
රටවල් හා ජාතීන් අතර සාමය ඇති කරන්නට නර්තනය හොඳම මෙවලමක් වන්නේ දැවෙන, තැවෙන සිත නිවා සුවපත් කරන්නට ‘නැටුම’ හොඳම මාධ්‍යයක් වන නිසයි.
මෙරට සිටින ප්‍රමුඛ පෙළේ තරුණ නර්තනවේදිනියක වන අසේකා විජේවර්ධන වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක සාම සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සාම තානාපති ධුරය පිරිනමනු ලැබ තිබේ.
චන්න උපුලී ප්‍රාසාංගික කලායතනය මඟින් අසේකා විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංග හා 90කට අධික රටවල් සංඛ්‍යාවක ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසංග තුළින් සාමයේ පණිවිඩය ජාතීන් වෙත ගෙනයෑම සඳහා ඉටු කරන ලද මෙහෙවර සලකමින් අසේකා ට මේ සම්මානය පිරිනමා තිබේ. අසේකා ප්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන සහ ප්‍රවීණ නර්තනවේදිනී උපුලි පණීභාරත යුවළගේ දියණියයි.
පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වුණු එම සංවිධානයේ 2017 ලෝක ව්‍යාපාර හා නායකත්ව සම්මේලනයේදී අසේකාට මේ තානාපති පදවිය පිරිනමනු ලැබිණි. එහිදී ලෝක සාම සහ රාජ්‍යතාන්ත්‍රික සංවිධානයේ ගරු උපදේශක තනතුරක් නර්තනවේදී චන්න විජේවර්ධනට සහ මාධ්‍ය තානාපති තනතුරක් ප්‍රවීණ ඡායාරූප ශිල්පී සාගර ද මෙල් මහතාට හිමි විය.
නර්තනය නම් වූ විශ්ව භාෂාව මඟින් ලොව විවිධ රටවල ජනතාවගේ සිත් සතන් තුළ සතුට, සාමය සහ සංහිඳියාව ඇති කිරීමෙහිලා චන්න - උපුලි නර්තන කණ්ඩායම විසින් දක්වන ලද විශේෂ මෙහෙවර මේ උත්සවයේදී ඉහළ අගැයීමට පාත්‍ර විය. පසුගිය දසක තුනක් මුළුල්ලේ චන්න - උපුලි රංගායතනය හා අසේකා ප්‍රමුඛ කණ්ඩායම ලෝකයේ රටවල් 90කට අධික සංඛ්‍යාවක ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සාමය සහ සහජීවනය විදහා දක්වමින් නර්තන සන්දර්ශන රාශියක් පවත්වා තිබේ. ඇමෙරිකාවේ කෙනඩි මධ්‍යස්ථානය, සිඩ්නි ඔපෙරා හවුස්, පැරිසියේ යුනෙස්කෝ රඟහල ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වේදිකාවල සිය රැඟුම් දක්වමින් ඔවුහු ලාංකේය සංස්කෘතිය සහ සහජීවනයේ පණිවුඩය ලොවට විදහා පෑවෝය. බර්ලිනයේ පැවැත්වුණු ලොක සංස්කෘතික මේලාවේදී රටවල් 99ක් පරදවා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ද, 2003 දී ඇමෙරිකාවේ ඩෙන්වර් නුවර පැවැත්වුණු අන්තර්ජාතික සිංහ සම්මේලන සංස්කෘතික තරගාවලියේදී රටවල් 178ක් පරදවා මුල් තැන දිනාගනිමින් ද, 2004 දී හොංකොං, 2007 දී චිකාගෝ සහ 2008 දි තායිලන්තයේදී ඒ සම්මේලනයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද චන්න - උපුලී නර්තන කණ්ඩායම ශ්‍රී ලංකාවට ලෝක සංස්කෘතික සිතියමෙහි මුල් තැනක් උරුම කර දීමට සමත් විය. තරුණ කලාකාරියක ලෙස අසේකා විසින් ඊට දක්වන ලද කැපී පෙනෙන දායකත්වය මේ තනතුර පිරිනැමීම සඳහා විශේෂයෙන් සලකා බලා තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාව හා එහි සංස්කෘතික හරයන් හුවා දක්වමින් නර්තනය තුළින් සාමයේ සහ ජාතීන් අතර සංහිඳියාවේ පණිවුඩය ලෝකය වෙත රැගෙන යාමේ මෙහෙවර මෙම තානාපති පදවිය ඔස්සේ ඉටුකිරීමට අසේකාට බාර වී තිබේ. එම තනතුරෙහි වගකීම ඉටු කරන්නට අපේක්ෂා කරන්නේ කෙසේදැයි අපි අසේකාගෙන් විමසුවෙමු.
“ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක පටන් බහු ජාතික බහු ආගමික ජාතීන් කිහිපයක් සාමයෙන් සහජීවනයෙන් යුතුව ජීවත් වූ රටක්. අපේ රටේ ඓතිහාසික වටිනාකම්, විවිධ සංස්කෘතික හරයන් හා සමාජීය සාරධර්ම විදහා දැක්වෙන ලෙස ඉඟි හා චලනය මඟින් ඉදිරිපත් කිරීමට නර්තනය යොදා ගන්නවා. නර්තනය යනු විශ්ව භාෂාවක්. රටවල් හා ජාතීන් අතර සාමය ඇති කරන්නට නර්තනය හොඳම මෙවලමක් වන්නේ දැවෙන, තැවෙන සිත නිවා සුවපත් කරන්නට ‘නැටුම’ හොඳම මාධ්‍යයක් වන නිසයි. සංගීතයෙන්, නැටුමෙන් හෝ වෙනත් ඕනෑම කලාවකින් සිදු කෙරෙන්නේ මිනිස් සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සන්සුන් සිත්වලින් යුතු මිනිසුන් සිටින ලෝකය නිතැතින් ම සන්සුන් වෙනවා.” නර්තනය මඟින් සාමයේ පණිවිඩය ලොවට කියන්නට මා උත්සාහ කරනවා. නර්තනය ඔබේ ජීවිතයට ගෙන ආ වටිනාම සම්පත කුමක්දැයි අප ඇගෙන් ඇසුවා.
“සැනසීම හා සතුට. නර්තනය මඟින් මනස සන්සුන් වෙනවා. ලෝකයක් සන්සුන් කරන්නට පෙර තමන් ගේ සිත සන්සුන් කරගත යුතුයි. තමන්ගේ ඇතුළාන්තය සන්සුන් නොවන පුද්ගලයන් විසින් ලොවට හඬගා කියන සාමයේ පණිවිඩය ප්‍රායෝගික නොවන බව මට සිතෙනවා. එහෙයින් ලෝකය සන්සුන් කරන්නට පෙර තමා සන්සුන් වෙන්න. ඒ සන්සුන් බව මට නර්තනයෙන් ලැබී තිබෙනවා. ඕනෑම කෙනකුට කලාවෙන් සංසිඳෙන්න පුළුවන්. අප එකිනෙකා සන්සුන් වූ සිත් ඇත්තන් වූ විට ලෝකයම සන්සුන් වෙනවා ය යන පණිවිඩය මම කියන්න කැමතියි,” ඇය කියනවා.
කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අසේකා චන්න - උපුලී රංගායතනයේ ආචාර්යවරියක ලෙස කටයුතු කරන අතරම වැල්ලවත්ත මෙට්‍රෝපොලිටන් උසස් අධ්‍යාපන ආයතනයෙන් නිර්මාණාත්මක කලා සහ මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය ලැබීම සඳහා අධ්‍යාපන කටයුතුවල යෙදී සිටී. ඉදිරියේදී අපේ රටේ දුෂ්කර පළාත්වල නර්තනයට සමත්කම් දක්වන නර්තනයට ළැදි ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරු - දැරියන් සඳහා නොමිලේ නර්තන වැඩමුළු කිහිපයක් පවත්වා, ඒ අතරින් සුවිශේෂ දස්කම් දක්වන කිහිපදෙනකුට චන්න - උපුලී රංගායතනයේ නොමිලේ නැටුම් හැදෑරීමට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමටත් ඇය අදහස් කරයි.