
‘ජෙනරල් විජය විමලරත්න සර් මට කතා කරල කිව්වා, උපාලි පොඩි විසිට් එකක් යන්න තියෙනවා කොබ්බෑකඩුව සර්.. ත් එනවා යන්න ඉක්මනට ලෑස්ති වෙන්න කියල. විනාඩියක් යනකොට මම රෙඩි වුණා. අපි සේරම කට්ටිය එක වාහනේක නැඟලා කයිට්ස් දූපතේ අරාලි තුඩුව පැත්තට යන්න පිටත් වුණා. මඟදි උතුරු නාවික ආඥාපතිතුමා ඇත්ළු කට්ටියක් තවත් වාහනේකින් ආවා. අපි එනකල් මඟ නවතාගෙන හිටපු තවත් වාහනයක් තිබුණා. වාහන තුනම එක තැනක නවත්වලා අපි සේරම කට්ටිය එක වාහනේකට නැග්ගා. වාහනය පදවාගෙන ගියේ ජෙනරල් විජය විමලරත්න සර් ඉස්සරහ මැද හිටියේ, උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් ජයමහ සර් ඉස්සරහ දකුණු වම් කෙළවරේ හිටියෙ කොබ්බෑකඩුව සර්. මම හිටියේ වාහනේ පිටිපස්සෙ, කඳෙන් බාගයක් විතර එළියට දාගෙන තමයි මම ගියේ. මම වාහනේ දකුණු පැත්තෙන් එළිය බල බල ගියා. මම හැමදාම වගේ යන්නෙ එතැන තමයි, මට මතක විදිහට කිලෝමීටර් 2ක් විතර වාහනේ ගියා. එක පාරටම බෝම්බ සද්දෙකුත් එක්ක වාහනේ උඩින් යනවා දැනුණා. මගේ කන් බිහිරි වෙනවා වගේ දැනුණා. මාව වාහනෙන් එළියට විසි වුණා වගේ දැනුණා.‘
වසර 25කට පෙර කයිට්ස් අරාලි දූපතේදි සිදු වූ බිම් බෝම්බ පිපිරීමෙන් ජීවිතය බේරුණු එකම පුද්ගලයා වන හිටපු යුද හමුදා සෙබළකු වන කෝප්‍රල් උපාලි විජේකෝන් මහතා විසිපස්වසරකට පෙර අතීත මතකය එසේ අවදි කෙළේය.අද ඔහු අනුරාධපුර දිස්ත්‍රිකකය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එදා බිම් බෝම්බ පිපිරීමෙන් එම වාහනයේ ගමන් කළ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න ඇතුළු යුද හා අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රියැදුරා ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. දෙපා අහිමිව දිවි බේරාගන්නට හැකි වූයේ කෝප්‍රල් උපාලිට පමණි. අද ලංකාවේ සිටින දෙපා අහිමි එකම පළාත් සභා මන්ත්‍රීවරයාද ඔහුයි.‘මට සිහිය එනකොට හිටියෙ කොහෙද කියල මට මතක නැහැ. එල්.ටී.ටී.ඊ. කට්ටිය පණ බේරෙන අය අල්ලගෙන යන නිසා මට චකිතයකුත් දැනුණා. කෙහොම හරි මට පුරුදු කටහඬක් ඇහුණා. මාව උස්සල අරගෙන යන බව මට දැනුණා. දනිස්සෙන් පහළ හිරි වැටිලා වගේ දැනුණා. ලොකු වේදනාවකුත් දැනුණා. එදා දිනය මට හොඳට මතකයි 1992 අවුරුද්දේ අගෝස්තු මාසෙ 8 වැනිදා උතුරු ආඥාපතිතුමාත්, යාපනය ආඥාපතිතුමාත් යාපනය නාවික ආඥාපතිතුමාත් ඇතුළු පිරිස ගියේ යාපනයය අල්ලන මෙහෙයුම ගැන අධීක්ෂණය කරන්නයි. ලෑන්ඩ් රෝවර් වාහන තුනක් යන එක ගැන ඈත ඉඳන් වුණත් කවුරු හරි දැක්කොත් ඒක ගැටලුවක් වෙයි කියලයි සර් කිව්වෙ අපි සේරම එක වාහනේක යං කියලා. මම ඒ දවස්වල වැඩ කළේ විජය විමලරත්න සර් ළඟ ඒ වුණත් කොබ්බෑකඩුව සර් මට නිතරම කතා කරනවා. සර්ල දෙන්නම බොහෝ විට එකට තමයි ඒ දවස්වල වැඩ කෙළේ. යාපනය එල්.ටී.ටී.ඊ. සංවිධානය අල්ලාගෙන ඉල්ල එක ලොකු හිසරදයක් වෙලා තිබුණෙ. ඒක නිසා යාපනය මුදා ගන්න මෙහෙයුමක් ආරම්භ කරන්න තමයි එදා මේ සැලසුම ක්‍රියාත්මක කරන්න කටයුතු කෙළේ.
කොහොම හරි මේ බෝම්බ පිපිරීමෙන් මම ඇරෙන්න සේරම දෙනා මිය ගියා. බෝම්බය පිපිරුණු තැන ඉඳල මාව මීටර් 70ක් දුරට මාව විසිවෙලා තියෙනවා. සිද්ධියත් එක්කම හෙලිකොප්ටර් ඇවිත් තියෙනවා. පළවැනි හෙලිකොප්ටරයෙන් කොබ්බෑකඩුව සර් කොළඹ යවල තියෙනවා. දෙවැනියට ආපු එකෙන් මාව පලාලි ගෙනිහින් ලේ පයින්ට් 19ක් දීල තියෙනවා. ඒ වෙනකොටත් මගේ කකුල් දෙකේ ගන්න දෙයක් තිබිල නැහැ. කාලයක් මට බේත් කරල තමයි ගොඩ ගත්තේ. ඒත් හමුදා සෙබළෙක් විදිහට මගේ උත්සාහය අත්හැරියෙ නැහැ. 1992 ඉඳල මම 2002 වෙනකල්ම මම හමුදාවේ සේවය කළා. කකුල් දෙකම නැතිව. මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 28යි. මගේ තරුණ කාලය එහෙම පිටින්ම නැතිවුණා. ඒ වෙනකොට දුවට අවුරුදු දෙක තුනක් ඇති. අද දුවත් පුතාත් දෙන්නම තරුණයි. පුතා දකින අය කියන්නෙ තරුණ කාලෙ උපාලි වගේ කියලා. මට මගේ තරුණ කාලය අහිමි වුණ එක ගැන ලොකු දුකක් දැනෙන්නෙ නැහැ. රට වෙනුවෙන් උපරිම සේවය කළා. අද මම ආඩම්බර වෙනවා රට රැක ගත්ත හමුදාවේ සෙබළකු වෙන්න ලැබීම ගැන. අපිට මේ යුද්ධය 1992 අවුරුද්දෙ ඉවර කරන්න තිබුණා. මොන බලපෑමක් හරි ඇවිල්ල ඒක නතර වුණා. ඉන්දියාවත් ගොඩක් මේ ගැන අවදියෙන් හිටියෙ. අන්තිමට රජීව් ගාන්ධි අගමැතිතුමාටත් ජීවිතය අහිමි වුණා. වඩමාරච්චි සටනේදි කොබ්බෑකඩුව සර් හොඳටම විශ්වාස කළා එදා ප්‍රභාකරන් අල්ලනවා කියලා. ඒත් බලපැම් ආපු නිසා අපි වටකරපු ක්‍රියාන්විතය පලක් වුණේ නැහැ.එදා යුද පෙරමුණේ හිටපු කෙනෙක් හැටියට මමත් හොඳටම විශ්වාස කරා මේ යුද්ධය අපට දිනන්න පුළුවන් බව. අද අපි හැමෝම ඒ ජයග්‍රහණය සමරනවා. මමත් එහි කොටස්කරුවෙක්. මම ජනතාවට එදත් සේවය කළා. රට රකින්න ගිලින්. අදත් සේවය කරනවා. පළාත් සභාවේ ඉඳගෙන.
පසුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් විජය විමලරත්න සර්ගේ යටතේ හිටියේ. කොබ්බෑකඩුව සර් වගේම විජය විමලරත්න සර් කිසි දවසක තමන් ඉස්මතු වෙන්න කටයුතු කෙළේ නැහැ. ජනතාවම තමයි ඒ අය වීරයො කළේ.
වඩමාරච්චි, වාලස්පුරි, බලවේග මේ වගේ දරුණු සටන්වලට මම සහභාගි වුණා. කිප වතාවක්ම තුවාල වුණා. සර්ල මට යන්න කියද්දිත් සමහර වෙලාවට මම තුවාල වෙලත් යුදබිමට ගියා. අපිට රණවිරු අභිමානය ඒ සර්ල දෙන්නගෙන්ම ලැබුණා. කිසිම දවසක හිත රිදෙන විදිහට කාත කළේ නැහැ. අපි සේරම රට වෙනුවෙන් යුද වදින බව එයාලගේ හිතේ හොඳින්ම කා වැදිල තිබුණා.අද ඒ සිදුවීමට අවුරුදු 25යි. මගේ 28 වැනි උපන් දිනයට දවස් කීපයක් තියෙද්දි තමයි මේ සිද්ධිය වුණේ. අද වගේ සියල්ල මතකයි. වෙලාව උදේ 9.55යි.
එදා වාලම්පුරි මෙහෙයුමේදි ප්‍රභාකරන් අල්ලා ගන්න ඉඩ ලැබුණා නම් අපි සේරම අද හොඳින් ඉන්නවා. ජීවිත දහස් ගණනකුත් ඉතිරි කර ගන්න තිබුණා. දැන් ඒ සේරම අතීතයට ගිහින්. හෙට දවස වෙනුවෙන් අද දවසේ නිවැරැදිට කටයුතු කරන එකයි කළ යුත්තේ. උතුරේ ජනතාව අහිංසකයි. ඒත් ජනතාව මුවා කරගෙන වාසි ගන්න හදන උදවිය ගැන නම් නිවැරැදි තීරණ ගත යුතුයි කියල මම හිතනවා.