අඬන්නට හිටි එකා බුලතේ එල්ලීම | සිළුමිණ

අඬන්නට හිටි එකා බුලතේ එල්ලීම

 “අඬන්න හිටි එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ” මෙය ප්‍රකට ජන කියමනකි. ඒ කියුම නැවත සිහිපත් කරන සිදුවීම් නිතර ඇස ගැටේ; සවන වැකේ. ජුලි 25 දා රාජගිරියේදී ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකට සහභාගි වූ කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය, ප්‍රසිද්ධ ධර්ම කථික ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ බුලත් මිල පහත වැටීමේ චෝදනාව රජයට ඉදිරිපත් කළහ.

පුදුමය වන්නේ උන්වහන්සේගේ අනෙක් මාතෘකා බවට පත් වූ රණවිරු දඩයම, වරාය හා තෙල් ටැංකි විකිණීම, සයිටම් හා ගම්මිරිස් අතරට බුලත් කොළ ද වැටීම ය!

බුලත් මිල පහළ වැටී තිබීම සත්‍යයක් බව බුලත් ගොවියෝ සාක්ෂි දරති. ඒ පිළිබඳ ව කැක්කුමක් ඇති අය කතා කිරීමේ වරදක් ද නැත. එසේ වුවද ආණ්ඩුවට වැටෙන්නට පහර දීම සඳහා මාතෘකා එකතු කරන්නන් හට බුලත් කොළය ද එක් ව තිබීම හාස්‍යයට කරුණකි.

පටලවා ගැනීම

සංස්කෘත භාෂාව සහ බුලත් අලෙවිය අතර ඇති සම්බන්ධය කුමක් දැයි මහාචාර්ය ධම්මරතන හිමියන් පැහැදිලි කළ යුතු ය. ජනතා විමුක්ති පෙරමුණේ ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 25 දා කුලියාපිටියේ දී බුලත් මිල පහත වැටීමට එරෙහි ව උද්ඝෝෂණයක් දියත් කරන ලදී.

බුලත් සඳහා සහතික මිලක් නියම කිරීම, බුලත් බද්ද අහෝසි කිරීම එම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් අතර විය.

බුලත් ගොවීන්ගේ මතු නො ව ඕනෑම ක්ෂේත්‍රයක ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප පිළිගත යුතු ය. විශේෂයෙන් ම යහපාලන රජයක් යටතේ එම අයිතිය වාරණය කිරීමේ හැකියාව කිසිවකු හට නොමැත. එහෙත් බුලත් ප්‍රශ්නයේ දී කැපී පෙනෙන්නේ ආණ්ඩුව සමඟ හැප්පීම සඳහා මුවහත් කර ගෙන සිටින ආයුධ කිහිපයකට තවත් ආයුධයක් එක්කර ගැනීමෙන් ඔබ්බට ගිය අරමුණක් මෙහි නොමැති බවය. විවේකයන්ගේ ස්වරයෙන් හැඟී යන්නේ බුලත් ගොවීන් හට කෙළවා දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇති බව ය. ආණ්ඩුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සංයුතියකි. ආණ්ඩුව හිතා මතා ග්‍රාමීය ජන පදනම නොසලකා හැර කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. මෙහි දී සිදු ව ඇත්තේ පටලවා ගැනීමක් බව පෙනේ.

මිල වැටීම

බුලත් ප්‍රශ්නයේ සුලමුල විමසා බැලීමෙන් ඒ බැව් තහවුරු වේ.

බුලත් ගොවියකුගෙන් ඒ පිළිබඳ නිරවුල් සාක්ෂියක් ලබා ගනිමු. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාර කොස්වත්ත බුලත් ගොවිතැන සරුවට කෙරෙන ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ යායෙගෙදර ගම්මානයේ පදිංචි ප්‍රේමතිලක ජයසිංහ මහතා පාරම්පරික බුලත් ගොවියෙකි.

“බුලත්වල මිල වැටෙන්ඩ පටන්ගත්තෙ ජනවාරිවලින් පස්සෙ. ඒ වන තෙක් බුලත් 1000කට රුපියල් 3000 - 4000 අතර මිලක් ලැබුණා. දැන් බුලත් ගන්නෙ රු. 400 - 500 අතර මිලකට. බුලත් ඉනි දෙසීයකට සතියකට වරක් රුපියල් 500 ක පමණ පොහොර දැමිය යුතු වෙනවා. අවුරුදු දෙකක් තිස්සේ පවතින නියඟය නිසා, වතුර දමන ප්‍රමාණයත් වැඩියි. මේ සියලු හේතු හින්දා බුලත් වගාව පාඩු වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ.”

ජයසිංහ මහතාගේ ප්‍රකාශය අනුව බුලත් මිල පහත වැටීම හා නියඟය යන දෙක ම ඔවුන්ගේ ආර්ථිකයට බලපා ඇති බව පෙනේ. නියඟයට ක්ෂණික විසඳුම් නොමැත. එසේ වුවද මිල පහළ යෑමේ සාධක සොයා පිළියම් යෙදීමේ පියවර ඉක්මනින් ගත හැක.

රජයේ වගකීම

විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ රජයට ය. එ නිසා රජයේ පාර්ශ්වයෙන් මේ සඳහා කළ යුතු මැදිහත් වීම අත්‍යවශ්‍ය සාධකයකි. බුලත් මිල පහත වැටීමට බලපා ඇති හේතු සොයා බලා ඉක්මනින් විසඳුම් ලබා දෙන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

බුලත් මිල පහත වැටීම කෙරෙහි බලපා ඇති එක් ප්‍රධාන හේතුවක් වනුයේ පාකිස්තාන රජය බුලත් මිලදී ගැනීමේ දී නියාමන බද්දක් පැනවීම ය. පසුගිය දා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතා සහ පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සෆ්රාඩ් අහමඩ් මහතා අතර ඒ පිළිබඳ ව සාකච්ඡාවක් ද පැවැත්විණ. පාකිස්තාන රජය බුලත් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 291 ක නියාමන බද්දක් පනවා ඇත්තේ අප්‍රියෙල් 11 දා පටන් ය.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන බුලත් නිෂ්පාදනයෙන් 98%ක් මිලදී ගනු ලබන්නේ පාකිස්තානය විසිනි. එනිසා, මේ බද්ද බුලත් මිල අස්ථාවර වීම කෙරෙහි ඍජුවම බලපායි. මේ අනුව ශ්‍රී ලංකා රජය සහ පාකිස්තානු රජය අතර කෙරෙන සාකච්ඡාවක් ඔස්සේ නියාමන බද්ද වෙනස් කර ගැනීම ගැටලුවට එක් විසඳුමකි. එහි ප්‍රතිඵල කුමක් වේදැයි දැන්ම කිව ‍නොහැක. බුලත් වෙළෙඳ පොළේ අර්බුදය කෙරෙහි නියාමන බද්ද පමණක් බලපා තිබේ ය යන්න ද ගැටලු සහගතය. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මතය විමසීම වැදගත් ය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඒ. පී. කේ. සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.

අලුත් වෙළෙඳපොළක්

“පාකිස්තාන රජය රුපියල් 290 ක අමතර බද්දක් පනවා ඇති බවට ප්‍රකාශ කෙරෙනවා. මේ අනුව බුලත් කිලෝ 9කට රුපියල් 2500ක අමතර වියදමක් දරන්න වෙනවා. බුලත් වෙළෙඳ පොළේ අර්බුදයට බලපා ඇති එක ම හේතුව මෙයයි මා සිතන්නේ නැහැ. බුලත් වගාවෙන් ලැබෙන ආදායම ඉහළ යෑම නිසා, බුලත් ගොවීන් උනන්දු වුණා. පසුගිය අවධියෙහි එප්පාවල හා නිකවැරටිය යනාදී ප්‍රදේශ කිහිපයක් බුලත් වගාව අලුතෙන් ආරම්භ වුණා. බුලත් නිෂ්පාදනය ඉහළ ගියා. මේ නිසා අතිරික්ත නිෂ්පාදනයක් ද ඇති වුණා. ඒකත් එක හේතුවක්.”

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණය අනුව හැඟී යන්නේ බුලත් නිෂ්පාදනය වැඩිවීම අනුව අපනයනය පුළුල් විය යුතු බව ය. මන්ද යත් බුලත් පාරිභෝජනය කරන ප්‍රමාණය පුළුල් නොවෙයි. ඒ අනුව අලුතින් වෙළෙඳ පොළක් සොයා ගත යුතුය.

බුලත් අපනයනය කරන එක ම රට ලංකාව නොවේ. ඉන්දියාව ද තරගකරුවෙකි. මේ නිසා පාකිස්තානයට අමතර ව බුලත් අපනයන වෙළෙඳපොළක් සොයා ගැනීම පැය විසිහතරකින් කළ හැක්කක් නොවේ.

බුලත් වගාව ව්‍යාප්ත ව ඇත්තේ නිවර්තන කලාපීය හා දකුණු ආසියාතික රටවල ය. ඉතිහාසය පුරා ම බුලත් නිෂ්පාදනය කෙරුණේ දේශීය පාරිභෝජනය සඳහා ය. එහෙත් සුළු අපනයන බෝග ප්‍රවර්ධනයේදී බුලත් සඳහා විදේශීය වෙළෙඳ පොළ ද විවෘත විය. මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් දක්වා බිම්වල සාර්ථක ව වගා කෙරෙන හෙයින් ද ශ්‍රී ලංකාවේ සැම පස් ප්‍රභේදයකම වගා කළ හැකි හෙයින් ද පහසු වගාවක් හෙයින් ද බුලත් වගාව කාර්යක්ෂම ව පවත්වාගෙන යෑමේ හැකියාව ඇත. ගොවීන් බුලත් වගාව කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වූයේ මේ සියලු කරුණු අනු ව ය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සුළු අපනයන බෝගයක් ලෙස බුලත් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කළ වැඩ සටහන් අනුව ඉහළ ප්‍රමිතියෙන් යුතු බුලත් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමේ හැකියාව ලැබිණ.

විරෝධයෙන් යැපීම

2020 වන විට බුලත් ද ඇතුළු කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගැනීමේ අරමුණ ඇති ව ගොවීන් දිරි ගැන්වීමෙහි යෙදී සිටින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බුලත් ගොවීන් අධෛර්යවත් කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකි ය.

එසේ තිබිය දී ගොවීන් ලක්ෂයක් කොළඹට ගෙන්වා ආණ්ඩුව ගෙදර යවනවා යැයි පාරම්බාන උද්ඝෝෂණ ව්‍යාපාර ගොවීන් දඩමීමා කරගෙන පටු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන බවට සැකයක් ඇති වීම සහේතුක ය.

විරෝධ දේශපාලනයෙන් යැපෙන දේශපාලන පක්ෂ සහ විවිධ කණ්ඩායම්වල ප්‍රකාශ අනුව පෙනී යන්නේ බුලත් ගොවීන් කෙරෙහි ඇති කැක්කුමකට වඩා තම පැවැත්ම වෙනුවෙන් ඇති රුදාව ඉස්මතු වී ඇති බව ය.

තිඹිරියාගම බණ්ඩාර
[email protected]

Comments