හදවතට හදවතක් කතා කරයි | සිළුමිණ

හදවතට හදවතක් කතා කරයි

පුෂ්පා කුමාරිගේ හදවත

“හයයි තිහට ඔපරේෂන් එක කරනවා. ඔයා බය වෙන්න එපා.”

ඒ තමයි අන්තිමට ඇහුණු වචන ටික. මට ඇහුණෙ යන්තමින්. මම හොඳටම දුර්වල වෙලා හිටියෙ. ඒත් මම අමාරුවෙන් හරි රුධිර සංසරණය කරගෙන ගියා. මම කවුද කියල ඔබට දැන් වැටහෙනව නේද? මම තමයි පුෂ්පා කුමාරිගෙ හදවත. ශරීරය දුබල වුණත් ඇය හොඳ සිහි කල්පනාවෙන් හිටියෙ. මම ටික ටික දුර්වල වෙද්දී ඇය මොළය දුබල කර ගත්තෙ නෑ. මම දුබල වුණේ රුධිර සංසරණය අතින් විතරයි. හැඟීම්වලින් නෙවෙයි. සැත්කමට සූදානම් බව විජේසිරිට ජංගම දුරකථනයෙන් කියද්දී මොළයෙන් ස්නායු ඔස්සේ පැමිණි සංඥාව නිසා මම ගැහෙන්න පටන් ගත්තා. දැවෙන්න පටන් ගත්තා. රුධිරය උණුසුම් වුණා. අවහිර වී තිබූ හදවතේ බිත්ති හා රුධිර නාල කකියන්න පටන් ගත්තා.

ඇය ඉකිලන සද්දෙ ඇහුණෙ ජංගම දුරකතනෙ විසන්ධි කළාට පසුවයි. සැත්කම් ඇඳට ඇගේ සිරුර ඇති ඇඳ තල්ලු කරගෙන යන බව මට දැනුණා. මම ඇයත් සමඟ අවුරුදු 36 ක් ජීවත්වුණා. පුංචි කා‍ෙල මම හොඳට වැඩ කළා‍. මම දුබල වුණේ ඇයි දැයි මටවත් තේරෙන්නේ නෑ. ඇය කොච්චර බේත් බීවද? ගෙදර අග හිඟ ප්‍රශ්න ඇති වුණා ම විජේසිරි එක්ක ඇය රණ්ඩු වුණේ නෑ. හෙමින් ඉකිබින්දා. මොළයෙන් මට සංඥාව ලැබුණා. මම ගැහෙන්න පටන් ගත්තා.

වෙළෙඳ කලාපෙ ඇය ඇඳුම් මහන කාලෙ යෙහෙළියො සමඟ සිනාසුණ හඬ මට තාම ඇහෙනවා. මගේ හදවතේ හඬ යටපත් කරගෙන මහන මැසිම්වල හඬ පැතිරුණා. මේසන් වැඩ ඉවර වෙලා විජේසිරි ඇවිත් හවසට ඇගේ අතින් අල්ලා ගනිද්දී මම හරිම ප්‍රබෝධයෙන් හිටියෙ. ඇය බොහෝ විට ඇන්දේ පුංචි මල් ඉහිරුණු අපූරු ගවුමක්. ඇගේ සිරුරේ තාන් සුවඳ මට තවමත් දැනෙනවා. දෙන්නගෙ ආදරේ දියණියක් ලැබුණාම නැති වුණේ නෑ. දුව වඩාගෙන මාත් අතින් අල්ලගෙන විජේසිරි රෝහල්වලට ගියපු ගමන් වාර මට හිතාගන්නත් බෑ. තව සුළු මොහොතකින් හරියටම හයයි තිහට මම පුෂ්පාගේ සිරුරෙන් ඉවත් කෙරෙනවා. ඊට පස්සෙ මගෙ හදේ ගැස්ම නවතිනවා. මම හිටපු තැනට එන්නෙ අවුරුදු විසි දෙකක තරුණයෙකුගෙ හදවතක්. ඒ හදවත ඇගේ පණ නළ රකින බව මට හොඳටම විශ්වාසයි.

සැත්කමෙන් පසු ගැස්ම නැවතුණු මා කොහේ හෝ වළ දමන්නේ නැතිව ෆෝමලින් වතුරේ දමනවා නම් කැමතියි. හදවතේ අවහිරතා ගැන ඉගෙන ගන්න. ඉතින් මට සමුගන්න වෙලාව ඇවිත්...

 

ප්‍රදීප්ගේ හදවත

 

මම අවුරුදු විසි දෙකක් ජීවත්වුණේ ප්‍රදීප්ගෙ සිරුර ඇතුළේ. දැන් මම ජීවත්වන්නේ පුෂ්ප කුමාරිගෙ සිරුරේ. ඒක හරි පුදුම අත්දැකීමක්. ඇගේ සිරුර මා ප්‍රතික්ෂේප නොකළේ හරියට ම ගැළපුණු හින්දයි. පුෂ්පාගේ හදවත මියගිය බව මම දන්නවා. ඒ ගැන මට දුකයි. මමත් මිය යන්න නියමිතවයි හිටියේ. එහෙම වුණත් හාස්කමකින් වගේ වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් මගේ මරණය වැළැක්වුණා. මා නිසා තවත් කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා වුණා. ඒ ගැන මට සතුටුයි. එහෙම වුණත් මට කවදාවත් ප්‍රදීප් අමතක කරන්න බැහැ.‍ ඒක හරි පුදුම අත්දැකීමක්‍‍. එදා යතුරු පැදිය හැප්පිලා බිම වැටෙද්දී මට හානියක් වුණේ නෑ. ඒත්, ප්‍රදීප්ගෙ මොළයෙන් සංඥා එන එක නැවතුණා. ඔහුගේ සිරුර නිසලයි. වෛද්‍යවරුන් සවි කළ නලවල ආධාරයෙන් පණ නල පවත්වාගෙන යන්න උත්සාහ කළා. මොළය මිය ගිය පසුව නාල ඉවත් කළා නම් ඒ මොහොතෙම මාත් මිය යනවා. දුර ඈත අනුරාධපුරේ සිට, අසාධ්‍ය තත්වයෙන් පැමිණි පුෂ්පා කුමාරි මාතාව මේ රෝහලේ ම ජීවිතයත් මරණයත් අතර සටනක හිටිය බව මට දැනගන්න ලැබුණා. ප්‍රදීප් ගේ මොළය මිය ගිය පසු මමත් බලාපොරොත්තු අත හැරල හිටියේ. ඒත් මිය යන්න ආසන්න මවකට ජීවය ලබාදීමට මට හැකි වුණා. ඒ මවගේ කට හඬ මට දැන් ඇහෙනවා. ඇගේ මොළයේ සංඥා මට ලැබෙනවා. ප්‍රදීප්ගේ සිරුර පුරා රුධිරය සංසරණය කළ මා දැන් පුෂ්පාගේ සිරුර පුරා රුධිරය සංසරණය කරනවා. ප්‍රදීප්ගෙ බලාපොරොත්තු මට දැනුණේ ඔහු මිතුරන් සමඟ කළ කතා බහෙන්.‍ ගෙයක් දොරක් හදලා දුප්පත් අම්මට, තාත්තාට උදවු කරන්න ලොකු ඕනෑ කමක් තිබුණා‍. චුට්ටක් විනෝද වෙන්න යාළුවො කතා කළාම අම්මයි තාත්තයි එනතුරු බලාගෙන ඉන්නවා‍. කියද්දී වැඩිපුරම ගැහුණෙ මම යි. ඔහු වයසට වඩා මහන්සි වුණා. අනාගතය ගැන හීන මැව්වා‍. යතුරු පැදියෙ නැගල යද්දීත් හීන අතරින් ගියේ. එහෙම වුණත් දඩබ්බර විදියට උඩිං ගියේ නෑ.

ප්‍රදීප්ගෙ තාත්තට වෛද්‍යවරුන් කියපු දේවල් මට ඇහුණා. ප්‍රදීප්ගේ ඉන්ද්‍රියන් ගැනීමේ අවශ්‍යතාව ඇති අය හිට‍ියා. තවත් ජීවිතයක් රැක ගැනීම වෙනුවෙන්. එයින් මුදලක් අරගෙන ප්‍රදීප්ගෙ තාත්තට ගෙයක් හදාගන්න තිබුණා.

“මට සල්ලි එපා. මගෙ පුතා හින්දා තව කවුරු හරි ජීවත් වෙනව නම් මට ඇති ඒ මහත්තයෝ.” ඒ තාත්තගෙ කට හඬ මට තවමත් ඇහෙනවා වගේ. එදා තරම් මගේ ගැස්ම වැඩි වුණා. දවසක් මට මතක නැහැ. ප්‍රදීප්ගෙ තාත්තා වගේ ම පුෂ්පාගේ මහත්තයා සල්ලි බාගෙ අතින් දුප්පත්.‍ ඒ වුණාට හිත හොඳයි. හදවත් හොඳයි කියලත් කියනවා. ඒක ඇත්ත. ඒ තාත්තාගෙ පුතාගෙ හදවත තමයි මම. මම මහනුවර සිට අනුරාධපුරේට යනවා. එතනින් දවසක මහනුවරට එනවා.

“ඒ පුතාගෙ තාත්තා ‍බලන්න අපි යනවා.”

විජේසිරි කියන හඬ මට ඇහෙනවා.

“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය.”

එහෙම ති‍ෙයන්නෙ බයිබලයේ.

ආත්ම පරිත්‍යාගය කොතරම් වටිනා දෙයක් ද පැහැදිලි වන්නේ අපරාධය සහ දඬුවම වැනි මහා නවකතාවලින්. මිනිසුන්ගෙ කතා බහෙන් මට ඒ බව දැනිල තියෙනවා.‍

ජීවිතය කටුකයි. ඒ වගේ ම සුන්දරයි. ප්‍රදීප් ජීවත්වුණේ මා නිසා‍. දැන් මා නිසා පුෂ්පා ජීවත්වෙනවා. ප්‍රදීප්ට කොච්චර හීන තියෙන්න ඇති ද කියල මම තරම් දන්න කෙනෙක් කවදාවත් නෑ.

ආදරය ගැන හිතද්දී ඒ සංඥා මට මොළයෙන් ලැබුණු ම, මම උණුසුම් වුණා. අවාසනාවක මහත. ඔහුට ජීවිතේ විඳින්න ලැබුණේ ටිකයි.

ළඟදීම දවසක විජේසිරියි පුෂ්පයි මහනුවර ගිහින් ප්‍රදීප් ගෙ දෙමවුපියන් හමුවන බව මා දන්නවා. ප්‍රදීප්ගෙ කටහඬ නැතත් තාත්තගෙ අම්මගෙ කටහඬ මට ඇසේවි.

“මගෙ සුදු පුතේ.”

එහෙම කියන ගමන් පුෂ්පා වැලඳ ගනීවි.

පුෂ්පාගේ රූපයෙන් ප්‍රදීප්ගේ හුස්ම ඔවුන්ට දැනේවි. එදාට තරම් මම ගැහෙන දවසක් මට හිතා ගන්න බැහැ. මහනුවර ‍රෝහලේදී සැක්කමට පැමිණි වෛද්‍යවරයකු කී දෙයක් මට මතක් වෙනවා.‍

“හදවතයි මොළයයි අතරේ කායික විද්‍යාත්මක සම්බන්ධය අපට පැහැදිලියි. සිතුවිලි උපදින්නේ මොළයෙන්. මොළයෙන් හදවතට සම්බන්ධ වන ස්නායු ඔස්සේ සංඥා ගමන් කරනවා. හදවතේ ගැස්ම උස් පහත් වීම් සිද්ධ වන්නේ එවැනි බලපෑම් මතයි. අධිවෘක්ක ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන රුධිරය ඔස්සේ හදවතට ගමන් කරනවා. ඇඩ්‍රිනලින් සහ නෝ ඇඩ්‍රිනලින්. බය, තැති ගැන්ම, ත්‍රාසය, කම්පාව යනාදී භාවමය හැඟීම් ඇතිවන්නේ එයින්. “fight or flight” (සටන් කරන්න! නැතිනම් පලා යන්න!!) එම විධානය ලැබෙන්නේ හෝමෝන නිසා.

දැන් ඔබට මං ගැන මොකද හිතෙන්නෙ? මා පරාජය වුණේ නෑ. ජීවත් වනවා‍. සටන් කරන්නේ ජීවත් වන්න. එක් වෛද්‍යවරයෙකු අභිධර්ම පිටකය සිහිපත් කළා මතකයි.

“සාහිත්‍යයේදී හැඟීම් උපදින්නේ හදවතින් බවයි කියන්නේ. රේරුකානේ චන්දවිමල හාමුදුරුවො ලියපු අභිධර්ම මාර්ගයේත් මේ ගැන සඳහන් වෙනවා. රුධිරය හදවත ඔස්සේ ගමන් කරන්නේ රැළි සුළි නංවමින්. ඒ සුළිවල මුදුනින් තමයි සිත ඇතිවන්නේ. හැඟීම්වල උපත එයයි. අභිධර්මයේ අදහස හරි යැයි වෛද්‍යවරයා කියනවා මට ඇහුණා. ඉතින් මට දැන් මගේ හැඟීම් පැහැදිලියි. ඒ හැඟීම්වලින් තමයි මුදු ගුණය, දයා ගුණය, මෛත්‍රිය, සෙනෙහස, ආදරය, ඇල්ම, කරුණාව, සමාධිය ඇතිවන්නේ. මට දැන් ඒක දැනෙන්න පටන් අරන්. ඒක හරි ම චමත්කාරජනක දෙයක්.

 

[email protected]

Comments