වර්ජන තර්ජන ගර්ජන මැද ජනජීවිතය | සිළුමිණ

වර්ජන තර්ජන ගර්ජන මැද ජනජීවිතය

 රට පුරා ඩෙංගු උවදුර පැතිරී ඇත. ඒ අතර තුර වෛද්‍යවරු වැඩ වර්ජනය කරති. විදී පුරා පිකටිං ය. තෙල් සංස්ථා සේවකයෝ ද වැඩ වැරුමට එක් වී සිටිති. වැඩ වර්ජන රැල්ලක් පිළිබඳ ව සමහරු පාරම්බාතී. මේ සියලු දේවලින් පීඩාවට පත් වන්නේ මහජනතාවය. මේ ඔවුන්ගේ අදහස්ය.

දුක් විඳින්නේ අපි - ටී . රවි - පෑලියගොඩ, ත්‍රීරෝද රථ රියදුරු.

වැඩවර්ජන කරන හේතුවක් අපි දන්නේ නැහැ. ඒත් දවස් තුනක් තිස්සේ අපියි දුක් විඳින්නේ.ඒත් මේ හැම වැඩවර්ජනයක් නිසාම පීඩාවට පත් වෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්සු. මම ත්‍රීවිල් එක හයර් කරලා ලැබෙන මුදලින් තමයි දරුවෝ හතර දෙනෙක් නඩත්තු කරන්නේ. තෙල් නැති නිසා මේ දවස් ටිකේම කීයක් හරි හොයා ගන්නත් බැරිවුණා. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සමහර දවසට ඉස්පිරිතාලෙට යනවා. සමහර දවස් වලට දොස්තරලා නැහැ. ගෙදර ඉඳලා කිලෝ මීටර් හතරක් විතර ආවා, තාම තෙල් සොයාගන්න බැරිවුණා. ‍සමහර තැන්වල පැය ගානක් පෝලිමේ ඉඳලා‍ තෙල් ඉවර වෙලා ගෙදර යන්න වෙනවා.

මෙහෙම වුණා ම අපි‍ වගේ දුප්පත් මිනිස්සුන්ට වෙන දේ ගැන කවුරුත් කල්පනා කරන්නේ නැහැ. දැන් ඉස්සර වගේ නෙමෙයි හයර් වැඩිය නැහැ නියමිත මිලක් නියම කරලා නිසා අපිට දුර ගමන් යන එකත් පාඩුයි‍. මේ දවස් ටිකේ අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න බැරිවුණා . කීයක් හරි හොයා ගන්න බැරි වුණ නිසා. අපි කියන්නේ ප්‍රශ්න තියනවා නම් ඒ දේවල් විසද ගන්න ඕන අහිංසක පොදු ජනතාව අමාරුවේ දාන්නේ නැතුව. කවුරු රට පාලනය කළත් මේ වගේ ස්ට්‍රයික් වලින් පීඩාවට පත් වෙන්නේ අපි වගේ එදිනෙදා කීයක් හරි හොයා ගන්න දුප්පත් මිනිස්සු.

ජීවත් වීමට අපහාසුයි. වසන්ත මායාදුන්න - වැලිවේරිය. සුළු ව්‍යාපාරික

දැන් මේ රටේ ස්ට්‍රයික් නොකරන්නේ සිගරට් අරක්කු කුඩු බොන්නේ නැති අය බොන්න නැහැ කියලයි, ස්ට්‍රයික් කරන්නේ නැති කෙනෙක් නැහැ. අපිට මේ කිසි දෙයක් අදාල වෙන්නේ නැහැ. ඒත් අපිටයි මේ හැම වැඩ වර්ජනයකම අවසන් ප්‍රතිපලය ලැබෙන්නේ. අපේ දරුවන්ටයි මේ දේවල් නිසා දුක් විඳින්න වෙන්නේ. දේශපාලඥයින්ටවත් බලධාරීන්ටවත් මේ කිසි දෙයක් දැනෙන්නේ නැහැ.

මම ග්‍රෑන්ඩ්පාස් දක්වා ආවේ වැලිවේලිරිය ඉඳලා එක ෂෙඩ් එකකවත් තෙල් ති‍බුණේ නැහැ. අපි පොඩි ව්‍යාපාරයක් කරනවා නිතර ගමන් බිමන් යන්න වෙනවා. ලොකු ආදායමක් නැහැ . ලැබෙන දෙයින් අපි ජිවත් වෙන්නේ මේ වගේ ස්ට්‍රයික් තිබුණාම අපි ජිවත් වෙන්නේ කොහොම ද? අපි ගැන කවුරුත් හිතන්නේ නැහැ.

ස්ට්‍රයික් මොකටද කියලා අපි දන්නේ - බාල සුබ්‍රමණියම් සිවරාම් - කොටහේන

මම පෙට්‍රල් ෂෙඩ් තුනකට විතර ගියා. මම කරන්නේ ගරාජ් එකක්. අපිට ලාම්පු තෙල් නිතර ඕන වෙනවා වාහන අලුත් වැඩියා කටයුතුවලට . තෙල් ටිකක් හොයා ගන්න මම පැයගණන් පෝලිමේ හිටියා.පෝලිමේ ඉඳලත් ගන්න බැරිවුණා ලාම්පුතෙල් ඉවර වුණා සමහර තැන්වල . හතරවෙනි වතාවට ග්‍රෑන්ඩ් පාස් ෂෙඩ්එකට ආවා. ගෙවල් වල වාහන තිබුණට තෙල් නැහැ. පෝලිමේ ඉඳලා තෙල් ගහගන්න පුලුවන් උ‍නේ බයිසිකලයට විතරයි. මේ ස්ට්‍රයික් කරන්නේ මොනවටද කියලා අපි දන්නෙත් නැහැ. අපිට දැනගන්න අවශ්‍ය නැහැ. ඒත් එදිනෙදා කීයක් හරි හොයා ගන්න මිනිස්සුන්ට පාරට බැස්සාම බස් ස්ට්‍රයික්. එහෙම නැත්නම් ඉස්පිරිතාලයකට ගියාම බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ.

අපිටයි ලොකුම අසාධාරණය වෙන්නේ - සුමිත් පතිරාජ - කැලණිය

අපි ආවේ කැලණියේ ඉඳලා. දවසම මහන්සිවෙලා ත්‍රිවිල් එක හයර් කරලා ලැබෙන මුදලින් තමයි ජීවත් වෙන්නේ. ත්‍රිවිල් එක මග නතර ‍වුණා. මම පයින් ආවා තෙල් ටිකක් ‍අරගෙන යන්න. ඒත් ප්‍රමාණයකට විතරයි දෙන්නේ. බලධාරීන්ට නෙමෙයි මේ දේවල් දැනෙන්නේ. මේ රටේ අපි වගේ පොඩි මිනිහාටයි. අපිටයි ලොකුම අසාධාරණය වෙන්නේ. මිනිස්සු ජීවත් වෙලා ඕන අනිත් හැම දේම කරන්න‍. අපේ ළමයිට ඉස්කෝලේ යන්න නැහැ.

අපි රස්සාව කරන්නේ කොහොමද? - ඩී.ප්‍රගදීපන් - නාවලපිටිය

මම වැඩකරන්නේ ජනතා ස්ටයිල් කියන පුද්ගලික ආයතනයක. දිනපතා බයිසිකලේ ෂිපින් ලයින් ගිහින් කන්ටේනර් කලෙක් කරනවා. පෙට්‍රල් ෂෙඩ් තුන හතරකට ම ගියා තිබුණ තෙල් ටිකත් ඉවර වුණා.තෙල් ඉවර වුනොත් රස්සාවකරගන්න බැරිවෙනවා. නාවලපිටියේ ඉඳලා කොළඹ පුද්ගලික ආයතනයක රුකියාවට ආවේ. අපි දවසම ඇවිදලා කළ යුතු රැකියාවක් කරන්නේ. තෙල් නැති වුණොත් අපිට අදාළ තැන්වලට යන්න බැහැ, එහෙම වුණාම අපිට ලැබෙන අතිකාල දීමනාවන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. වැඩවර්ජනය පවත්වන්න හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ මම හිතන්නේ කොයි වර්ජනය තිබ්බත් ඒක බලපාන්නේ පාලක පන්තියේ අයටවත් පෝසත් මිනිස්සුන්ටවත් නෙමෙයි මේ රටේ පොදු ජනතාවට.

දවසට ම හයර් එකක් නැහැ. -  පී චන්ද්‍රකුමාර් - ලොරිරථ රියදුරු පුස්සැල්ලාව

අද දවසට ම අපිට හයර් එකක් නැහැ . ලොකු වාහන වලට තෙල් ගහන්න පැය ගණන් පෝලිමේ ඉන්න වෙනවා. අපි පෝලිමේ පැය දෙකක් විතර හිටියා. හයර් එකක් ගියොත් තමයි අපිට කීයක් හරි ‍ලැබෙන්නේ. ඉස්පිරිතාලයකට ගියාම දොස්තරලා ස්ට්‍රයික් කියනවා. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ සමහර දවස් වලට බස් නැහැ. හැමදාම ස්ට්‍රයික්. අපි ජීවත් වෙන්නේ එදිනෙදා ලැබෙන මුදලින්. මේ රටේ කරන කිසිම ස්ට්‍රයික් එකක් ලොකු මිනිස්සුන්ට බලපාන්නේ නැහැ අපි වගේ අහිංසක මිනිස්සුන්ටයි මේ හැම දේම බලපාන්නේ‍‍. අපිටයි මහ මග දුක්විඳින්න වෙන්නේ.

රජය මැදිහත් විය යුතුයි - නීතිඥ සමන්ති රාජපක්ෂ‍ - කොලොන්නාව‍.

මා වෘත්තියෙන් නිතිඥ වරියක්. මගේ දරුවා ගන්න පාසලට යනවා. මම මේ ෂෙඩ් එකට ඇවිත් පැය බාගයක් විතර වෙනවා. ‍හැම ෂෙඩ් එකකම පෝලිම. සමහර ෂෙඩ්වල තෙල් නැහැ. මේ දිගින් දිගටම කරන වැඩවර්ජනවලින් අපහාසුතාවට පත් වෙන්නේ ජනතාව. ඒ නිසා අදාල වැඩවර්ජන නැවැත්වීමට රජය මැදිහත් විය යුතුයි. රජයක් තියෙන්නේ ජනතාවගේ ගැටලු විසදන්නයි. රජයේ විශේෂ අවධානය මේ සදහා යොමු විය යුතුයි.

අත්‍යවශ්‍ය සේවා කළයුතුයි. - එම් ටී ඒ ජිෆ්රි - මට්ටක්කුලිය ‍

තෙල්, වතුර, සෞඛ්‍ය, විදුලිය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරනවා නම් මේ ජනතාව පීඩාවට පත් කරන ස්ට්‍රයික් ඉබේම නවතීවි. මේ අත්‍යවශ්‍ය සේවා වල ස්ට්‍රයික් තහනමක් පනවනවා නම් ජනතාවට මේ තරම් පීඩාවක් වෙන්නේ නැහැ. අපි තමයි හැම පැත්තෙන්ම දුක් විඳින්නේ. මගේ ත්‍රිරෝද රථයේ තෙල් නැතුව මම කිලෝමීටරයක් විතර වාහනය තල්ලු කරගෙනයි මේ ෂෙඩ් එකට ආවේ. දරුවෝ පාසලට ගොස් සිටින්නේ දරුවන් ගන්න වේලාවත් පසු වෙලා. අපි පැය ගානක් පෝලිමේ. මේ වගේ වර්ජන වලින් මේ රටේ අහිංසක ජනතාව පීඩාවට පත් වෙන බව ඇයි මේ මිනිස්සු හිතන්නේ නැත්තේ‍.

සුභද්‍රා දේශප්‍රිය
ඡායාරූප - චමින්ද නිරෝෂණ 

Comments