මම රාත්‍රී වැඩ මුරය අවසන් කළ විගසම විනාඩි පහළොවක විවේකයක් පිණිස විවේකාගාරය වෙත ආවෙමි. හිතට මෙන්ම ගතට ඇති වූ වෙනස වචනයෙන් කිව නොහැකිය. එය කිසිවකුට විස්තර කළ නොහැකිය. රෝගීන් සමඟ ගත වන හෝරා කීපය පහසු නොවීය. රැකියාවට ඇති ලැදියාව නිසාම හෙදි වෘත්තියට පැමිණි නමුත් එහි නිරත වීමේදී මා ලද තෘප්තියක් නොමැති තරම්ය. අසරණ වූ රෝගියකුගේ කායික මානසික තත්ත්වය මට නොවැටුණා නොවේ. එහෙත් මම ඔවුන් ශක්තිමත් කිරීමට අපොහොසත් වුණෙමි. ඒ මගේ හිතේ තිබුණ වේදනාව නිසාය. මා ලන්ඩන් ශිෂ්‍යත්වයට ගොස් නැවත ලංකාවට පැමිණියේ පසුගිය දොළොස්වෙනිදාය. ඒ එනවිට සියල්ල වෙනස් වී තිබුණි. මගේ මුණ බලා කතා කිරීමට තරම් යාළුවෙක් නොසිටියේය. ඒ හැම දෙනාම විවිධාකාරයේ වෙනස් වීම් වලට බඳුන් වී සිටියේ පැහැදිලි හේතුවක් නැතිවයි. මම බොහෝදෙනා සමඟ සුහද වීමට උත්සාහ කළෙමි. එහෙත් එය නිරර්ථක විය.
විවේකාගාරයේ තනි වූ අවස්ථාවල මම ඇඬුවෙමි. මේ වෙනස්වීමට හේතුව කුමක්දැයි කල්පනා කළෙමි. එහෙත් මට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මම ඔවුන්ට වරදක් නොකළෙමි. ඔවුහු ද මට වරදක් නොකළහ. එහෙත් මේ වෙනස්වීම කුමක් නිසා ඇති වුණි ද යන්න මට සිතා ගත නොහැකිය.
‘‘අනුත්තරා ඔයාට දහවල් ඩියුටියක් දාලා තියෙන්නේ.‘‘
ලොකු මිසී විවේකාගාරයට එඹෙමින් කීවාය.
‘‘ඒත් දැන් මං ඕෆ්‘‘
ඒක මං දන්නේ නෑ. ඔයා තමයි ඊළඟ ඩියුටි එකටත් දාලා තියෙන්නේ.
දෙවියනේ මං අද ආත්තම්මා බලන්න යන දවස. එයාගේ වැඩ ටික මගේ අතින් කරනවා කියලා මං පොරොන්දු වෙලා තියෙන දවස. මං නර්ස් කෙනෙක් වුණේ ආත්තම්මාගේ ආශාවට. ඒත් දැන් ආත්තම්මට සාත්තු කරන්න යන්න බැරිවෙනවා. මම මොහොතක් කල්පනා කළෙමි.
‘‘මොකද ඒ පාර හිතන්නේ? ඔයාට ඉන්නම වෙනවා.‘‘
ඊළඟ ස්වරය තරමක් තර්ජණාත්මකය. එය ඉල්ලීමකට වඩා ගර්ජනාවකි. මම ඇය දෙස හැරී බැලුවෙමි.
“මීසී තවත් මිසීලා ඉන්නවා. ඇයි මටම ඩියුටි දාන්නේ. මං නයිට් දෙකක් කරලා ඉන්නේ. ඇත්තටම අපි මානසික සෞඛ්‍ය ගැන කතා කරනවා. මිනිස්සුන්ට සතුටින් ඉන්න කියලා දෙනවා. ඒත් ඇයි අපේ මානසික සෞඛ්‍ය ගැන හිතන්නෙ නැත්තෙ?‘‘
මගේ ස්වරය තරමක් වේගවත් විය. මගේ කතාවෙන් මිසී ආයිත් යන්නට හැරුණාය.
“මං හිතන්නේ නයිටිංග්ර්ල් ආඥාව අනුත්තරාට අමතක වෙලා කියලා.‘‘
ඇගේ ස්වරයේ කෝපය පිරී තිබුණි.
මගේ හදවත ගැස්සුණි.
මම කුඩා කාලයේ නයිටිංග්ර්ල්ට කැමැත්තක් දැක්වුවෙමි. ඇය වෙදකම් හෙදකම් කළේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒත් ඇය වැන්නෝ අද ඉන්නවා ද යන්න මට ප්‍රශ්නයකි. යුද්ධයෙන් තුවාල වූ සෙබළුන්ට සේවය කරන්නට මහ රෑ පවා ඇය අවදියෙන් සිටි බව මට අත්තම්මා කියා දී තිබුණි. බොහෝ නිවාඩු දිනවල මම ගෙදර පැමිණි පසු අත්තම්මා බැලීමට ගියෙමි. එවිට අත්තම්මා මගේ අත අල්ලාගෙන මගේ නයිටිංගේල් ආවා ද කියලා ඇහුවාම මගේ සිතට දැනුණ සතුට නිම්හිම් නැති විය. නයිටිංගේල්ගැන එබඳු බැඳීමක් මා කෙරෙහි ඇති වූයේ අත්තම්මා නිසාය. ඒත් මට අත්තම්මා බැලීමට යාමට නොහැකිය.
මොකද අනුත්තරා කියන්නේ? ඔයා අද ඩියුටි එක බාර ගන්නවාද?
හා... හා...
මම වේගවත් ස්වරයෙන් කීවෙමි. මම අවසානයේ දහවල් සේවා කාලයද බාරගතිමි. අත්තම්මා බැලීමට යාමට යාම ප්‍රමාද කිරීමට මට සිදුවිය. මෙවරද ඇයගේ බලාපොරොත්තු බිඳ දැමීමට මගේ සේවය හේතුවිය.මම බොහෝ වේලාවක් ඇඬුවෙමි. මගේ දෑස රතු වී ඉදිමෙන්න තරම් විය. අනෙකකු දකීවි යන බිය නිසා මම ඉක්මනින්ම කඳුළු පිසදා ගත්තෙමි. මේ මානසික රෝගීන්ගේ මනස සුවපත් කිරීමට සිටින මගේ මනස සුවපත් නැත. අධිකාරීත්වය විසින් මගේ සිත පොඩි කර දමා ඇත. මිනිසුන්ගේ මනස සුවපත් කිරීමට වැඩමුළු පවත්වන මොවුන්ට තම අසල්වැසි මිතුරියගේ දුක වේදනාව අවශ්‍යතා තේරුම් ගැනීමට නොහැකිය. සියල්ල අභිබවා වෛරය හිස ඔසවා ඇත. එකිනෙකාගේ මිනිසත්කම් තරගය බිලිගෙන ඇත.
මම විවේකාගාරයෙන් නික්ම යාමට සූදානම් වුණෙමි.
‘‘අනේ මිසී මට ගෙදර යන්න ඕනේ‘‘
රෝගියෙක් කෑගසයි.
මම ඇය දෙස කරුණාවෙන් බැලුවෙමි.
මේ වෙලාවේ ගෙදර යන්න බැහැනේ. ඔයාව බලන්න අම්මා එනවා ඇති.
අනේ නෑ මට කවුරුත් නෑ. මාව තේරුම් ගන්න කාටවත් බෑ. මිසීට බැරිද මාව තේරුම් ගන්න.
මගේ දෑස කඳුළින් පිරී ගියේය.
ඇයි මිසී මාව තේරුම් ගන්න මිසීට අමාරුද? මිසී හිතන්නේ මාත් මේ ගණන් වල වර්ගජ සමීකරණයක් කියලාද?
ටිකක් අමාරුයි මිසී මං නම් සරල නැහැ. හැබැයි මං සරල සමීකරණවලට කැමැතිම නැහැ. මං කැමැති
අමාරුවෙන් විසඳගන්න පුළුවන් දේවල්වලට. මිසී දන්නවද අන්න ඒ හින්දා තමයි මට මෙහෙ එන්න වුණේ. කවුරුත් කැමැති නෑ මිසී මට. ඒක නෙවෙයි මිසී, අපි මිනිස්සුන්ගේ ඇජැන්ඩාවලට කැමැති නැති වුණාම අපි නිකංම පිස්සෝ වෙනවා. ඒත් මිසී ඒ අය අපට වඩා පිස්සො මිසී.....පිස්සො මිසී.
ඇය මහහඬින් සිනාසුණාය.
මිසී මාව තේරුම් ගන්න ඇය නැවැතත් කීවාය.
‘‘අනේ දෙවියනේ මං කොහොමද කියන්නේ මාව තේරුම් ගන්නත් අනිත් අයට බෑ කියලා‘‘