
දශක තුනකට වැඩි වනජීවි අත්දැකීම් සහිතව වෛද්‍ය නන්දන අතපත්තු යම් යම් උපදෙස් දුන්නද ඒවා නොපිළිගැනීමෙන් සමහරුන්ට අත්දකින්නට වන්නේ අපූරු දේවල්ය. ඒ ගැන ඔහු මතක් කළේ මෙසේය...
“දවසක් මගේ සේවාදායකයෙක් සුරතල් ඇල්සේෂන් පැටවුන් දෙන්නෙක් බෙහෙත් විදින්න ගෙනාවා. මට මේ පැටවුන් ගැන සැක හිතිලා මම කීවා මේ අය නම් ඇල්සේෂන් වෙන්න බෑ, කවුද දුන්නේ කියලා. ඒ කෙනා වැවිලි ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියෙක් නිසා තවත් වතු මහත්තයෙකුගෙන් සේවකයෙක් හොරකම් කළ බලු පැටවුන් දෙන්නෙක් අඩු මිලට මගේ සේවාදායකයාට ලැබුණු බව තමයි කීවේ. මගේ වචනය නොපිළිගෙන බලු පැටවුන් දෙන්නාට බෙහෙත් විදින්න කියලා මේ පුද්ගලයා බල කළා. මමත් ඉතින් ‘කීවා නාහන ගුරු නේ’ කියලා බෙහෙත් විද්දා. සති හයක් විතර මේ පැටවුන් ගෙනා මහත්මයා එක දවසක් පැටවුන් නැතිව මා හමු වෙන්න ආවා. මම ඇහුවා ‘කෝ අර පැටවුන් දෙන්නා?’ කියලා. එදා ඒ පැටවුන් දෙන්නා උදේ පාන්දර බුරනවා වෙනුවට හූ තියන්න පටන්ගෙන! මගේ වචනේ හරි ගියා කියලා දැන් මොකද කරන්නේ කියලා ඇහුවා. මම කීවා ඉතින් දැන් ලොකු නිසා කැලේට නිදහස් කරන්න කියලා.”
ඇල්සේෂන් සුනඛයන් මෙන් පෙනුම තිබුණද නරින්ගේ ‘හොක්කි හොයෑ හොයෑ’ හඬින් වෙනස හඳුනාගත හැකිය. එහෙත් උන් දෙවර්ගයම අයත් වන්නේ එකම විද්‍යාත්මක කුලයකටය.
“දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ‘නරි බෑනා’ වේදිකා නාට්‍යය නැරඹූ බොහෝ දෙනකු නරියා ‘සිඟාල’ ගෝත්‍රයට අයත් වූවකු ලෙස සලකනවා. ඒත් විද්‍යාත්මකව වෘකයා, වල් බල්ලා, හයිනා මෙන්ම නරියා යන සියලු දෙනා අයත් වන්නේ ‘කැනයින්’ (canine) ගෝත්‍රයටයි. අපේ රටේ සිටින කැනයින් සතුන් අතරින් වනචාරී වන්නේ නරියා විතරයි. ඒත් වනයේ මෙන්ම ගෘහාශ්‍රිතවත් නගරාසන්න ප්‍රදේශවලත් මේ සතා දකින්න පුළුවන්.”
වෛද්‍ය අතපත්තු පවසන්නේ ‘කපටි රජා’ ලෙස නම් දැරුවත් මිනිසුන් තරම් කපටි නැති නරියා ඥනවන්ත සතකු ලෙසයි. ඇල්සේෂන් බල්ලකු තරම් විශාල නොවුවද සාමාන්‍ය ගම් බල්ලකුට වඩා තරමක් වැඩුණු පෙනුමක් නරියා පෙන්වයි.
“අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ශරීරය පුරා පැතිරුණද කොඳු නාරටිය දෙපස පිටේ ලෝම කළු පැහැ තුඩකින් කෙළවර වෙනවා. මේ නිසා සමහරු හිතන්නේ නරියා කළුය කියායි. මුහුණ අළු පැහැ වුණත් තල්ල සුදුයි; උගුර සහ ළය ළා පාටයි; ඒ වගේම බඩ පැත්ත සුදුයි. හිස ගෙල සහ කඳේ දිගින් තුනෙන් එකක් පමණ දිග වල්ගයක් තිබෙනවා. ඒ වල්ගය ලෝම බූසියක් වගේ. හැබැයි බිය වුණොත් ඇරෙන්න පහළට යොමු වෙලයි තිබෙන්නේ්. තද කළු දිග රැවුල් කපටි පාට වැඩි කරනවා. බල්ලෙකුගේ වගේම ඉදිරි පාදවල නිය හතරකුත් පසු පාදවල නිය පහකුත් බැගින් පිහිටනවා.”
රාත්‍රී කාලය පුරා නරි හූ කීවට ගණන් නොගන්නා ගැමියන් ඉර පෑයූ පසු නරින්ගේ හඬට බය බව වෛද්‍යවරයාගේ අත්දැකීමයි.
“උදේ පාන්දර නරි හූ කියන එක මූසලයි කියලයි ගැමියන් කියන්නේ. නිවෙසින් පිට වෙද්දී නරියකු හූ කීවොත් ඒ ගමන මඳකට නතර කරන්න ගමේ අය මැළි වන්නේ නෑ. නරි රංචුවක් එක දිගටම හූ කියනවා නම් ගමේ ප්‍රභූවරයකුගේ මරණය සිදු වන බවත් ගැමියන් විශ්වාස කරනවා. ඒත් දඩයමට කැලේ රිංගන දඩයක්කරුවකුට නරියෙක් හදිගැහුණොත් දඩයම වරදින්නේ නෑ කියන නිසා අසුබ වගේම සුබ නිමිත්තක් බවටත් නරියා පත් වෙනවා.
“කන් ඇසීම ඉතාම තියුණුයි. ඊට වඩා ඇස් පේනවා. ඔය කෝකටත් වඩා තිබෙන්නේ හොඳ ඉවක්. නරියා අයිති සර්වභක්ෂක ගණයට. ඒත් කසළශෝධක ගණයටත් අයිති වෙනවා. මොකද, වෙනත් විලෝපිකයන් විසින් මරාදමනු ලැබූ දින ගණන් පරණ සතුන් වගේම පණගැහෙන සතුන් කන්නත් නරියා දක්ෂයි. හාවුන්, මුව පැටවුන්, මීමින්නන් වගේ සතුන් දඩයම් කරන්න පවුලේ සාමාජිකයන් එක්ක හෝ තනිවම යනවා. පඳුරු අස්සෙන් බඩ ගාගෙන ගිහින් එක පාරටම ගොදුරට පනිනවා. බොහෝ වෙලාවට මුව පොව්වන්, මීමින්නු පැටවුන් අල්ලන්නේ පෙකණිය වැටෙන්න කලින්. නරි පවුලේ සාමාජිකයන් දඩයමට මදි නම් වටින් පිටින් හදිසියට සොයාගන්න කුලී දඩයක්කාරයන් දෙතුන් දෙනෙකුත් වැඩේට හවුල් කරගන්නවා. දඩයම් කුලිය හැටියට ගොදුරෙන් ටිකක් කන්න පුළුවන්. රංචු පිටින් දඩයමේ යද්දී එක නරියෙක් පැටියාට ඔට්ටං අල්ලනවා. මුව අම්මාට අං නැතත් පැටියා බේරගන්න ඔළුවෙන් ඒ නරියාට අනිනනවා. ඒ අතර අනෙක් නරි පැටවා වටලනවා. හැබැයි මේ ආපදාවෙදි මුව රංචුවේ කිසිම සාමාජිකයෙක් මුව අම්මාගේ උදව්වට එන්නේ නෑ. ඒ අය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. හරියට සමහර මිනිස්සු වගේ. කුකුළු රංචුවක වුණත් එක කිකිළියක් තනිවන තුරු සිට අල්ලාගැනීමට තනියෙන් කුරුමානම් අල්ලන නරියා ක්ෂීරපායී දන්ත සැලැස්ම උදවු කරගෙන තනියෙන් කුකුළු මස් රස බලනවා.
“දඩයමට වගේම ශාක භක්ෂණයටත් නරි කෑදරයි. ගස්වල මල්, ගෙඩි, ඇටවර්ග ඉතාම සතුටින් මුන් කනවා. රණවරා මලක් දැක්කොත් ඉතුරු කරන්නේ නෑ. වනයේ ජලාශ්‍රිත ප්‍රදේශවල ඉදී කළු පැහැ ගැන්වුණු ඉඳි ඇට පිටින් ගිල දමන්නත් නරින් හපන්නු. ඒ ඇට නරි වසුරුවල දකින්න පුළුවන්.
“නරි දෙනකට තනපුඩු අටක් පිහිටනවා. ඒ වගේම පැටවුන් අටක් බිහි කරන්න වුණත් හැකියාව තිබෙනවා. ඒත් බොහෝ වෙලාවට නරි මවක් සමඟ දකින්නේ පැටවුන් තුන-හතරක් පමණයි. උන් අම්මාට වඩා ළා පාටයි. හරිම හුරතල්. ඒත් නරියා කියන්නේ පිස්සුබලු රෝග වාහකයෙක් නිසා එංගලන්තය වැනි රටවල් මුන් සමූල ඝාතනය කරදැම්මා. අපේ ගම්මානවල වුණත් මේ ගැන බයක් තියෙනවා. දිඹුලාග ප්‍ර ෙද්ශයේ වැව් පිටියක වැටී සිටිය මුව දෙනකගේ මසට වග කියන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. හේතුව ඒ දවස්වල ඒ පැත්තේ පිස්සු නරියෙක් හිටි බවට තිබුණු සැකය. ගංගෙවල්වල දඩෝරියන් නරි පස්සේ පන්නන හින්දා ඒක වෙන්න පුළුවන් සිද්ධියක්. ඒ නරියා කටගැහුවද කියන සැකේටයි මුලින් මුව දෙන මිනිස්සු අතෑරියේ. ඒත් පිස්සු නරියාගේ බලය කොච්චරද කීවොත්, මාස ගණනක් යන කල්ම මුව මස් නොකන්න ඒ ගමේ අය වගබලාගත්තා.”
සතුන් ගැන ඔබේ අත්දැකීම් අපට එවන්න.
අරුණි
[email protected]