දුටුගැමුණු රජු කල ගෙවූ වැටුප අදත් ලබන්නෝ | සිළුමිණ

දුටුගැමුණු රජු කල ගෙවූ වැටුප අදත් ලබන්නෝ

ලෝකය නවීකරණය වෙද් දී සම්ප්‍රදායක ක්‍රම වෙනස් වීම ස්වභාවයකි. එසේ වුවද අතීත ශ්‍රි විභුතිය එදා මෙන් අදටත් රැක ගෙන දේශීයත්වයට හා සම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැනක් දෙන පුදබිමක් ලෙස කතරගම පුදබිම සැලකිය හැකිය. කතරගම දේවාලයේ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඉල් මහා පෙරහර අවුරුදු මංගල්‍යය හා ඇසළ මංගල්‍ය යන මංගල්‍යයන් කඳ කුමරු වෙනුවෙන් පැවැත්වෙන උත්සව වේ.

අප රටේ ඇතැම්හූ දිවි රැක ගැනීම සඳහා කුමන හෝ රැකියාවක නිරත වෙති. ජීවන වියදම දිනෙන් දින වැඩිවෙද් දී ලැබෙන වැටුපට ජිවත් වීමට නොහැකිව වැඩි පඩි ඉල්ලා අරගල කිරීම ලොව කොයි රටකත් සිදුවන්නකි. අප රටේද එසේ සිදු වූ අවස්ථා අනන්තය. එසේ තිබිය දී අපේ රටේ වසරකට රුපියල් දෙකයි ශත අසු දෙකේ වැටුපට සේවය කරන පිරිසක් තවමත් සිටීයැයි කිවහොත් ඔබ මවිතයට පත්වනු නොඅනුමානය. කුමන තත්ත්වයක් හෝ යටතේ මේ අය කිසිම දිනෙක වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණ නොකරති. අතීතයේ දී මේ මුදල පතා පහකි. එනම් රුපියල් දෙකයි සත අසූ දෙකකි. මේ මුදලට අදද වසරක් පුරා රාජකාරියේ නිරතවන්නේ උතුම් වූ කඳ සුරිඳුන් වෙනුවෙනි. එලෙස සේවය කරන්නෝ නම් කඳ සුරිඳුන් වෙනුවෙන් පුද පූජා පවත්වන පාරම්පරික කපු පරපුරත් බස්නායක නිලමේ ඇතුඵ රාජකාරිකරුවනුත්ය.

කතරගම දේවාලයේ සිදුවන සෑම ක්‍රියාවක්ම චාරිත්‍රයක් අනුව සිදුවේ. එම චාරිත්‍ර අතර ජනයාට නොපෙනෙන චාරිත්‍ර රැසක් පවතී. ලොව නවීකරණය වී ඇතත්කතරගම පුදබිමේ පවතින කිසිදු චාරිත්‍ර සම්ප්‍රදායක් මේ දක්වා කිසිදු අයුරකින් වෙනස් නොවී පවතී. දුටු ගැමුණු රජතුමාගේ නියෝග හා කතරගම දෙවියන්ගේ අනුහසත් නිසා එම චාරිත්‍ර කිසිදු ලෙසකින්වත් වෙනස් කිරීමට කිසිවෙක්වත් මේ දක්වා ක්‍රියා නොකරති.

කතරගම දේවාලය තනවා දෙවියන්ට පූජා කළ දුටුගැමුණු රජතුමා දේවාලයේ පැවැත්මට ගොඩ මඩ ඉඩකඩම් රැසක් පවරා දේවාලයේ රාජකාරි කිරීමට කපු පරපුරක් ද දෙවියන්ගේ පුජාව සිදු කිරීමට සහායකයන් ලෙස රාජකාරිකරුවන් දහ අටදෙනකු ද ඇතුළුව රාජකාරි 552 ක් කිරීමට පිරිසක් පත් කරනු ලැබීය. මෙම පිරිස වෙත රජුගේ නියෝගය පරිදි මේ දක්වාම නිල වැටුපක් ලබා දෙයි. මෙයට වසර 2245 කට පෙර දී දේවාලයේ රාජකාරි සිදු කළ කපු මහතුන් ඇතුඵ රාජකාරිකරුවන්ට පතා පහක් වශයෙන් වැටුප් ‍ගෙවනු ලැබු බව ද කියැවේ.

අතීතයේ පැවැති පතා නමින් හඳුන්වනු ලබන මුදල් අද භාවිතයේ නොමැති නිසා වර්තමානයේ මෙම සම්ප්‍රදායික වැටුප ගෙවනු ලබන්නේ රුපියල් වලින්ය. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අවසන් වී දිය කැපීමෙන් පසු දේවාලයේ සියලුම රාජකාරිකරුවන් වෙත සිය වැටුප ගෙවීමට බස්නායක නිලමේ හා දේවාල ලේකම් මහබෙත්මේ අධිකාරම්තුමාත් කටයුතු කරති. මේ ලෙසින් දවස් තේවේ කපු රාලට දිනපතාම පුජාව සිදු කරද් දී රුපියල් දෙකයි ශත අසූ දෙකක් ගෙවනු ලැබේ. තේවේ කපුරාල යනු පෙරහර සිදු කරනු ලබන චාරිත්‍රවලට අයත් කපුවරුන් ය.

පෙරහර බැලීමේ රාලට තේවා දෙකක් සිදු කිරීම වෙනුවෙන් රුපියල් හතරයි ශත පනහක් ගෙවනු ලබන අතර බස්නායක නිලමේ වරයාටද රුපියල් දෙකයි ශත අසූ දෙකක වැටුපක් ගෙවනු ලැබේ. මෙයට අමතරව ආලත්ති අම්මලා 12 දෙනා ට ද තවලම් මුහන්දිරම්ට අයත් කුඩා බෙත්මේ තවලම් මුහන්දිරම්, මහාබෙත්මේ තවලම් මුහදන්දිරම්, ඌලිය පංගුවකරු, පණිවුඩකරු, රිදී පන්දම්කරු, රීදි කුඩකරාල කත් නිලයා සහ හේනයා යන අයටද මේ රුපියල් දෙකයි ශත අසූ දෙකේ වැටුප ගෙවනු ලැබේ. එසේම දේවාලයේ කපු පරපුරේ අය වන ප්‍රධාන කපු මහතාටද පෙරහර බලන රාල, ගබඩා භාරකරු හා තේවේ කපුරාලා වෙත ද රාජකාරි මණ්ඩලයේ මහාබෙතමේ පිලේ ගොටුමහන්නා, දවල්කාර මුහදන්දිරම්, උඩුවියන් අල්ලන්නා, හක්ගෙඩි පිඹින්නා, මුහන්දිරම් පන්දම් අල්ලන්නා, පාවාඩකරු සහ හොරණෑවා යන අයට ද මෙම ඓතිහාසික පඬුරු වැටුප් හිමිවේ. දේවාලයේ ප්‍රධාන නිල වන බස්නායක නිලමේ, අදිකාරම් නිලමේ, දිය කපනරාල, මහාබෙත්මේ ලේකම්, කුඩා බෙත්මේ ලේකම්, ගම්පහේ විදානේ රාල, නැකැත්රාල යන රාජකාරි කරුවන් සැමටම ඇසළ මංගල්‍යය අවසන් වු දින සවස මෙම වැටුප ලබා දෙනු ලැබේ. මෙම රුපියල් දෙකයි ශත අසු දෙකක වැටුප ලබා නොගන්නා කිසිදු රාජකාරිකරුකුට නැවත දේවාලයේ සේවය කිරීමට නොලැබෙන බැවින් සියලුම රාජකාරිකරුවන් දැඩි කැපවීමකින් හා භක්තියකින් යුතුව කතරගම දෙවියන්ගේ රාජකාරි ඉටු කර මෙම වැටුප ලබා ගනිති.

මෙම වැටුප ලබා ගන්නා පිරිස ඉල් මහා මංගල්‍යය, අවුරුදු මංගල්‍යය හා ඇසළ මංගල්‍යය පෙරහැරට අමතරව කනු කැපීමේ මංගල්‍යය හා කිරි ඉතිරවීමේ මංගල්‍යයන් සඳහා ද දෛනිකව දේවාලයේ සිදු කරනු ලබන පුජා තුනටද එක්ව සේවය කිරීමට කැපවෙති.

පෙරහර බලන රාල නිලයේ කටයුතු කරන සරත් සේපාල රත්නායක කපු මහතා කතරගම පෙරහරේ රාජකාරි පිළිබඳ අප හා අදහස් දැක්වීය.

“මම 1980 දී දේවාලයට ගෙවදීම සිදු වුණා. එදා සිට අද දක්වා මං දේවාලයේ පුජාව කිරීම හා පෙරහැර බලනරාල ලෙස සේවය කිරීම වෙනුවෙන් වැටුප් දෙකක් ඒ කියන්නේ රුපියල් හතරයි පනහක් ගන්නවා. මමත් මගේ තාත්තාත් සීයලාත් අතීතයේ සිටම මේ වැටුප අරගෙන දෙවියන්ට සේවය කර තිබෙනවා.

අතීතයේ පරිදිම අදත් මේ වැටුප අපි ගන්නේ දැඩි භක්තියකින්. දෙවියන්ට සිදු කරනු ලබන පූජාව අපි කිසිදු අඩු පාඩුවක් නොකර ගෞරවාන්විතව සිදු කරනවා.”

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා පැවසුවේ “එදා පතා පහක් කියන්නේ අද රුපියල් දහයක් වගේ මුදලක්. දුටුගැමුණු රජ දවසේ පටන්ම මෙම මුදල් ගෙව්වා. අද වර්තමානයේ පවතින්නේ රුපියල් නිසා මෙම මුදලින් අදත් මේ චාරිත්‍රය ඉටු කරමින් රාජකාරි වැටුප ලබා දෙනවා. මේ වැටුප ගෙවන්නේ වසරක් දේවාලයේ රාජකාරි කිරීම වෙනුවෙනුයි.”

කතරගම දේවාලයේ වසරේ ප්‍රථම දින කැලැන්ඩරය ඇසළ මාසයෙන් ආරම්භ වන අතර මේ දින කතරගම දේවාලයේ කපු මහතුන්ට වසරේ සේවය කිරීම සඳහා මාස ලබා දීමේ තුණ්ඩු ඇදීමද බස්නායක නිලමේවරයා විසින් සිදු කරනු ලබයි. කතරගම දේවාලයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමද ඉතාම සිත් ගත් එකකි. මෙය දැකුම් කියවීමේ චාරිත්‍රය ලෙස හැඳින්වේ. රටේ බව බෝග අස්වැන්න සරුවීමෙන් පසු ලැබෙන අලූත් සහල්වලින් දේව දානය පිළියෙල කර කිරි ඉතිරවීමෙන් පසු දේවාලය වසා තබා අලූත් අවුරුද්දට සුබ නැකතින් දේවාලය විවෘත කර අවුරුදු මංගල්‍යය සිදු කරයි. පෙරහර අවසන් කර දේවාලයේ පූජාවට ප්‍රථම මෙම දැකුම් කියවීම හෙවත් අයවැය ඉදිරිපත් කිරීම සිදුවේ .

පෙරහර පැවැත්වීමෙන් පසුව නව වසරේ දේවාලයේ අයවැය කියවීමේ චාරිත්‍රය වන දැකුම් කියවීමේ පෞරණික චාරිත්‍රය ඉටු කිරීම සිදු කරනුයේ දුටු ගැමුණු මහා රජතුමා කතරගම දේවාලයට පුජා කළ රන් මාල ඇතුඵ පුජා භාණ්ඩ රැසක් මහජනයාට ප්‍රදර්ශනය කරමිනි.

දෙවියන්ට වඳින ඉහළම වැඳීම වන්නේ නව වැඳීමය. මෙහි දී කරනුයේ කපු මහත්වරුන් දොහොත් මුදුන් දී නව පාරක් බිම දිගාවී වැඳීමය. මේ දැකුම් කියවීමේ දී පළමුවෙන්ම නව වැඳීම සිදු කර දෙවියන්ගෙන් අවසරය ගැනීම සිදු කරයි. මෙම අවස්ථාවට දේවාලයේ ප්‍රධාන නිලය වන බස්නායක නිලමේවරයා, දේවාලයේ මහබෙත්මේ ලේකම් ඇතුළු සියලූම රාජකාරිකරුවෝ ද ආලාත්ති අම්මලා හා සියලුම නිල රාජකාරි කරුවෝ ද එක් වෙති. දේවාලයේ කපු මහතා පෞරාණික වටිනාකමක් ඇති මාල රැසක් තැබු බන්දෙසියක් රැගෙන දේව මාලිගයෙන් ඉදිරියට පැමිණ දේවාලයේ පණිවුඩකරු කැඳවා සියලූම නිලවලට අයත් පිරිස් පැමිණ ඇත්දැයි විමසීමක් කරයි. එවිට සියලූම දෙනා පැමිණ ඇති බව පණිවුඩකරු පවසන අතර අය-වැය කියවන කපු මහතා විසින් මේ කියන දේවල් ලියා ගන්නා ලෙස පණිවුඩකරුට පවසයි. එවිට පොතක් පතක් නොමැතිව ලියන පරිදි මෙම පණිවුඩකරු “හොඳයි ලියා ගත්තා” යනුවෙන් පවසයි. ඉන්පසු රි දී බන්දේසියක තබා ප්‍රදර්ශනය කර ඇති රන් මාල පෙන්වන කපු මහතා මෙසේ පවසයි.

“මම මේ කියන්නේ රුහුණු කතරගම මහා දේවාලයට මෙම වසරේදි ලැබුණු දේවල් පිළිබඳයි. පුසා වර්ණ රන් දම් ඇටමාල 10000 යි. සළුපට මාල 1000යි. රන් දම්වැල් මාල 1000යි.” යනා දී වශයෙන් පවසන කපු මහතා අනතුරුව මෙසේද පවසයි.

“කතරගම දේවාලයට ලැබුණු පුද පඬුරුවලින් දේවාලයේ මාලිගය පිරි ඉතිරුණා. පස්සේ ඒවා එළියේ පිට මණ්ඩප්පයට ඇද්දා. පස්සේ එතනත් මුදලින් පිරුණා. පස්සේ රාජකාරිකරුවන් එක්ක දේවාලයේ මළුවේ ඇද්දා. එතනත් පඬුරුවලින් පිරුණා. පස්සේ එම පඬුරු බස්නායක නිලමේ ගේ වලව්වට ඇද්දා. එතනත් පිරුණා. පස්සේ දහයියා තොටුපොළෙන් මැණික් ගඟට උදලූ ගෙනත් කපලා ඇදලා පඬුරු ගඟට දැම්මා. ඊට පස්සේ තමයි යන්තම් අද දේවාලේ පූජාව කරන්න ඉඩ ගත්තේ.”

කපුමහතා එලෙස පවසා පසුව “පැමිණි සියලුම බැතිමතුන්ට ද ශ්‍රි ලංකා වාසී සියලූම ජනයාට ද ලැබූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සුබම සුබ අලූත් අවුරුද්දකට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා” යනුවෙන් පවසමින් අය-වැය කියවීම අවසන් කරයි. ඉන් අනතුරුව කපුමහතා දෙවියන්ගේ තේවා පුජාව සිදු කර නව වසරට රටට ජනයාට දේව ආශිර්වාදය ලබා දෙයි.

කේ. ඩී. දේවප්‍රිය
කතරගම සංචාරක 

Comments