'ඕපන් සෝස්' හා විමුක්ති ව්‍යාපාර | Page 2 | සිළුමිණ

'ඕපන් සෝස්' හා විමුක්ති ව්‍යාපාර

 යතුරු ලියනයට තිබූ වැදගත්කම ක්‍රමයෙන් අහෝසි වෙමින්, මේ වන විට සෑම කාර්යාලයකම ඇත්තේ පරිගණකයකි. කාර්යාලයීය ලිපි සකස් කරගැනීම සඳහා දැන් පරිගණකය නැතිවම බැරිය. එහෙත් පරිගණකයකින් ලිපියක් සකස් කරන විට අවශ්‍ය වන මෘදුකාංගවලට ලෝකයේ පවතින වෙළෙඳපොළ ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. එහෙත් පරිගණක මෘදුකාංග නිපදවන සමාගම් ජාතික රාජ්‍ය අභියෝගයට ලක් කරමින් ලෝකය පුර වෙළෙඳ රාජ්‍යයක් පවත්වාගෙන යයි.

ඕනෑම පරිගණකයකට සරල කටයුත්තක් සදහා වුව මෘදුකාංග නැතිවම බැරිය. සාමාන්‍යයෙන් ලංකාවේ කාර්යාලවල පරිගණක භාවිතයේ ප්‍රමුඛ කාර්යය වන්නේ ලිපි සකස් කිරීම වුවත් ඒ පරිගණකය හා ඊට අදාළ මෘදුකා යොදාගෙන වඩා වැඩි වටිනාකමකින් යුත් කාර්යයන් කරගත හැකිය. එහෙත් අදාළ මෘදුකාංගයන්ගේ මිල තීරණය වී ඇත්තේ ඉතා ඉහළ මට්ටමකිනි. පරිගණකයකින් සිදු කරගන්නා විශාල හා මිල අධික කාර්යයන් සම්බන්ධයෙන් ඒ මෘදුකාංගයන්ගේ මිල සාධාරණ විය හැකි වුවත් බහුතරයක් පරිගණක යොදාගන්නා ලිපියක් සකස් කිරීම වැනි සරල කාර්යකදී එම මිල ගණන් කිසි සේත් සාධාරණ වන්නේ නැත.

මෘදුකාංගයන්ගේ අධික මිල අපේ සමාජයට එතරම් නොදැනෙන්නේ නීත්‍යනුකූල නොවන ලෙස පිටපත් කරන ලද පරිගණක මෘදුකාංග බොහෝ දෙනකු භාවිත කරන බැවිනි. මෘදුකාංග සමාගම් විසින් නිෂ්පාදනය කර අලෙවි කරන මෘදුකාංග භාවිත කරන්නට සිදු වුව හොත් බොහෝ දෙනකුට පරිගණක භාවිතය අත්හරින්නට සිදු විය හැකිය. මේ වන විට බුද්ධිමය දේපළ අයිතිය යටතේ පරිගණකවල මෘදුකාංග පිටපත් භාවිතයද සීමා වී ඇත.

රජයේ ආයතනයන්ට අවශ්‍ය පරිගණක මෘදුකාංග ලබාගැනීමදී අනිවාර්යයෙන්ම ඒවායේ මුල් පිටපත් මිල දී ගත යුතුය. එහෙත් තවම නීත්‍යනුකූල නොවන මෘදුකාංග පිටපත් භාවිත කරන නිසා එහි ඇති මූල්‍යමය දුෂ්කරතාව බොහෝ දෙනක තේරුම් ගෙන නැත. එහෙත් යම් හෙයකින් මෘදුකාංගයන්ගේ මුල් පිටපත් භාවි‍ක කිරීම අනිවාර්ය වුව හොත් සිදු වන්නේ මහත් අලකලංචියකි. මෙහි ඇති අසාධාරණය සරලම ලෙස තේරුම් ගත හොත් ලිපියක් සකස් කරගැනීමට පවා විශාල මිලක මෘදුකාංග මිල දී ගැනීමට සිදු වීම අපරාධයක් බව පැහැදිලි වේ.

වෙළෙඳපොළ ක්‍රමයක් තුළදී භාණ්ඩ හා සේවා මිලක් ගෙවා ලබාගත යුතු වීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ රීතිය පරිගණක මෘදුකාංගවලටත් අදාළය. එහෙත් වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවන්ට අදාළ මිල ගෙවීමේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ. බොහෝ මෘදුකාංග අධික මිලකින් යුතු වීම මෙන්ම ඒ සඳහා එක් වරක් පමණක් ගෙවීමේ ක්‍රමය අදාළ නොවීමද බරපතළ අසාධාරණයකි. එසේම විශාල එමෙන්ම වෙළෙඳපොළ අගයකින් යුතු කාර්යයන් කරගැනීමට මෙන්ම ලිපියක් සකස් කරගැනීම වැනි සරල කාර්යයකටද මෘදුකාංග සඳහා ගෙවිය යුත්තේ එකම මිලකි. බහුතරයක් පිරිස මෘදුකාංග යොදාගන්නේ සරල කාර්යයකට නිසා ඒ සඳහා අධික මුදලක් ගෙවන්නට සිදු වීම අසාධාරණයකි.

මේ අසාධාරණය තුලනය කිරීම සඳහා අදාළ මෘදුකාංග සමාගම් විසින්ම අපූරු උපක්‍රමයක් භාවිතා කරනු ලැබේ. එනම්: පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කරන සමහර මෘදුකාංග සඳහා වෙනම සංස්කරණ හඳුන්වාදීමයි. එහෙත් වින්ඩෝස් වැනි මෙහෙයුම් පද්ධති සඳහා හඳුන්වා දුන් විස්ටා වැනි සංස්කරණ භාවිතයේදී එතරම් සාර්ථක නොවිණි. මේ ක්‍රමය විශේෂිත මෘදුකාංග අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වුවත් පරිගණයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික මෘදුකාංග සඳහා අධික මිලක් අනිවාර්යයෙන්ම ගෙවන්නට සිදුව තිබේ.

පරිගණක මෘදුකාංග වෙළෙඳපොළ යනු තවත් ධනේශ්වර වෙළෙඳපොළක් බව පැහැදිලි කිරීමට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔවුන් කරන්නේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයා අසරණ කර මුදල් කොල්ලකෑමකි. ලෝකයේ පරිගණක මෘදුකාංග නිපදවන සමාගම්වල ක්‍රියාකාරිත්වය අනුව පැහැදිලි වන්නේ ඒවා ප්‍රාග්ධනය කේන­්ද්‍රගත කිරීමේ නව ලිබරල් ව්‍යාපෘතියේම කොටස්කරුවන් බවය. ලෝකය පුරා සමාජ ඇතුළට කිඳා බහින මේ සමාගම් ඒ සමාජ සතු ප්‍රාග්ධනය කේන්ද්‍රයේ රටවලට රැගෙන ගොස් එකතු කරගැනීම තම රාජකාරිය බවට පත් කරගෙන ඇත. ඔවුන් විසින්ම සකස් කරන නීතිරීති මගින් එම ක්‍රමය තහවුරු කරගෙන තිබේ. විශේෂයෙන් බුද්ධිමය දේපළට අදාළ නීතිරීති සේවය කරන්නේ මේ අන්දමින් ප්‍රාග්ධනය එකතු කරගැනීමේ (Accumulation of capital) නව ලිබරල් ව්‍යාපෘතියටයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ තොරතුරු තාක්ෂණයේ වරප්‍රසාද පරිධියේ රටවල නොදියුණු සමාජ කරා ගලා යෑමට බාධා කිරීමයි.

ලෝකය පුරා විවෘත මනසකින් යුත් තරුණ නිර්මාණශීලී කණ්ඩායම් මේ වෙළෙඳපොළ ආධිපත්‍යයෙන් පීඩා විඳින මිනිසුන් සඳහා විකල්පයක් නිර්මාණය කර ඇත. අප්‍රිකානු රටවල් ආශ්‍රයෙන් නිර්මාණය වූ එ් විකල්පය වන්නේ ‘ඕපන් සෝස්‘ පරිගණක මෘදුකාංග (Open source software) නිර්මාණයයි. ඕපන් සෝස් මෘදුකාංග සඳහා ගෙවීමක් අවශ්‍ය නොවේ. ඒවා මහජන දේපළකි; අවශ්‍ය අයකුට නොමිලයේ ගෙන භාවිත කළ හැකිය. ඒවා භාවිතයේදී පරිගණක වෛරස ප්‍රහාර එල්ල නොවීම විශේෂ ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේද උන්නතිකාමි තරුණ පිරිසක් එවැනි ඕපන් සෝස් මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර තිබීම ආඩම්බරයට කරුණකි. ඔවුන් ස්වේච්ඡාවෙන් කරන මේ කාර්යය නිසා තොරතුරු තාක්ෂණයට එල්ල වූ නව ලිබරල්වාදි බාධාවන් යම් පමණකින් සීමා වී තිබීම සතුටට කරුණකි.

ඕපන් සෝස් මෘදුකාංගයන් සංවිධිත ආයතනයක් සතුව නැතිකම නිසා විවිධ බාධාවන්ට මුහුණදීමට සිදුව තිබීම කනගාටුවට කරුණකි. විශේෂයෙන් මෘදුකාංග යාවත්කාලීන කිරීම් ප්‍රමාදව සිදු වේ. නොඑසේනම් යාවත්කාලීන කිරීම් සිදු වන්නේම නැත. එසේම ඒවා භාවිත කරන්නන්ට පහසු නොවීම ද ගැටලුවකි. මේ තාක්ෂණික ප්‍රශ්න කොතරම් තිබුණත් ඕපන් සෝස් මෘදුකාංග ව්‍යාප්ත නොවන්නේ එනිසා නොවේ. වින්ඩෝස් මෘදුකාංග ලෝකයක විකල්ප මෘදුකාංග සඳහා නැගී සිටීමක් හුදකලාවක සිදුවිය නොහැක. එනම් මෘදුකාංග ව්‍යාප්තිය සිදුවන්නේ සමාජයක සියල්ලන් ඒවා භාවිතා කිරීම මතය. උදාහරණයකට එකම කාර්යාලක වුවත් පරිගණක භාවිතා කරන දස දෙනෙකුගෙන් ඕපන් සෝස් භාවිත කරන්නේ එක් අයකු හෝ දෙදෙනකු නම් ඒව භාවිතය ප්‍රායෝගික නොවේ. වින්ඩෝස් ලෝකයක ඕපන් සෝස්වලින් සිදු කරන කාර්යයන් ප්‍රායෝගික කරගැනීම දුෂ්කරය.

මීට පිළිතුර වන්නේ අප සමාජයක් ලෙස සංස්කෘතිකව ඕපන් සෝස් භාවිතයකට යෑමයි. එවිට බොහෝ තාක්ෂණික ප්‍රශ්න විසඳෙන නමුත් වින්ඩෝස්වලට හිමි වෙළෙඳපොළ ආධිපත්‍ය එය ඕපන් සෝස්වලට හිමි කරගැනීම එතරම් සරල හා පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව එය නව ලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහිව යෑමක් වන බැවිනි.

නව ලිබරල්වාදී ව්‍යාපෘතිය කරපින්නා ගත් නූතන ධනේශ්වරයට එරෙහි වීම පෙළපාළි යෑමෙන්, පිකට් කිරීමෙන්, වැඩවර්ජනය කිරීමෙන් සිදු කළ නොහැකිය. ඒ සඳහා ධනේශ්වරයට එරෙහි විකල්ප සංයුක්ත දේශපාලන වැඩපිළිවෙළක සංස්කෘතික මැදිහත්වීමක් අවශ්‍ය වේ. එවැනි දේශපාලන බල ව්‍යාපෘතියක අවශ්‍යම කරුණක් වන්නේ පරිගණක මෘදුකාංග වැනි ධනේශ්වර වෙළෙඳපොළ අයිතමයන්ට විකලපයන් ගොඩනගාගැනීමයි. ඒ සඳහා ඕපන් සෝස් වැනි විකල්ප පරිගණක මෘදුකාංගයන්ගේ අධිපතියක් ගොඩනගාගැනීම විමුක්ති දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය.

අබරන් 

Comments