කාන්තාව සවිබල ගන්වා රට සංවර්ධනය කිරීම අපේ අරමුණයි | සිළුමිණ

කාන්තාව සවිබල ගන්වා රට සංවර්ධනය කිරීම අපේ අරමුණයි

ආචාර්ය රීඩ්ලි ජයසිංහ

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ කාර්යයේ දී වැදගත් සමාජ මෙහෙවරක් ඉටු කරනු ලබන සමාජ ආයතනයක් ලෙස ජාතික සමාජ සංවර්ධන ආයතනය හඳුන්වාදිය හැකිය. දශක ගණනාවක සිටම කාන්තාවන්ගේ අධ්‍යාපනය, රටෙහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි කාන්තා දායකත්වයට අවකාශ සලසා දීම ඇතුළු කාන්තාව වෙනුවෙන් හා පුරවැසියන් වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් මෙම ආයතනය ඔස්සේ සිදුවේ. ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් කාන්තා සුබසිද්ධිය උදෙසා වත්මනේ කරනු ලබන කාර්යභාරය පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රීඩ්ලි ජයසිංහ සමඟ යෙදුණු කතාබහකි මේ.

ජාතික සමාජ සංවර්ධන ආයතනය කුමක් දැයි මුලින්ම කතා කරමු?

ජාතික සමාජ සංවර්ධන ආයතනය දැනට වසර හැටපහක් පමණ ඉපැරණි ආයතනයක්. මෙහි ඉතිහාසය ගැන කතා කරන විට එය කාර්මික විප්ලවය, පළමු ,දෙවන ලෝක යුද්ධ කාලය දක්වා දුරකට දිව යනවා. විශේෂයෙන්ම බටහිර ධනවාදී රටවල්වල මේ යුද්ධ නිසා 1790 - 1800 වන විට විශාල දරිද්‍රතාවයක් ඇති වී තිබුණා. දැවෙන සමාජ ප්‍රශ්න ඇති වී තිබුණා. ඇමෙරිකාවේ ඒවගේම එංගලන්තය වැනි රටවල මේ කාලය වන විට විශේෂයෙන්ම ළමා, වහල් වෙළෙදාම, ගණිකා වෘත්තිය ,යාචකයන් මෙවැනි ප්‍රශ්න දිනෙන් දින වැඩි වුණා. ඒ රටවල ඉංජිනේරු වෘත්තිකයෝ වෛද්‍ය වෘත්තිකයෝ හැමවිටම හිටියත් සාමාන්‍ය මිනිසුන්ගේ ජනජීවිතය ගොඩනඟා ඔවුන්ගේ ප්‍ර‍ශ්න විසඳාගැනීමට සහාය වන වෘත්තියක් තිබුණෙ නැහැ. මෙයට ඉදිරිපත් වුණේ විවිධ ආගම් මුල් කරගත් පුණ්‍ය ආයතනයි. මේ වෙන කොට තමයි යටත් විජිතයක් වුණු ලංකාවෙත් මේරි රිච්මන්ඩ් ප්‍රධාන කොටගත් ඩොරති මෝසස්, එම්.ඊ. පියබෝර්ඩ්, ඒ.ඊ. කේනමන් වැනි කණ්ඩායමක් මිනිසුන් සමඟ වැඩ කරලා මිනිසුන් සවිබල ගන්වන්නට socil work නමින් සමාජ ක්‍රියාවලියක් පටන්ගන්නේ. මෙය දිගින් දිගටම කරගෙන ගියා. ඒ අනුව සමාජයට තේරුම් ගියා මෙය මිනිසුන් සංවර්ධනය කිරීමට ඉතාම අත්‍යවශ්‍ය වන වෘත්තියක් බව. ඒ අනුව 1952 අප්‍රේල් 29 වෙනි දා ලංකා සමාජ වැඩ ආයතනය නමින් මේ ආයතනය ආරම්භ කළා. පසුව මේ සේවාව රජයට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පෙනී ගියා. ඒ අනූව 1964 දී සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතට මෙය අරගෙන රාජ්‍ය ආයතනයක් ලෙස මෙය පවත්වා ගෙන ගියා.ඉන්පසුව 1992 දි අංක 41 පාර්ලිමේන්තු පනත යටතේ ජාතික සමාජ සංවර්ධන ආයතනය ලෙස මෙය ස්ථාපිත කළා. 2005 වසරේ දී සමජ වැඩ පිළිබඳ ශාස්ත්‍ර වේදී උපාධිය, 2008 දී සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි දක්වා උපාධි පිරිනමන ආයතනයක් බවට පත්ව තිබෙනවා.

මෙය පිහිටු වූයේ කාන්තාවක්?

ඔව්.ජනතාවගේ දුක කියන එක මේ සමාජ වැඩවල ආරම්භයට මුල් වුණා. එලෙස මවක ලෙස රැකවරණය, සෙවණ ලබා දීම කියන වටිනාමදේ පදනම් කරගෙන තමයි සමාජ වැඩ කියන විෂය ගොඩනැගුණේ. ඒ නිසා මව් ගුණය තුළින් තමයි මේ වෘත්තිය බිහි වුණේ.

මෙහි වර්තමාන කාර්ය භාරය මොන වගේද?

දැනට මෙම ආයතනය සමාජ සවිබල ගැන්වීම, සමාජ සුබසාධනය , කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ විශ්ව විද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඩිප්ලෝමා,උපාධි පිරිනැමීම, පශ්චාත් උපාධි පවත්වාගෙන යාමට බලය ලැබී තිබෙනවා. මෙය ප්‍රධාන අංශ තුනකින් සමන්විතයි. ඒ සමාජ සේවා විද්‍යාලය,පුහුණු අංශය, සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ හා ප්‍රකාශන අංශය ලෙසයි.

මේවායින් සිදුවන කාර්යභාරය කුමක්ද?

සමාජ සේවා විද්‍යාලය මඟින් රටට අවශ්‍ය සමාජ වැඩ කරන වෘත්තිකයන් එනම් මානව සම්පත ගොඩනැඟීම සිදු වෙනවා. ඩිප්ලෝමා, උපාධි , පශ්චාත් උපාධි පිරිනැමීම සිදු වෙනවා. ප්‍රායෝගික බවින් යුතු ක්ෂේත්‍ර පුහුණුවකින් යුක්ත වූ මිනිසුන් සමඟ වැඩ කිරීමට යෝග්‍ය කණ්ඩායම් සකස්කිරීම සිදු වෙනවා. ඒ නිසා සමාජ සේවා විද්‍යාලය මේ ආයතනය සතු අධ්‍යාපන ආයතනය ලෙස සැලකෙනවා. පුහුණු අංශය ගත්විට මින් සිදු වන්නේ වෘත්තිකයන් පුහුණු කිරීමයි. උදාහරණ ලෙස ගත්තොත් සුනාමිය,උතුරු නැගෙන හිර පැවැති යුද්ධය මුල් කරගෙන අඩාල වුණු ජන ජීවිතය සුවපත් කිරීම සඳහා මනෝ විද්‍යාත්මක උපදේශනය ඒවගේම ආපදා කළමණාකරනය වැනි පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් අරඹා තිබෙනවා. පර්යේෂණ අංශයෙන් සිදු වන්නේ රටට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කිරීමයි. විශේෂයෙන්ම ජාතික වශයෙන් අවශ්‍යවන්නා වූ පර්යේක්ෂණ සිදු කර සමාජ සංවර්ධන කාර්යයට උරදීම මෙමඟින් සිදු වෙනවා.

ඔබ ආයතනයේ මුලික අරමුණ?

කාන්තාව සවිබල ගැන්නුවොත් එමඟින් මේ රටේ විශාල වෙනසක් කරන්නට පුළුවන් කියන එක අප හඳුනාගත් දෙයක්. ඒ වෙනුවෙන් කාන්තාව හා ප්‍රජාව අරභයා විවිධ පාඨමාලා රැසක් අප දියත් කර තිබෙනවා. ඒ පිළිබඳ නාවල රාජගිරියේ පිහිටි සමාජ සංවර්ධන ආයතනයෙන් හෝ අපගේ ප්‍රාදේශීය ආයතන මඟින් දැනුම්වත් වෙන්නට පුළුවන්.

මේ ආයතනය ඔස්සේ කාන්තාව සවිබල ගැන්වීමට දායක වන අයුරු ?

කාන්තා සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ දී අප දුටු දෙයක් තමයි නිවෙසේ දී , කාර්යාලයේ දී ප්‍රවාහනයේ දී මඟතොටේ දී කාන්තාවනට සිදු වන විවිධ අසාධාරණකම්, හිංසාවන් සිදුවන බව එලෙසම බලය හා තීරණ ගැනීමේ මට්ටම්වලදී කාන්තාවනට අභියෝග රැසක් පවතින බව ද හඳුනාගෙන තිබෙනවා. කාන්තාවන්ට සවිබලකරණය සඳහා අවශ්‍ය සූදානම සහ පුහුණුවක් නොමැතිවීම මෙයට හේතුවී ඇති බව පෙනීයනවා. මේ නිසා කාන්තාවන් බොහෝ විට ගෘහයට පමණක් සීමා වී සිටිනවා. මේ ආකාරයට බලන විට කාන්තාවන්ට සමාජය තුළ හිමි වී ඇති තත්ත්වය උසස් කිරීමේ සමාජ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ අනුව ඔවුනට සමාජය ඉදිරියට පැමිණීමට අවශ්‍ය දැනුම අපි ලබා දිය යුතුයි. ඔවුන්ගේ ආකල්ප වෙනස් කරමින් කුසලතා සංවර්ධනය කරමින් මේ සියල්ල සිදු කළ යුතුයි. ඒ වෙනුවෙන්ම අප දියත් කරනු ලබන විවිධ පාඨමාලා, වැඩසටහන් රැසක් අප ආයතනය ඔස්සේ ක්‍රියාවට නැගෙනවා. ඒ ඔස්සේ අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවත් අපි ලබා දෙනවා.කාන්තාවට අවැසි සියලුම දේශපාලනික, සාමාජීය, උපදේශනය, දැනුම්වත් භාවය ලබා දීම ඔස්සේ කාන්තාව නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට නිරන්තරව අපි කටුයුතු කරනවා.

බලය හා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඔබ ආයතනයෙන් අත්වැල් ලැබූ කාන්තා වන් සිටී ද?

මේ වන විට අපේ පාඨමාලාවන් හදාරා හා ප්‍රායෝගික පුහුණුව ලැබූ කාන්තාවන් ප්‍රාදේශිය හා පළාත් මට්ටමින් කාන්තා නියෝජිතයන් ලෙස කටයුතු කරනවා. මුලිකවම තම පවුලටත් පසුව ගමට රටටට සේවය කරමින් ඔවුන් සමාජ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා.

මෙම වැඩසටහන් හා පාඨමාලාවන්ට ලැබෙන කාන්තා දායකත්වය මොන වගේද?

මේ වන විට මේ සඳහා ඉල්ලුම වැඩි වී තිබෙනවා. සියයට 75 ක පමණ කාන්තා දායකත්වයක් තිබෙනවා. සිංහල කාන්තාවන්ට අමතරව දෙමළ මුස්ලිම් කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩිවී තිබෙනවා.

කාන්තා ගැටලු සඳහා මේ ආයතනය ඔස්සේ සිදු වන දායකත්වය මොන වගේද?

විවිධ ගැටලු ඇති කාන්තාවන් අපට හමුවෙනවා. අපේ පාඨමාලාවලින් දැනුම ලැබූ කාන්තාවන් ප්‍රාදේශීය මට්ටමෙන් මේ අය හඳුනාගෙන ඔවුනට අවශ්‍ය මනෝ සාමාජීය මැදිහත්වීමකින් යුතුව ඔවුනට අවශ්‍ය උපදේශනය හා විසඳුම් ලබා දෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ අකල්ප චින්තනය වෙනස් වීමකට ලක්කරමින් ඔවුන්ට යහපත් දිවිපෙවතක් අත්කර දීමයි අපේ උත්සාහය.

ජායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

Comments