‘අපරාධය හා දඬුවම’ ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීමක් ද? | සිළුමිණ

‘අපරාධය හා දඬුවම’ ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීමක් ද?

විශිෂ්ට රුසියානු ලේඛක ෆියදෝර් දොස්තයෙව්ස්කි එනමින් ලොව පතළ වූව ද ඔහු උපතින් ලද නාමය එය නොවේ. තියඩෝර් දොස්තයෙව්ස්කි (Theodore Dostoevsky) යන නමේ ‘Th’ යන්න ඔහුට උච්ඡාරණය කළ නොහැකි වීම එය ෆියදෝර් (Fyodor) යනුවෙන් ඔහු විසින් ම වෙනස් කිරීමට හේතු විණි.

දොස්තයෙව්ස්කිගේ පියා මොස්කව් රෝහලේ වෛද්‍යවරයෙකි. ඔහු දැඩි පුද්ගලයකු වූ අතර පිහිය ඇනුම් කා ජීවිතක්ෂයට පත් විය.‍ ඒ වනවිට ෆියදෝර්ගේ, වයස අවුරුදු 18 කි. දොස්තයෙව්ස්කි පවුල දැඩි ආගමික නැඹුරුවක් යන්න වූවකි. ඔහු ද එලෙසමය. ජීවිත කාලය පුරාම ඔහුගෙන් එම ආගමික නැඹුරුව ප්‍රකට විය. දොස්තයෙව්ස්කි විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු කෙරුණේ 13 හැවිරිදි වියේදී ය.‍ එතෙක් ඔහු ඉගෙනීම ලැබුවේ මව - පියා සහ පෞද්ගලික ගුරුවරුන්ගෙනි. ඔහු 15 හැවිරිදි වියේදී මවගේ අභාවය සිදු විය. ඔහු සිය යොවුන් වියට එළැඹෙන විට මව සහ පියා ජීවිතයෙන් සමුගෙන ගොසිනි. ඔහු ඉගෙන ගත්තේ හමුදා ඉංජිනේරුවකු වීමට වුව ද පාසල ඔහුට ප්‍රියජනක ස්ථානයක් නොවී ය. ඔහු ආදරය කළේ සාහිත්‍යයටයි. තරුණ දොස්තයෙව්ස්කි පොත - පත කියැවීමට බොහෝ රුචි විය. පාසල් අධ්‍යාපනය නිම කිරීමත් සමඟම ඔහු හමුදා ඉංජිනේරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹීය. එහෙත් ඔහු වඩාත් කැප වුණේ ලේඛනයටයි.

දොස්තයෙව්ස්කිගේ මුල්කාලීන නිර්මාණවලට පදනම් වූයේ අතිශයින් කටුක තත්ව යටතේ සිය ජීවිත ගත කරන දිළිඳු ජන කොටස් ය. ඔහුගේ පළමු නවකතාව Poor Folk රචනා කරන විට ඔහු 22 හැවිරිදි වියේ පසුවිය. වර්ෂ 1846 – 1849 කාලසීමාව තුළ එනම් ඔහුගේ දෙවන නවකතාව වූ The Double ට පසු රචනා වූ නිර්මාණ කෙරෙන් පළවූයේ ව්‍යාකූල මෙන් ම ඉලක්කයක් නැති බවකි. එම නිර්මාණ බොහෝ දුරට තිබුණේ පර්යේෂණ මට්ටමේ ය. මේ ගති ස්වභාවය ඔහුගේ ජීවිතයෙන් ද පිළිබිඹු විය.

දොස්තයෙව්ස්කිගේ වයස අවුරුදු 26 ක් වනවිට ඔහු රාජ්‍ය විරෝධී කණ්ඩායමක් වන ‘පෙට්‍ර‍ාසෙව්ස්කි කවයේ’ සාමාජිකයෙක් විය. මේ වරදට ඔහු අත්අඩංගුවට ගැනුණු අතර අට වසරක සිරදඬුවමක් ද නියම විය. ඉන් වසර 4 ක් සිර කූඩුව තුළට රැඳවූ ඔහු ඉතිරි වසර 4 සයිබීරියාවේ යුද කඳවුරකට යැවිණි. සිරදඬුවමේ 8 මසක් ගෙවී යන විට ඔහුට මරණ දඬුවම නියම කළ බව සඳහන් වුව ද එය හුදෙක් විහිළුවට කාරණයක් විය.‍ සිරකරුවකු ලෙස ගත කළ මෙම කාලස‍ීමාව ඔහුගේ ලේඛන කාර්යයට බලපෑම් සහගත වූ බව පෙනෙන්නට තිබේ. ෆියදෝර් දොස්තයෙව්ස්කි යනු විශ්ව සාහිත්‍යයේ හමුවන විශිෂ්ට මනෝචිකිත්සකයෙකි. විශේෂයෙන් යම් උන්මත්තකභාවයක් සහිත මෙන් ම අපරාධමය චර්යාවන් සහිත පුද්ගලයන්ගේ මානසිකත්වය ගැන ඔහුට තිබූ දැනුම ඇතැම් නිර්මාණවලින් පිළිබිඹු වේ.

දොස්තයෙව්ස්කි ලේඛන කාර්යයට අවතීර්ණ වූයේ ඉංජිනේරු වෘත්තියට සමුදීමටත් පෙර ය. ප්‍රංස බසින් වූ නිර්මාණ ඔහු රුසියානු බසට පරිවර්තනය කළේ ය.‍ සිය පළමු නවකතාව Poor Folk ලියන විට ඔහු 25 හැවිරිදි වියේ පසුවිණි. එය පළමු රුසියානු සමාජමය නවකතාව ලෙස පිළිගැනේ. සාංදෘෂ්ටිකවාදී නවකතා වශයෙන් හැඳින්විය හැකි නවකතා අතරට ගැනෙන පුරෝගාමී නිර්මාණ අතර ඔහුගේ Motes from Underground ද තිබේ.

මනා මානසික සෞඛ්‍යයකින් පසුවුව ද තරුණ වියේ පටන් ම දොස්තයෙව්ස්කි පසුවූයේ පිරිහුණු සෞඛ්‍යයෙන් යුතුව ය. ඔහු අපස්මාර රෝගයෙන් පීඩා වින්දේ ය. රෝගී තත්ත්වය කළමනාකරණය කරගැනීමට සමත් වුව ද මරණය තෙක් ම වරින් වර එය ඔහුට හිරිහැර කළේ ය.

දොස්තයෙව්ස්කිගේ ආභාසය විශිෂ්ට ලේඛකයන් ගණනාවකටම විශාල ලෙස බලපෑවේ ය. ෆ්‍රාන්ස් කෆ්කා ඔහු හැඳින්වූයේ ලේ ඥාතියකු වශයෙනි. කෆ්කාගේ නිර්මාණවල දොස්තයෙව්ස්කිගේ ආභාසය මනාව මතු වේ. අර්නස්ට් හෙමිං‍ග්වේ සහ ජේම්ස් ජොයිස් ද දොස්තයෙව්ස්කිගේ නිර්මාණ තමන්ට ආභාසයක් වූ බව සඳහන් කර තිබේ. ෆ්‍රෙඩ්රික් නීට්ෂේ සහ සිග්මන් ෆ්‍රොයිඩ් යන දාර්ශනිකයෙක් ඔහුගේ නිර්මාණ කෙරෙන් පළ වූ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය අගය කළහ.

ජීවිතයේ අග භාගය වනවිට ලේඛකයකු ලෙස ඔහුගේ කීර්තිය රුසියාවේ පමණක් නොව ඉන් පිටත ද පැතිරිණි. ඔහු නිතර බටහිර යුරෝපයේ චාරිකා කළේ ය. ප්‍රතිකාර ලබාගැනීමට ජර්මනියට ගොස් ආපසු පැමිණ සිටියදී දෙවන සාර් ඇලෙක්සැන්ඩර් රජුගෙන් ඉල්ලීමක් ලැබුණේ ඔහුගේ ඊළඟ නිර්මාණ ගැන පැහැදිලි කර ගැනීමට ය. රජු හමුවේ කළ එම පැහැදිලි කිරීමෙන් පසු රජු ඔහුගෙන් ඉල්ලා සිටියේ සිය පුත් කුමාරවරු දෙදෙනාට ඉගැන්වීමේ යෙදෙන ලෙස ය. ඒ ඔස්සේ රජු සහ ඔහු අතර මනා සබඳතාවක් ගොඩනැගිණි. මේ සමඟම ඔහුගේ යහළුවන් ගේ ලැයිස්තුව ද දීර්ඝ විය. මනෝවිද්‍යාව පිළිබඳ දොස්තයෙව්ස්කි තුළ තිබූ දැනුමට අමතරව ඔහු ගැන තවත් විශේෂ කාරණයක් වන්නේ ආගමත් සමඟ තිබු සම්බන්ධයයි. ඔහු දැඩි ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි භක්තිකයෙකි. මේ ආගමික නැඹුරුව ඔහුගේ නිර්මාණවලින් ද පළ වේ‍.

දොස්තයෙව්ස්කිගේ කෘතීන් අතර විශිෂ්ටතම හා වඩාත් ලෝ පතළ වූ නිර්මාණය වන්නේ ‘අපරාධය සහ දඬුවම’ ය. මේ කෘතිය පිළිබඳ අප්‍රකට කාරණයක් නම් මුලින් ඔය ක‍ෘති දෙකක් වශයෙන් එනම්, ‘අපරාධය’ සහ ‘දඬුවම’ යනුවෙන් පළ කිරීමට සැලසුම් කර තිබූ බව ය. අවසානයේ එය ප්‍රකාශයට පත්ව‍ූයේ එක් කෘතියක් වශයෙනි. මේ කෘතිය හරහා දොස්තයෙව්ස්කිගේ ජීවන අත්දැකීම් යම් ප්‍රමාණයකට හෝ පිළිබිඹු වන බව සැලකිය හැකි ය. දොස්තයෙව්ස්කි හා ඇනාගේ විවාහය සිදුවූ අලුත ඔහු ඇනා යම් ස්ථානයකට කැඳවාගෙන ගොස් තිබේ. එහි තිබූ ගලක් දෙසට අත දිගු කළ ඔහු තම, වඩාත් ප්‍රිය කළ මිනීමරුවා විසින් සොරා ගන්නා ලද දේවල් තැන්පත් කර ඇත්තේ එය යට බව පවසා ඇත. ‘අපරාධය සහ දඬුවම’ කෘතියේ මුල් පිටපතේ ස්ථාන නාම ආදිය දැක්වීමේදී ඒවා නිශ්චිතව හැඳින්වීමෙන් ඔහු වැළැකී ඇති බව පැහැදිලිවේ. මෙය ශාන්ත පීටස්බර්ග් නගරය පසුබිම් කරගනිමින් නිර්මාණය වීම ඊට හේතුවන්නට ඉඩ තිබේ.

‘කර්මසෝ සහෝදරයෝ’ නවකතාව ද දොස්තයෙව්ස්කිගේ කෘතීන් අතර ඇති විශිෂ්ට නිර්මාණයකි. සිග්මන් ‍ෙ‍‍ෆ්‍රායිඩ් එය හඳුන්වා දුන්නේ සදාතනික විශිෂ්ටතම කලාත්මක ප්‍රයත්නයක් වශයෙනි. මේ කෘතියේ අවසන් පරිච්ඡේද කිහිපය ඔහු සිය ප්‍රකාශකයා වෙත යොමු කළේ 1880 නොවැම්බර් 8 වැනිදා ය. ඉන් දෙමසකට පසු 1881 ජනවාරි 28 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේ රුසියානු සාහිත්‍යයේ හිණිපෙතටම නැඟි ලේඛකයකුව සිටියදී ය.

Comments