කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

රන් එතනා

පුන් සඳ නැඟ එද්දී පෙර අඹරට
හැන්දෑ නල­වැල් දොර සොල­වන විට
තැන්පත් මත­කය පිබිදී සිත යට
රන් එතනා කැඳ­වා­ලයි මසිතට

නෙත් බිඟු කැන් දිව එන වත කම­ලට
කන්කලු ගී හඬ දෙන සිත් තැවු­ලට
සිත්ගත් බස උප­දන තොල්පෙති යට
පුන්සඳ පරදී ඇ‍ගෙ මුව මඬ­ලට

ගෙන් ගෙට නොය­වන තම ගෙයි ගින්දර
ගන්නට පොහො­සත් යහ ගුණ ළංකර
ගම්මා­නය කර­වා­ලන සුන්දර
රන් එතනා යුව­ති­ය­කිය සංවර

පන්සිල් සුර­කින තම පණ වාගේ
පෙම්බර හස­රැළි පුර­වන මූණේ
පින්බර ගති­යක් රැඳි දිවි යානේ
රන් එතනා ආඩ­ම්බර නෑ නේ

එච්.එම්. ගුණ­ව­ර්ධන


 මිරි­ඟුව

දුර ගම­නක් ගිහින්
එන විට මෙමා විග­සින්
මගේ මේ දෑසින්
දුටිමි ‘මිරි­ඟුව’ අනේ හැබැ­හින්

ලියූ නෙක රචනා
ආල­ව­ට්ටම් බොහොමා
අග­මුල ගැළ­පෙනා
ලෙසින් තැනු­වෙමි වැකිත් සොඳිනා...

පොත-පත ද හර-බර ව‍‍ූ
දිවා රෑ වෙහෙස වී කියවූ
අරුත හිස රැඳවූ
වද­න­කිය ‘මිරි­ඟුව’ ය නම් වූ...

ළමා විය එළ­ඹුණු
යොවුන් විය එක සේ ම ගෙවුණු
අදත් මේ විය­පත් ව ගෙවුණු
ගෙවූ මුත් හැබැ­වින් ම නොදුටු...

පසක් කොට මුළු දිවිය ම
අනේ අද හැබැ­වින් ම දුටුව
කියා දෙනු මැනව
මෙය ද ලෝකය රැවටූ ‘මිරි­ඟුව’...

සුසිලා ගොඩ­කන්ද ආර­ච්චිගේ


යන්නට ටික දොහ­කට පෙර

හිරු එළි­යෙහි දිගැර කුල ගෙහි මතක පොත
පිටු පෙර­ළනු නොහැකි අතැ­ඟි­ලි­වල වෙවු­ලුම්
දෙඇ­සෙහි අඳුරු කුටි­වල ගැඹු­රට කිමිදී
මැල­වුණු හිනා­වට දෙකො­පුල ඉඩ නොදුනී

මුදු­නත සැහැසි හිරු විය­ළුණු සිරුර පුරා
හැඩ තල රටා රේකා කැට­යම් ඔප ලා
සිතු­වම් අඳී ජීවන සෙල්ලි­පිය දිගේ
කිය­වා­ගනු කෙලෙස, හිත හැඬු­මට බරය
මහ තුරු මුදුන් මිය යන පත් බිමට දමා
සන් කළ වෙලා­වෙහි “ගෙයි කවු­රුද ඉන්නේ?”

සැර­යටි වාරු­වෙන් ගාටන ඉබි ගමන
හ්ම් සද්ද­යක් වත් නොනැ­ඟුව එකය දුක
සායම් පාට ගණ­නා­වක් එකතු වෙලා
හද තුළ උපන් නොම දුටු ලොව පසු කරලා
දෙන්නට පැට­වු­නට ලේ කිරි කළ පපුව
ඉව­සන ඉව­සීම මුනි­වර ඉව­සී­මයි

සුද මුසු මේකු­ළක පැහැ තර­ගෙට තවරා
හැර යන අක් බමර කෙහෙ රහ­සෙම උදුරා
නව­තින තැන තිර­ව්වක් නැති බව නොදැන
කොහො­මද කව­දාද කාලය පියෑ­ඹුවේ
කවු‍ළුවෙ පිය­න­කට ඇන ඇන තුරුළු වෙන
සුළ­ඟට නොබැන ඈතින් එන සෙත් පිරිත
අත­කින් මුවා කර­මින් අසන සඳ

තරු­වක් දෙකක් දිලි­සෙයි පර­ලොව අහසේ
බිත්තියෙ මකුළු දැල් විය­මන අතර රැඳී
කාවුන් කා දැමූ මංගල පින්තූරේ
තව­මත් තිබෙන රඟ නෙතු අද­හනු බැරිව
නිහ­ඬව හඬන හඬ සුසු­මක උපත විය

හිටි හිටි ගමන් නොකි­යම වෙන් වෙලා ගිය
හත් මුතු පර­පුරේ උන් මහ­පො­ළොව යට
සැන­සිල්ලේ නිදන විත්තිය සිහි­පත්ව
ඉප­දුණ සුසුම එහෙ­මම ගිල ගත්තාය

ජය­සිරි රුව­න්ප­ති­රණ


ඉතිං... යන්න...

සඳ ම ඉල්ලා තැවෙන
සිත කතා කර­නවා
තරු­ව­කින් සැන­සෙන්න
බැරි ඇයි ද අස­නවා
දුක ම සනහා වැටෙන
කඳුළු බිඳු රව­නවා
සිනා මල් පූදින්න
දෙතොල මඟ බල­නවා...

සුසු­ම­ටම පණ ගැහෙන
ජීවි­තය යදි­නවා
හීන මත්තේ මියෙන
මතක පොත වැහෙ­නවා
සද­හ­ටම ඔබ යන්න
හද දොරටු අරි­නවා...

දර්ශනී පෙරේරා


ආද­රෙයි රූබ­රිට

හංස සුද පැහැර ගෙන
නෙළු‍ෙම රත තවර ගෙන
තරු සිසිල උදුර ගෙන
මිණි කැළුම් නෙතිනි ගෙන

සකුණ මියැ­සිය අසා
නුඹෙ හඬින් එය නසා
දඹ පලය පලු ගසා
ලවන් මත - නැත මුසා!

කිඳු­රි­යක ගේ ඉඟට
අව­ම­නකි සිහි - නිඟට
පරෙවි පා තර - ගයට
එනු කොහිද ඇගෙ පයට!

මුදු ගෙලෙහි හැඩ රැගෙන
දිලෙයි මුක්තා - බරණ
දසුන් පෙළ නැගි කිරණ
මුතු දිමුතු පැර - දැවින!

කෙවි­ලි­යක ගේ සරය
හැඩ කළා රස ස් - වරය
රූබ­රි‍ ගෙ ආ - දරය
අය­දි­මින් අඬ - හැරය!

සරත් කුමාර වික්‍ර­මගේ


තහ­නම් පෙම

ඉස්සර දව­සක
සඳ රාජි­නි­යක්
යුග දිවි අර­ණට
රහ­සින් ආවා...

ඉන් පසු හැම දින
ඒ සඳ කුමරී
මගෙ හද අඹරේ
පායා දිලුණා...

කාලය වියැකී
යුග දිවි අරණේ
පුංචි පුංචි මල්
කැකුළු පිබි­දුණා...

ඒ බව දැකලා
මගෙ සඳ කුමරී
දිනෙන් දින මගෙන්
ඈතට ඇදුණා...

යුග දිවි අරණේ
නොවි­ඳපු සුව­යක්
සඳ කුම­රියෙ ඔබ
මා වෙත දුන් බව
කියා­ගන්න අද
ඔබ මා ළඟ නැත
හද සන්තානේ
හඬා වැටෙ­නවා

ජගත් පාගොඩ ආරච්චි


ආද­රය නොව­න්නට තිබ්බා මම

මෘදු මොළොක්
කෙනෙක් නොවීය නුඹ
කෙදි­න­ක­වත්
කනට කෙඳි­රිය යුතුව තිබූ ප්‍රේමය
ඔබ කළේ
මා හදෙහි දොරට තබා
ඇණ ගසා යන එකය..

ආපසු හැරී නොබ­ලයි ඔබ
මගෙන් සමු ගෙන
දුරට යන තුරුම,
බොඳව යන තුරුම
ඔබේ රුව බලා හිඳ
ආපසු හැරුණු විට මා
ගෙල පිටු­ප­සට දැනෙයි
ඔබේ රත් වූ බැල්ම
මඳ සිනා­වක් නැගෙයි මට එවිට...

බැළ­ලි­යක මෙන්
ආඩ­ම්බ­ර­කා­රි­යකි ඔබ
මා කියන කිසි­වක්
තඹේ­කට මායිම් නොක­රන,
එන­මුදු එසේ නොවිණි නම්
ඔබට මෙත­රම්ම
ආද­රය නොව­න්නට තිබ්බා මම

තරින්ද්‍ර ගල­හේන


මගෙ ලක් බිමට ඔබ සුව­ඳයි...

දෙස­වන් සන­ස­වන ඉමි­හිරි කට­හ­ඬිය
හද සිත පුබුදු කල රස­කවි සිතු­වි­ලිය
භව­ත­ර­ණ­යට ඔබ නික්මිය නිස­ස­ලය
දෙව්ලොව ඔබෙන් සැන­සෙන වග පැහැ­දි­ලිය

ඔබ සතු පියා­ගෙන් ලද කවි කලාව
ඔපවී දිලී පැතු­රුණි සිවු දිසාව
සමු­ගත් ඔබව සඟ­වපු වැලි තලාව
මා සතු කලා දලු ලන කවි ලතාව

මෝරන වෙසක් සඳ දැක දැක සුව නින්දේ
මිහි­දන් කරනු දැනි­ලයි මම ඉකි බින්දේ
ඔබෙ දහ­දි­යෙන් පස සරු­වුණ බට ලන්දේ
සාගිනි නිවපු කරු­ණට නිර­තුරු සිත්දේ

උරදී රැකි­යාව රජයේ සේව­යට
හැකි හැම විට ම ඔබ යොමු­විය ගොවි තැනට
පල­තුරු, අල බතල එළ­වළු කොර­ටු­වට
රජ­කම ඔබට හිමි­විය පල­දැරු පිනට

මා පිය­තු­මා­ණෙනි පිය­සෙන් පනා­වල
සව­නට ඇසෙයි කවි මුව­ඟින් මුදා­හළ
රට දැය පෙරට ගෙන කළ කවි කථා­වල
මගෙ ලක් බිමට ඔබ සුව­ඳයි සදා­කල

භව තර­ණ­යෙදි ඔබ යන මඟ කෙටි වේවා
දස කුස­ල­යෙන් පිරි­පුන් අය හමු­වේවා
ඔබ යන මගෙහි පල­බර තුරු බිහි වේවා
නුදු­රුම දිනක ඔබ නිව­නින් සැන­සේවා

චම්පා සුද­ර්ශනී පනා­වල


කළු­වර නංච­ක්කුව

නිමිත්ත
නිවෙස බිඳ ලූ සොරුන් රැගෙන ගිය භාණ්ඩ අතර, කළු­වර ලීයෙන් නිම කළ, ආත්මා­ර­ක්ෂක සටන් කලාවේ භාවිත වන උප­ක­ර­ණ­යක් වූ නංච­ක්කුව ද විය.

පවන් වේගය පැතිරූ
රුපුන් වෙව්ලූ රුදුරු
සටන් බිම එඩි වැපිරූ
ඉඳින් අහි­මිය මිතුරූ
නුවන් පියනා නුවරූ
රකි­න්නට සිටි පවුරු
ගමන් සග­යෙකි සොඳුරු
නිතින් නොපැ­තුව ඉසුරු
ගෙදර බිඳ ලූ සොරු
පැහැ­ර­ගෙන ගිය අයුරු
තැනක සිර විද නුහුරු
දිනක හම‍ු වෙමුද නුදුරු?

තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ


 ලොව දිනන රන් බිම

නිද­හසේ පිපි මල්
දස අතේ සුවඳ දෙයි
හෙට දිනේ කැකුළු මල්
රට දැයම බබ­ළ­වයි....

රොද බැඳන් එක් වෙමු
පවුරු බිඳ දා ජය ගමු
තුන් හෙළය බබ­ළ­වන
දස අතම පතු­රු­වන...

කහල නාදය ජය­ගොසේ
එක්ව විඳ ගමු තු‍ටු ලෙසේ
විරු­වනේ හෙළ විරු­වනේ
නුඹ සුරැකි මේ පින් බිම
දහ­දියේ පැන් ඉස
පුබු­දු­වමු ලොව දිනන රන් බිම

අනුර පණ්ඩු­කා­භය බාල­සූ­රිය


හිම දෙව­ඟන

නයන ප්‍රමු­දිත සුවය කැන්දා සුව­හ­සක් සිරි පැහැ­සරා
යනෙන දන මන එහිම රන්දා සිහිල් සුවදී ගත පුරා
ගයන මියු­රස කොහිද මන්දා - යුග සවන් පිරි අම­යුරා
රාව ප්‍රති­රා­ව­යන් රන්දා - රඟයි කොම­ළිය නය­ගරා

දෙනෙත අද­හනු නොහේ රූ සිරි වරුණ අබි­මුව රඟන්නේ
දිලෙන දිය­රැළි නගන මද­හස මියුරු සර­යකි ගෙනෙන්නේ
සැලෙන සියු­මැලි සිනිදු සුදු මුතු තලා­වක් වී දිලෙන්නේ
මැවෙන සුන්දර දසුන අත­හැර කෙලෙස පිය­වර නගන්නේ

ලොවේ මෙත­රම් සොඳුරු දසු­නක් ඇතැයි සිත­නට නොහැකි මය
සැලේ මසි­තෙහි ‍සදාක­ල්හිම වස­ඟ­යට පත් සොඳුරු යාමය
මලේ පෙම්බැඳි බමර කැලයේ දනන් මන බැඳි සුර කුම­රිය
දිලේ නිර­තුරු හදේ සැඟ­වුණු නය­ගරා ‍නම් දේව දූතිය

කුසුමා වර්ණ­සූ­රිය


නිවන

දියඹ ක්ෂිති­ජය සොයන ජීවන
මඟක දිව යන සසර ගම­නක
නතර වන සඳ නිතර දුටු­වෙමි
වෙරළ ඉම හද ගැහෙන රාවය
එකකු කර­ගත් කුටු­ම්බ­ය­ටම

පුර­ව­මින් හද කෙලෙස් මල් වැල
නව­ගු­ණය ඇට වැලක් නිත­රම
සුමුදු පහ­සින් සත­ප­වයි සිහිනේ
සසර නෞකා ගමන කෙළ­වර
බරක් නොදැ­නෙන හිතක මුනි­වත

අත්හ­රින දෙය රසය ලැබ­දෙන
සොඳුරු ජීවන තපෝ වන භවනේ
ගමනෙ කෙළ­වර සොයන නෙතු දැහැනේ
පවන රැ‍ඳෙමින් හමා යන සඳ
රික්ත­කය තුළ පටි­සෝ­ත­ගාමි
නිවන පම­ණකි එකම එක සිහිනේ

නලිනි ජයන්ති


රයි­ප­ල­යට

තවත් පතු­රො­මක්
ඔබමි
මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇස­කින් බලමි...

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට
වෘක­යන් ද සරණ බිමට
පෙම්ප­තක් යවනු ඵල වෙද...

කැක්කුම දෙන ලය­කට
රයි­ප­ලය බර නොවේ
කොළ­යත් පෑනත් තබා
‍ස‍ඳෙන් බැස එමි...

මල් පිපෙන බිම­කට
වෘක පා සට­හන් කුම­කට...

“කුමක් කළේ ද ඔබ
දෙවි­යන් ලොව සාවුන් මැවුයේ
වෘක­යන් සම­ඟින් වස­න්නට නොවේද?
ලොව සුන්ද­ර­ත්වය එය ම නොවේද?

ලාල් හෑගොඩ


 එතෙර කවිය

වැසුණු දොර­වල්
Closed Doors

වැසුණු දොර­වල්,
වෙසෙ­සින් ම මුරිච්චි ඇණ යොදා
වසා ඇති කල
පිළි­කෙව් කරනු කිම? - අන් තැන­කට යෑම
තට්ටු කර­මින් ඉනුයෙ කුමට? ඒ දොරට ම
රැඳී ඇති සේ ඔබේ ඊළඟ හුස්ම
පිළි­තුරු දෙන කෙනකු මත
දොර හරින කෙනකු මත...

හේතු­ව­කට ය එය වැසී තිබෙ­නුයේ,
එදොර පිටු­පස නොවනු ඇති
ඔබේ ඉර­ණම රැ‍ඳෙනුයේ...

නව­තන්න තට්ටු කිරීම
නව­තන්න ඇතු­ළට යනුව වැර යෙදුම
වෙනස මනාය
විටෙක අති­අ­වැ­සිය...

යන්න නොනැ­වතී,
සොය­නුව ලොවෙහි ඔබේ තැන....

විල්මා නීල්ස් - දකුණු අප්‍රි­කාව

කිවි­ඳිය අද­හස් කරන්නේ ජීවන ගම­නේදී හෝ ඒ තුළම යෙදෙන අනු­ෂාං­ශික අභි­යෝ­ග­ය­කදී හෝ හමු වන වැසුණු දොර­වල් සේ පෙනේ. එහිදී, එක් ඉල­ක්ක­යක, එක් අභි­ලා­ෂ­යක, එක් අපේ­ක්ෂා­වක පම­ණක් නොඇලී විකල්ප මාර්ග උරගා බැලිය යුතුය යන්න කිවි­ඳි­යගේ දැක්ම බව නිර්මා­ණ­යෙන් ගම්‍ය වේ. යම් දොරක් වැසී ඇත් නම් ඊට හේතු­වක් ඇතැයි ද, වෙන­සක් ඇතැම් තැනක අත්‍ය­වශ්‍ය වෙතැයි ද කීම තියුණු කාව්‍යා­ත්මක අද­හස් දෙකකි.
විල්මා නීල්ස්, දකුණු අප්‍රි­කාවේ කේප්ට­වුන් නග­රයේ ඉපිද, දැන­ටත් එහි ම වෙසෙන, සුදු ජාතික නූතන කිවි­ඳි­යකි. දෙසැ­ම්බර් 25 දා තම උප­න්දි­නය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍ය­ලං­කාර, විස්ම­යා­හ­වාහ Table Mountain කන්ද, ඇගේ උදා නැර­ඹුම් ඉල­ක්ක­ය­න්ගෙන් එකක් බව පව­ස­න්නීය. “Whispers From my Soul” ඇය 2012 දී පළ කළ පැදි සර­ණි­යයි.

දේ. වි. ගාල්ලගේ

 

Comments