
කැලේ වැවක, එහෙමත් නැත්නම් වගා ළිඳක අලියකු වැටීම සාමාන්‍ය සිද්ධියකි. නමුදු අලියකු මුහුදේ වැටීම නම් අරුමයකි. එය අරුමයක් වුවද දැන් දැන් එය ද සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබේ. මීට සති කිහිපයකට පෙර එනම් ඉකුත් එකොළොස් වැනිදා කෝකිලායි මුහුදේ ගසාගෙන යමින් සිටි වන අලියා බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දියත් කළ මහා මෙහෙයුමේ උණුසුම මැකී යන්නටත් පෙර ඉකුත් දා එනම් පසුගිය 23 දා අලි දෙදෙනෙක් මුහුදේ වැටි සිටියහ. අනපේක්ෂිත ලෙස මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනා පිළිබඳ තොරතුර වනජීවි නිලධාරීන් වෙත දන්වා තිබුණේ මහමුහුදේ මුර සේවයේ යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් විසිනි.
ත්‍රිකුණාමලය අඩවි ආරක්ෂක නිලධාරී ප්‍රේමසිරි විතානගේ මහතා පවසන පරිදි සිද්ධිය මෙසේය.
“විසි තුන්වැනිදා අටහමාරට විතර තමයි අපට දැනගන්න ලැබුණේ අලි දෙන්නෙකු මුහුදේ ගසාගෙන යනවා කියලා. නාවික හමුදා විදුර කඳවුරට අපි ගියා. පසුව නාවික හමුදාව විසින් සාම්පූර් ලයිට් හවුස් එක ගාවට අලි දෙන්නා ගෙනැත් තිබුණා. ඉන් පසුව එක අලියෙක් කැලේට ගිහින් තිබුණා. උන් දෙන්නා පීන පීන ඉඳලා තියෙන්නේ. අනෙක් අලියා මුහුදේ ලැගලා හිටියේ. කොහොම නමුත් අපි යන සද්දෙට ඌත් නැගිටලා යන්න ගියා. ඒ සතා හෙම්බත් වෙලා ඉඳලා තියෙන්නේ. අප සමඟ පශු වෛද්‍යවරයාත්, වනජීවි නිලධාරීන් රැසක් ගියා. මීට අවුරුදු කිහිපයකට පෙර අලියෙක් මුහුදේ වැටිලා නාවික හමුදාවෙන් බේරගත්තා. ඉන් පසුව සති කිහිපයක් ඇතුළත මෙවැනි සිද්ධීන් දෙකක් වාර්තා වුණ පළමු අවස්ථාව මෙයයි. අපි අනුමාන කරනවා මේ අලි මුහුදු ප්‍රදේශයට එන්න ලොකුම හේතුව තමයි ත්‍රිකුණාමල ප්‍රදේශයේ තිබෙන දැඩි නියඟය කියලා.
කුළු වැව් ඒ කියන්නේ කැලෑව තුළ තිබෙන කුඩා කුඩා වැව් පවා හිඳිලා ගිහින් තියෙන්නෙ. මේ නිසා අලි පමණක් නොවෙයි අනෙක් සත්තුත් වතුර සොයාගෙන කැලෙන් එළියට එනවා. ඇතැම් විට අධික රස්නය නිසා මේ සත්තු ඇඟ තෙමා ගන්නට වතුර සොයාගෙන මුහුද පැත්තට එන්න ඇති. අලියා කියන්නේ හොඳට පීනන්න පුළුවන් සතෙක්. නමුත් ධීවරයෝ කියන විදිහට මේ මුහුදු ප්‍රදේශයේ දියවැල් හතරක් තියෙනවා. ධීවරයෝ මේවට කියන්නේ කරන්ට් වැල් කියලා. මුහුදට වැටුණ අලි මේ දියවැල් සමඟ ඇදිලා තමයි ගැඹුරු මුහුදට ගිහින් තියෙන්නේ. නමුත් ගියවර මුහුදට වැටුණු අලියා ගොඩගත්තා වගේ මහා මෙහෙයුමක් වුණේ නැහැ මේ අලි දෙන්නා ගොඩ ගන්න එක.”
නාවික හමුදා නිලධාරීහූද සිද්ධිය අප හා විස්තර කළහ.
“නැඟෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටි නාවික හමුදා පිරිසක් තමයි මේ අලි දෙන්නා මුහුදේ වැටිලා ඉන්න බව මුලින්ම දැක තිබෙන්නේ. පසුව මේ පිළිබඳ වනජීවි නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ද සහාය ඇතිව රවුඩ් දූපත හා කෙවුලිය තුඩුව අතර ඇති මුහුදු ප්‍රදේශයේ සැඩපහරකට හසුව ගසාගෙන යමින් සිටි අලි දෙන්නා කෙවුලිය තුඩුව ප්‍රදේශයට මුදාහැරියා. අලි මෙහෙයුම සඳහා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා තුනක් සහ ඩෝරා යාත්‍රාවක් භාවිත කළා.”
කොහොම වුවත් කැලේ සද්දන්තයන්ට මේ අපල කාලයකි. දැඩි නියං සමයකට හසුව තිබෙන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කැලෑවල වෙසෙන වන සත්තු දැන් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙසේ පැමිණෙන්නේ කෝකිලායි හා සාම්පූර් වන රක්ෂිතවල සිට ගම් වදින අලින්ය. මෙලෙස රංචු පිටින් එන අලින් අතරින් මඟහැරෙන වන අලි මෙලෙස ජලය හා ආහාර සොයාවිත් මුහුදේ වැටෙන්නට ඇතැයි ගම්මු පවසති. මිනිසුන්ට ද වතුර නැතිව මොහොතක් සිටිය නොහැකි නම් සතුන් කෙසේ ඉවසා සිටින්න ද? කැලේ වැව්වල වැටී එහෙමත් නැත්නම් ගමේ වගා ළිඳක වැටී, මඩ වළවල්වල වැටි විවිධ ආපදාවලට ලක්වන අලියා මුහුදේ වැටීම කාට කාටත් දැන් අලුත් අත්දැකීමකි.
නිරන්තරවම වන අලියා සමඟ ගැටෙන වනජීවි නිලධාරීන්ට ද අලි මුහුදේ වැටීමට හේතුව මේ වනතුරුත් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේය.
මේ සම්බන්ධව ත්‍රිකුණාමල වනජීවි කලාප අධ්‍යක්ෂ ලලිත් වික්‍රමාරච්චි මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
“තවමත් අපට හිතාගන්න බැහැ අලි කොහේ ඉඳලා කොහාට යන්න ආවද කියලා. නමුත් අපි අනුමාන කරනවා මේ දිනවල ප්‍රදේශයේ පවතින දැඩි නියඟයෙන් පීඩා විඳින අලි ඇඟ තෙමා ගන්න වතුර සොයාගෙන එන්නට ඇති කියලා. සාමාන්‍යයෙන් අලියෙකුට දිනකට ආහාර කිලෝ එකසිය පනහක් ඕන වෙනවා. ඒ වගේම වතුර ලීටර් එකසිය පනහක් ඕන වෙනවා. අලියා කියන සතා දවසකට වර්ග කිලෝමීටර එකසිය පනහක් පමණ ඇවිදිනවා. එක්කෝ අලියා කෑම සොයාගෙන එන්න ඇති. එහෙම නැත්නම් ඌ වතුර සොයාගෙන එන්න ඇති. අලියා බොන්නේ පිරිසුදු වතුර. කිරි බී වැඩෙන සත්ත්ව ගණයට අයත් අලියා මැමේලියා වර්ගයට අයත් සතෙක්. ඌට හොඳ මතකයක් තියෙනවා වගේම අනතුරු පිළිබඳ හොඳ ඉවක් තිබෙනවා. මේ සතුන්ට යම් අතපසු වීමක් වුණොත් තමයි අනතුරක වැටෙන්නෙ. අලියට හොඳට පිහිනන්න පුළුවන්. නමුත් මුහුදේ තිබෙන දියවැල්වලට හසු වුණාම උන් ඒ එක්කම ඇදිලා යනවා. අලි මුහුදේ වැටීම අපට අලුත් අත්දැකීමක්. වනජිවි අධ්‍යක්ෂතුමා මෙන්ම අනෙකුත් නිලධාරීන් එක්ව මේ අලුත් තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් කරන්නයි හදන්නෙ. ඇයි අලි මෙහෙම මුහුදේ වැටෙන්නෙ කියලා. අපි යම් යම් දේ අනුමාන වශයෙන් කිව්වට මෙන්න මේකයි හේතුව කියලා ස්ථිර වශයෙන්ම අපට තවමත් කියන්න බැහැ.”
බොහෝ ජලාශවල එගොඩ මෙගොඩ පිහිනා කැලයට ද ගමට ද එන අලි අපි දැක ඇත්තෙමු. උන් ගැන විවිධ කතා අසා ඇත්තෙමු. අලියා මිනිසාට බයය. මිනිසා අලියාට බයය. මෙනිසා ඇතැම් විට මිනිසා අලියාට අනතුරු කරන්නේය. නැතිනම් අලියා මිනිසාට අනතුරු කරන්නේය. නැඟෙනහිර පළාතේ දැඩි නියඟයෙන් පීඩා විඳින මිනිසුන් වගාවක් කරගැනීමට ළතැවෙන විට ඇතැම් ප්‍රදේශවලට එන වන අලි මිනිසුන් සතු වගා විනාශ කර දමති. කොහොම වුණත් තවමත් විසඳුමක් නැති අපේ රටේ අලි මිනිස් ගැටුම පසෙක තිබියදී දැන් මුහුදේ වැටෙන අලි ගැන අනේ අපොයි කියා දුක් වීමට අපට සිදුවී ඇත. කොහොම වූවත් මුහුදේ වැටෙන අලියාගේ ජීවිතය බේරා ගැනීමේ භාරධූර කාර්යය දැන් පැවැරී ඇත්තේ නාවික හමුදාවටය. ඔවුන්ගේ කැපවීම, මෙහෙයවීම නැතිනම් මේ සතුන් මුහුදේම මිය යනු නියතය.