ. වලහා කිසිම විටෙක කොටු කරන්න, පලවා හරින්න, ඌට බයේ දුවන්න යන්න එපා. එහෙම වුණොත් වලහා භයානකයි. මොකද වලහා එක්ක දුවලා උසේන් බෝල්ට්වත් බේරෙන්න බෑ.

ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු වන ඩිලන් සමරවික්‍රම වික්‍රමාන්විත ක්‍රියාදාමයක් කරමින් ‘බෲස්’ නමැති යතුරුපැදියෙන් මිනිස් වාසය සහිත මහද්වීප පහ තුළින්ම ගමන් කරමින් ලෝ වටා සංචාරයක නිරත වූයේය. 2010 ජූලි 28 වැනිදා ස්විස්හි ග්ලාරූස්වලින් ගමන් ඇරැඹු ඩිලන් යුරෝපයේ රටවල් රැසක කරක් ගැසීමෙන් පසුව සිරියාව හරහා අප්‍රිකාවට සේන්දු විය. රතු මුහුද තරණයකොට අරාබිකරයට පිවිසුණු ඩිලන් ඩුබායි සිට ඉන්දියාවට ගුවන් ගත විය. එතැන් සිට ශ්‍රී ලංකාවට පැමිණ සිංගප්පූරුවට ගොස් ගිනිකොණදිග ආසියාවෙන් ඉන්දුනීසියානු දූපත් හරහා ඊස්ට් ටිමෝරයට සේන්දු විය. අද එතැන් සිට.....

ඊස්ට් ටිමෝර්හිදී ශ්‍රී ලාංකික පිරිසගෙන් සේම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් පෘතුගීසි ජාතික සෙබළ පිරිසකගෙන් ඩිලන්ට මහත් සැලකිලි ලැබිණි. ඊස්ට් ටිමෝර්හි දවස් කිහිපයක් ඇවිදීමෙන් අනතුරුව ඩිලන් ඕස්ට්‍රේලියාව බලා යෑමට සැරසුණේය.

“මට එතෙන්දි තමයි ප්‍රශ්නෙ වුණේ. ඕස්ට්‍රේලියාවට ගොඩ බහින්නනම් සියලු දේවල් ඉතාම පිරිසුදුව තිබිය යුතු වග මට දැනගන්නට ලැබුණා. පස්සෙදි මගේ සයිකල් ධාවන ඇඳුම් සහ අනෙකුත් ලට්ට-ලොට්ට සියල්ලම සෝදලා පුල් සුද්දයක් දුන්නා. ඒ ඔක්කොමත් හරි බෲස් තමයි ලොකුම ප්‍රශ්නෙ වුණේ. දවස් ගාණක් ගියා බෲස්ව චූටි-චූටි කෑලිවලට ගලවලා සුද්ද-පවිත්‍ර කරලා පිට් කරන්න.”

තමා විසින්ම බෘස් එසේ ‘මස්’ කිරීම ගැන මහත් දොම්නසට පත්ව සිටි ඩිලන් පසුව බෲස් කන්ටේනරයක දමා ඕස්ට්‍රේලියාව කරා නැව්ගත කළේය. ඩිලන් ද ඊස්ට් ටිමෝර්හි ඩිලි නගරයේ සිට ගුවනින් ඔස්ට්‍රේලියාවේ උතුරට වන්නට පිහිටි ඩාවින් නමැති කුඩා නගරයට ගොඩබැස්සේය.

“මං මේ සංචාරයේදී වැඩිම කාලයක් ගත කළ රට ඕස්ට්‍රේලියාව. මාස හයක පමණ කාලයක් සිටියා. ඕස්ට්‍රේලියාවේ සිටි කාලය තුළදී නවසීලන්තය, ෆිජි දූපත්, දකුණු කොරියාව වගේ රටවලටත් ගියා. මම ඕස්ට්‍රේලියාව රට වටේම රවුමක් ගහලා මැදිනුත් ගියා. මං හිතන්නේ ඕස්ට්‍රේලියාව ඇතුළත කිලෝමීටර් 35000කට වැඩිය ගමන් කළා.”

ඕස්ට්‍රේලියාව යනු බොහෝ දෙනකුට සුරපුරයක් වුවත් එම සුරසැප විඳීමට හැකියාව තිබෙනුයේ රටේ බොහෝ කුඩා පෙදෙසකදී පමණි.

“ඇත්තටම ඕස්ට්‍රේලියාවේ බොහෝම කුඩා පෙදෙස් ටිකක තමයි මිනිස් වාසය තියෙන්නෙ. විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන්නෙ කාන්තාර භූමි. ඒ වගේම අනෙත් පැත්තෙන් කැලෑ පෙදෙස්. එක පැත්තකට අධික ශීතල තියෙනකොට තවත් පැත්තක අධික රස්නයක්. එහෙමයි ඕස්ට්‍රේලියාවේ දේශගුණ තත්ත්වය. මං මේ ගමනෙදි ඕස්ට්‍රේලියාවේ ගියේ ඉතාම දුෂ්කර ගමනක්. සමහර තැන්වල තියෙන අමාරුකම නිසා දවස් ගණන් නැවතිලා හිටියා. කාන්තාර භූමිවල යන්න ගියාම එපා වුණා. දකුණු ඕස්ට්‍රේලියාවේ නලබෝර් සිට බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට කිලෝමීටර් 3500ක විතර දුරක් ගෙවා ගියා. ඒ ප්‍රදේශය එතරම් බලන්න දෙයක් නැති හරියටම කිව්වොත් නිකං රොටි කබලක් වගේ පැතලි ‍‍ප්‍රදේශයක්. ඉක්මනින්ම යෑම තමයි එවැනි ප්‍රදේශවලදී සුදුසු. මොකද හැම අතින්ම දුෂ්කරයි. මිනිස් පුලුටක් දකින්න නෑ.”

ඩිලන් බෲස් සමඟ ඕස්ට්‍රේලියාවේ ගමන් කළ එරට අධික උෂ්ණ කාල සමයේ එම දේශගුණයේ විපාක විඳීමටද සිදුවිණි.

“දවසක් කෙයාන්ස් කියන පළාතේ කැලෑබද ප්‍රදේශයක කූඩාරමේ නිදාගෙන ඉද්දි මට නිකං එකපාරටම අමුත්තක් දැනුණා. මං හිතන්නෙ රෑ දෙකට තුනට ඇති. කූඩාරමෙන් ඔළුව දාලා බැලුවමයි දැක්කෙ. මහා විශාල ලැව්ගින්නක් ළඟ ළඟම. මං කළේ කූඩාරම ගලවගත්තා කොහෙන් ගියාද දන්නෑ. එදා මට හොඳ වෙලාවට ඇහැරුණේ. නැත්නම් කූඩාරමත් එක්කම මා ඇවිළිලා යනවා. මහ කැලෑවනේ. හැබැයි ඉතින් නිව් සවුත් වේල්ස්, සිඩ්නි, වික්ටෝරියා, මෙල්බර්න්, ක්වින්ස්ලන්ඩ්, බ්‍රිස්බෙන්, දකුණු ඔස්ට්‍රේලියා ඇඩිලේඩ්, බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ආදි නාගරික ප්‍රදේශ දියුණුව අතින් වගේම සෑම දේකින්ම පොහොසත්. මං ගියා සිඩ්නිවල තියෙන ලෝක ප්‍රසිද්ධ සිඩ්නි ඔපෙරා හවුස් එක බලන්න. විස්මිත නිර්මාණයක්.”

එසේ ඕස්ට්‍රේලියාවේ රවුම් ගැසූ ඩිලන් එරට ජනයාගේ සිතුම් පැතුම් ද මනාව අධ්‍යයනය කළේය.

“ඕස්ට්‍රේලියානු ජනයා පුදුමාකාර හොඳ ජන කොට්ඨාසයක්. සෑම විටම දකින හැමෝම එක්ක කතාබහ කරන්නයි ඔවුන් සැදී-පැහැදී සිටින්නේ. ඒකට යුරෝපියන් ජාතිකයෝ. මළාට මනුස්සයෙක් එක්ක ලේසියකට කතා කරන්නෙ නෑ. ඕස්ට්‍රේලියන් ජාතිකයෝ ඒ අතින් හරිම නිරහංකාර ජාතියක්.”

ඩිලන් ඕස්ට්‍රේලියාවේ ගත කරන කාලය තුළදීම නැවතත් බෲස් ඩිලන්ගේ මීළඟ මහද්වීපික නැවතුම්පොළවන කැනඩාවේ වැන්කුවර් කරා නැව්ගත කළේය.ඒ අතර කාලයේදී ඩිලන් ෆිජී හා දකුණු කොරියාව වැනි රටවල සංචාරය කළේය. එලෙස ගමන් කරද්දී ඩිලන්ට දකුණු කොරියාවේදී නැවතත් මහත් අකරතැබ්බයකට මූණ පෑමට සිදු විය.

“දකුණු කොරියාවේ සෝල්වලදී මාර කරුමයක් වුණේ. මගේ සියලුම ලියකියවිලි නැතිවුණානේ. බෲස්ගේ පොත්පත්, පාස්පොට් සියලුම දේවල්. වැන්කුවර්වලදී රේගුවෙන් බෲස් මුදවා ගන්නත් ක්‍රමයක් නැහැ එතකොට. ඒ වගේම මට පුදුමාකාර කනගාටුවක් වුණේ මගේ පැරැණි ගමන් බලපත්‍රය නැතිවීම ගැන. ඒක තමයි මගේ මේ සංචාරයේ තිබුණු හොඳම සාක්ෂිය. කොහොමහරි වෙලාවට මම නවසීලන්තයේදී පැරැණි ගමන් බලපත්‍රයේ පිටු ඉවර වුණ නිසා අලුත් එකක් ගත්තා. ඒක තිබුණා. බෲස්ගේ ලියකියවිලි නැවතත් ස්විස්වලින් ගෙන්ව ගන්නව කියලා හිතුවා. ඒ අතරේ මට වැන්කුවර්වලින් දැන්නුවා සයිකලේ ගන්න එන්න කියලා.”

එහෙත් ඩිලන්ට බෲස් රේගුවෙන් නිදහස් කරගැනීමට ක්‍රමයක් නොවිණි. ඔහුට බෲස්ගේ අයිතිය තහවුරු කිරීමට තිබෙන එකම සහතිකය වැන්කුවර්හි බලධාරීන් හා තමා අතර වූ විද්යුත් තැපැල් හුවමාරු පමණි. ඔහු වාසනාව උරගා බැලීමට සූදානම් වූයේය.

“මං ඕන දෙයක් කියලා කොරියාවේ ඉඳලා කැනඩාවට ගුවනින් ගියා. ඔවුන් එවපු විද්‍යුත් ලිපිත් පෙන්වලා කැනඩා බලධාරීන්ට කිව්වා ඇත්ත කතාව. අනේ ඒ අය මගේ කතාවට අවනත වුණා. ඉතාම මිත්‍රශීලි, කරුණාවන්ත පිරිසක් එතැන සිටියේ. මට එක පෝරමයයි පුරවන්න දුන්නෙත්. බෲස් නිදහස් කළා.”

එතෙක් සංචාරයේ පැමිණි රටවල නිල මුද්‍රා සහිත පැරැණි ගමන් බලපත්‍රය අස්ථානගත වීම ගැන ඩිලන්ට දින කිහිපයක් යන තුරුම මහත් දුකක් පැවැතිණි. බෲස් නිදහස් කරගැනීමෙන් අනතුරුව ඩිලන්ගේ ගිණුමෙහි මුදල් ද හීන වෙමින් පැවැතීම නිසා ගමන් මාර්ගය ගැන ඔහු මඳක් කල්පනා කළේය. එම නිසා ඔහුගේ අදහස වූයේ උතුරු ඇමෙරිකා මහද්වීපයේ බටහිර දෙසින් මධ්‍යම ඇමෙරිකාවට ගමන් කිරීමටයි. ඒ අතරේ ඩිලන් විද්‍යුත් තැපෑල පිරික්සමින් සිටින විට දුටුවේ තමාගේ ඥාතියකු එවා තිබූ දුක්මුසු පණිවිඩයකි. ඒ තමාගේ නෑනා කෙනෙකු වූ වූ තුෂාරි පෙනහළු පිළිකාවකින් පෙළෙන බව දන්වමිනි.

“තුෂාරි කියන්නෙ මගේ ළඟම ඥාති සහෝදරියකටත් වඩා පොඩි කාලේ ඉඳන්ම හොඳම මිතුරියක්. ඒක ඇහැව්වට පස්සෙ මට ව‍ාවාගන්න බැරුව ගියා. මං හිත දැඩි කරගෙන තුෂාරිට කතා කළා. ඇය ඉතාම සැහැල්ලුවෙන් තමයි මාත් සමඟ කතා කළේ. මං කිව්වා මම දැන් ඉන්නෙ වැන්කුවර්වල කියලා.”

ඩිලන් සිටින ඉසව්ව පැවැසීමත් සමඟින් තුෂාරි සතුටින් පිනා ගියාය. ඇය කුඩා කල සිටම ඇලස්කාවට ආසා කළා කියාය.

“ඇය ඇලස්කාවට හරිම කැමතියි. ඇලස්කාවට ගිහින් පිංතූර අරගෙන එයාට එවන්න එතකොට එයාට මැරෙන්න කලින් ඇලස්කාව දැක බලාගන්න පුළුවන් කියා එයා මට පිංසෙණ්ඩු වුණා. එයා මට දිගින් දිගටම කිව්වා එයා මඟ බලාගෙන ඉන්නවා කියලා.”

එම වදන් පෙළත් සමඟින් ඩිලන්ගේ ගත-සිත ශෝකයෙන් වෙළී ගියේය. මුදල් නොමැතිකම ප්‍රශ්නයක් වුවත් මීළඟට ඩිලන් තීරණය කළේ කැනඩාවේ මදක් සංචාරය කර ඇලස්කාවට යෑමටය. ඉන්පසු ඔහු තීන්දු කළේ හිම කඳුවලින්, උණු දිය උල්පත්වලින්, වලස්සුන්ගෙන් ගහන කැනඩාවේ කඳු අතර පිහිටි විශාලතම වනාන්තරය වූ ජැස්පර් වන උයන හරහා ඇලස්කාවට යෑමටයි. කැනඩාවේ ඉතාම පාළු මිනිස් ගහනයෙන් තොර පෙදෙසක ගමන් කරන විට හමුවූ කෙවින්, ජෝන් හා ටරයින් වර්තමානයේත් ඩිලන්ගේ කුලුපග මිතුරන්ය.

“ඔවුන් තිදෙනා යතුරුපැදිවලින් රැකියාවලට යන ගමන් සිටියේ. කැනඩාවේ බොහෝ ප්‍රදේශ මිනිස් වාසයෙන් තොරයි. ටරයින්ගේ සයිකලය කැඩිලා තුන්දෙනාට කරගන්න දෙයක් නැතිව ඉන්නකොට තමයි මට හමු වුණේ. පස්සෙ මං ගිහිල්ලා ඇහැව්වා, ‘ඔයාලට මැකැනික් කෙනෙක්ගේ උදවුවක් ඕනෙද කියලා’. ඔවුන් තුන්දෙනාට හිනා. මං මේ විහිළු කරනවා කියලා හිතුවේ.”

එහෙත් පසුව ඩිලන් ඉතාම සුළු කාලයකදී යතුරුපැදිය අලුත්වැඩියා කර දුන්නේය. ඉන් පසුව ටරයින් ඉගිළ ගියේ ඩිලන්ට තුති පුදාය. ජෝන් හා කෙවින් ඩිලන්ට ආරාධනා කළේ ඔවුන්ගේ නිවසෙහි එදින රැය පහන් කිරීමටයි.

“එදා රෑ තමයි මං මුලින්ම වලහෙක් දැක්කෙ. ඉතාම පාළු ප්‍රදේශ. අපි තුන්දෙනා හැන්දෑ යාමේ සාලෙ කතා කර කර ඉන්නකොට මෙන්න වලහෙක්. ඔවුන් දෙන්නට ගාණක් නෑ. මට ඉතින් ඉවසුම් නෑ පින්තූර ගන්න. ඒ අ‍තරේ ජෝන් කියනවා, ‘ඒයි ඩිලන් තව සතියක් දෙකක් මෙහෙ හි‍ටියොත්... ඔයාට වලස්සු රංචු පිටින් බලන්න පුළුවන්.’

අනතුරුව ඔවුන් දෙදෙනා මාගේ මතු ආරක්ෂාව සඳහා වලසුන් සමඟ සැරිසරන අයුරු පැහැදිලි කළේය.

“හැම වෙලේම මොකක් හෝ සද්දයක් කරමිනුයි ඉන්න ඕනැ. මේ පළාත්වල ඉන්න අය තනියම ඉන්නකොට හැම මොහොතේම සද්ද-බද්ද කරමින් ඉන්නෙ. වලහා කිසිම විටෙක කොටු කරන්න, පලවා හරින්න, ඌට බයේ දුවන්න යන්න එපා එහෙම වුණොත් වලහා භයානකයි. මොකද වලහා එක්ක දුවලා උසේන් බෝල්ට්වත් බේරෙන්න බෑ. ඒ වගේම ඌ දන්තාලේප, සුවඳ විලවුන්, සබන්වලට පුදුම කෑදරකමක් තියෙන්නෙ.”

පසු දින උදයේම කෙවින් හා ජෝන්ගෙන් මිදී ඩිලන් ජැස්පර් වන උයන බලා ගමන් කළේය.

“පුදුම ලස්සන පළාතක්. දියඇලි එහෙම සීය ගාණක් බලන්න තියෙනවා. මං දියඇල්ලක් ගාව සිරි නරඹමින් ඉන්නකොට මට ඇහුණා කවුදෝ කෑගහනවා, ‘ඒයි ඩිලන්... ඩිලන්...’ කියා. බැලින්නම් ටරයින්. ග්‍රේග් කියලා තවත් යාළුවෙක් සමඟ කැබ් රථයකින් වැඩට යන ගමන්.”

ඔවුහූ නික්ම යෑමට පෙර ඩිලන්ට ආරාධනාවක් ද කළහ. ඒ කැනඩාවේ විශාලතම ඛනිජ නිධි ප්‍රදේශය වන ෆෝර්ට් මැක්මුරේ වෙත ගොස් දින කිහිපයක් වැඩ කර ගතමනාවක් උපයාගෙන ගමන් කරන ලෙසයි.

“දන්නවද එහෙ දිනක වැටුප කීයද කියලා. ඩොලර් 1000ක්. ඒක කිව්වම මං උඩ ගියා. නියම වැටුපක්නේ. ඒකට හේතුව ඒ පැතිවල වැඩ වැඩියි. සෙනඟ නෑ.”

එහෙත් ඩිලන්ට එවැනි යෝජනාවලට එකඟ වීමට සිතක් නොමැත. ඔහු යන්නේ ලෝක සවාරියකි. එසේම එවැනි දේට නීතිමය ගැටලුද තිබේ.

“පස්සෙ මං ඔවුන්ගෙන් බේරිලා එන්න හදද්දි ටරයින්ගේ මිතුරා ග්‍රේග් මට ඇලස්කාවට ගිහින් එන ගමන් එයාගේ ගෙදර නැවතිලා යන්න එන්න ඕනැ කියලා වද කළා.”

ඒ ග්‍රේග්ද සංචාරයට සේම යතුරුපැදි ධාවනයටද උන්මත්තකයකු වූ බැවිනි. පසුව ඔහු සිය නිවෙසේ ලිපිනය හා දුරකථනය අංකයද ඩිලන්ට දුන්නේය. අනතුරුව ඩිලන් ගමන් කළේ ඇලස්කාව බලාය.

අමිල මලවිසූරිය 

Comments