භූමිකම්පා අනතුරක්! | සිළුමිණ

භූමිකම්පා අනතුරක්!

 භූවිද්‍යාව කොතරම් දියුණුවත් ලබා ඇතත් අප පය ගසා සිටින මේ පෘථිවිතලයේ පැල්මක් කුස්තුරයක් කවරදා කුමන වේලාවක ඇති වන්නේදැයි කිසිවකුටත් අනාවැකි පළ කළ නොහැකිය. පෘථිවියේ යම් කිසි චලනයක් ඇති වුවහොත් ඒ චලනයේ තත්ත්වය අනුව හානි අඩුවෙන් හෝ වැඩියෙන් සිදු වේ. කෙසේ වෙතත් මෑතක සිට අප රටේ භූමිකම්පා ශීඝ්‍රයෙන් ඇති වූ බව අප කවුරුත් දන්නා කරුණකි. සමහර ප්‍රදේශ භූචලන කලාප වශයෙන් නම් කර ඇත.

පෘථිවි අභ්‍යන්තර මෙන්ම පිටත නිර්මාණයේ සහ පැවැත්මේ ඇති තොරතුරු පිළිබඳ භූ විද්‍යාත්මක ගවේෂණයන්හි නියැළුණු භූවිද්‍යා විශේෂඥ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා ශ්‍රී ලංකා භූ තලයේ ඇති කුඩා සහ යෝධ පැළුම් කුස්තුර පිළිබඳ ගවේෂණ කරමින්, එයින් රටට වන හානිය පිළිබඳ මීට වසර ගණනාවකට පෙර හෙළි කළේය. ඒ පිළිබඳ වාර්තාද ඉදිරිපත් කර ඇත.

විතානගේ මහතාගේ පර්යේෂණවලින් සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ මැද සිට ඊසාන සහ නිරිත දිග දෙසට විහිදී ඇති යෝධ පැළුම් කුස්තුර තිස්පහක් පමණ තිබේ. කුඩා පැළුම් දහස් ගණනකි. මෙරට පිහිටි භූතලයේ අභ්‍යන්තරයේ ඇති පැළුම් අතරින් යෝධ හා දිගම පැල්ම ත්‍රිකුණාමල වරායෙන් ආරම්භ වී මහවැලි ගඟ දිගේ මහියංගණය, මොනරාගල, හපුතලේ සහ උඩවලවේ යන ප්‍රදේශ ඔස්සේ හම්බන්තොටින් මුහුදට විහිදී ගොස් ඇත. කඳුකර ප්‍රදේශ හරහා වයඹ, ගිනිකොන දිශාවට විහිදී ඇති පැළුම් 11ක් පමණ වේ. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට, නිල්දණ්ඩාහින්න සහ කටුගස්තොට, පිඟාඔය හරහා මහනුවර, ගලහ, නුවරඑළිය දිශාවට කිමී 40ක් පමණ දිගට කිමී 15ක් පමණ යටට‍ තවත් පැළුම් කුස්තුර 10ක් පමණ ඇත.

මේ අතර ඊසානදිග සිට නිරිතදිග දක්වා -එනම්: මීමුරේ, රංගල, තවලංතැන්න, පුස්සමඩ, කොත්මලේ, පූඬලුඔය, හැටන් හරහා සහ සමනොළ අඩවිය දක්වා- කිලෝමීටර සිය ගණනක් දිගට පැළුම් කුස්තුර විහිදී ගොස් ඇති බව මහාචාර්ය විතානගේ මහතා සොයාගෙන තිබේ. ලූල්කඳුර, රිකිල්ලගස්කඩ, නිල්දණ්ඩාහින්න යන ප්‍රදේශවල යෝධ පැළුම් කුස්තුර රාශියක් ඇති බවත් වික්ටෝරියා උතුරෙන් මිනිපේ අතර සහ නැඟෙනහිර බස්නාහිර කුස්තුර කලාපයක් ඇති බවත් ඔහු පෙන්වා දී ඇත. එමෙන්ම පදියපැලැල්ල සහ බෙලිහුල්ඔයද විශාල පැළුම් පෙන්නුම් කරයි. විශාල පැළුම් කුස්තුර ඇති ප්‍රදේශ වරින්වර අවුරුදු ගණනක් සිට තල්ලු වෙමින් පවතින බවද සොයාගෙන ඇත. මේ භූකාරක කුස්තුර කෙළින්ම ශ්‍රී ලංකාවේ ඉදි කර ඇති විශාල වේලි, විදුලි බලාගාර සහ කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශ ඉදිකර ඇති ස්ථාන තුළ ද පිහිටා තිබේ. ලෝකයේ ඉදි කර ඇති විශාල වේලි අතරට ගැනෙන වික්ටෝරියා වේල්ල හරහා විශාල පැල්මක් ඇදී යයි. කොත්මලේ වේල්ල ළඟින්ද පැල්මක් ඇදී යන අතර, වේල්ල ආශ්‍රිතව තවත් පැළුම් පහක් පිහිටා ඇත. මේ පැළුම් සක්‍රීය වුව හොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වේ. පැළුම් නිසා විශාල ජලාශ අවට භූමිකම්පා ඇති විය හැකිය.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් තවම නිසි පරිදි වෙන් වී නැති නිසා ඉන්දියාවේ සිදු වන භූමිකම්පා අපේ රටටත් බලපායි. ශ්‍රී ලංකාවේ ඇති විශාල පැළුම් නිසා සමනල වැව ජලාශයේ දකුණු ඉවුර දිගට ඇති වන කාන්දු වීම මේ පිළිබඳ හොඳම නිදර්ශනයකි. ඉවුරට කොපමණ සිමෙන්ති කැවුවත් එය වැසිය නොහැකිය. වලවේ ජලාශ පත්ල මුද්‍රා කිරීමේ යෝජනාවලියෙන්ද පලක් නොවේ.

උමග යනු භූවිද්‍යාත්මක ප්‍රශ්නයකි. උමඟක් ඉදි කිරීමට අවශ්‍ය මාර්ග නිර්දේශ කිරීමට භූවිද්‍යාත්මක උපදෙස් අවශ්‍යය. එසේ නොකළ හොත් උමඟ තුළට ජලය ගැලීම්, කුස්තුර නිසා ඇති විය හැකි හානිවලට මුහුණ දීමට සිදු වේ. පොල්ගොල්ල උමඟ ඉදි කිරීමේදී බදාම නොයෙදූ නිසා උඩ රැඳී ඇති ජලය බිංගය තුළට කාන්දු වීමෙන් උමඟ දිවෙන මාර්ගයෙහි ළිං සිඳී ගියේය. ඒ අවට උඩතලවින්න, පහළතලවින්න, දුනුවිල, පොල්ගොල්ල ප්‍රදේශවල උල්පත් සිඳී ගියේය. එම නිසා එම ප්‍රදේශවල ජනතාවට බීමට මෙන්න ගොවිතැන් සඳහා ද ජලය නැති විය. අද උමාඔයට අත් වී ඇත්තේ ද එවැනි ඉරණමකි. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිසා දහස් ගණන් ජනතාව පීඩාවට පත් වී සිටිති. උමං මාර්ග සහ වේලි ඉදිකිරීම් සඳහා ස්ථාන තෝරාගැනීමේදී භූවිද්‍යාත්මක කරුණු වැදගත් සේම පරිසරය පිළිබඳ බලපාන කරුණු ගැන භූවිද්‍යාඥයන් මෙන්ම ඉංජිනේරුවන් සැලකිලිමත් විය යුතුය. විද්‍යාත්මක බලපාන සාධක කොතරම් වුවත් ඒවා පරිසර විද්‍යාව අනුව ද කළ නොහැකිය. එනිසා ඉදිකිරීම් සඳහා කොතරම් සාර්ථක පෙදෙසක් වුවත් පරිසරය ආරක්ෂා කිරීම ගැන භූවිද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සැලකිලිමත් විය යුතුය. උමාඔය ඉදිකිරීම් කිරීමට පෙර නිසියාකාර භූරූපණ හා භූවිද්‍යාත්මක උපදෙස් ලබාගෙන නැති බව පෙනේ. එසේ නිසි සමීක්ෂණයක් කළා නම් මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වන්නේ නැත.

ශ්‍රී ලංකා භූ තලයේ කුඩා සහ යෝධ පැළුම් ඇතිවීමට හේතුව මීට වසර මිලියන ගණනකට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සියලු රටවල් එක ගොඩබිමක් වශයෙන් තිබී, මීට වසර මිලියන 200කට පමණ පෙර කුට්ටිවලට කැඩී ඒ-මේ අතට පාවී යෑමය. දක්ෂිණ ධ්‍රවැවයේ සිට කිමී 4000ක් පමණ ගිය විට අවුරුදු මිලියන 120කදී පමණ ගැඹුරු පැල්මක් ඇති වූ නිසා ඊසාන දිශාවට යන ගමන එක්වරම උතුරු දිශාවට පා විය. ඒ ගමනේදී ශ්‍රී ලංකා භූතලය සැතපුම් 200ක් පමණ පහළට වයඹ සහ ගිනිකොන දිශාවට පා විය. මෙහිදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව වෙන් වූ පැල්මට ගොන්ඩ්වානික් පැල්ම යනුවෙන් ව්‍යවහාර කෙරේ. මේ වෙන් වීම අදත් සිදු වෙමින් පවතී.

ආරියවංශ ජයවීර 

Comments