
උඩරට කලාකරුවන් දහසකට අධික පිරිසකගේ හා අලි-ඇතුන් 80ක පමණ සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පුරා රාත්‍රී දහයක් මහනුවර නගරයේ සියලු වීදී අවාරණය වන පරිදි සංචාරය කෙරුණු හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර හෙට (07) රාත්‍රී 07.53ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. ඇසළ පෙරහරේ විචිත්‍රත්වය ඔප්නංවමින් අද (06) හා හෙට රාත්‍රී සධාතුක කරඬුව රැගත් මංගල හස්තිරාජයා දෑලේ ඇතුන් සමඟ උඩුවියන් හා පාවාඩ මතින් වැඩම කිරීම විශේෂත්වයකි.
අවසන් රන්දෝලි පෙරහරින් පසු සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ විහාරයේ තැන්පත් කෙරෙයි. පසුව (08) දින අලුයම 01.15ට ශ්‍රී දළදා මාලිගයේ හා සිව් මහා දේවාල පෙරහර පිටත්ව ගැටඹේ තොටට ගොස් දියකැපුම් මංගල්‍යය සිදු කෙරේ. අනතුරුව දහවල් පෙරහර පවත්වා දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහ දේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගමන් කරති.
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සම්ප්‍රදායානුකූල චාරිත්‍ර ගරුකමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනපතිතුමන් වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.
අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කිරීම සඳහා දායකත්වය දැක්වූ ශිල්පීන් 115 දෙනකු සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම 08 දින මහනුවර ජනපති මැඳුරේදී පැවැත්වෙන පෙරහර සමාප්ති උත්සවයේදී සිදු කිරීමට නියමිතය. පෙරහැර මංගල්‍යය සඳහා සුවිශේෂ දායත්වයක් දෙමින් සාම්ප්‍රදායික කලාවන් රැකගැනීමට කැප වූ අතිවිශිෂ්ට කලාකරුවන් 05 දෙනකු මෙහිදී ජනපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වීමට නියමිත අතර මේ සම්මානය හිමි වන්නේ ජීවිතයේ එක්වරක පමණක් වීම විශේෂත්වයකි. වසර ගණනාවක් අඛණ්ඩව පෙරහර සඳහා සහභාගීවූ වයෝවෘද්ධ කලාකරුවන් 10 දෙනකුටද මෙදින ජනපතිවරයා අතින් සම්මාන පිරිනැමීමට සූදානම් කර තිබේ. දළදා පෙරහරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන් 25 දෙනකු සඳහා මුදල් ත්‍යාග සමඟ සහතික පත් ප්‍රදානය කිරීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙවරද කටයුතු කර ඇත.