සෙනෙ­හ­සක සාය­නයට ඔබත් එන්න | සිළුමිණ

සෙනෙ­හ­සක සාය­නයට ඔබත් එන්න

 රණවිරු පවුල්වල දරුවන් හා අනෙකුත් පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පවත්වනු ලබන වෛද්‍ය සායනයක් මේ මස 27 හා 28 යන දෙදින උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී හා මනම්පිටිය මහවැලි ප්‍රතිභා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

පුංචි අමල් උපතින්ම ආබාධිතය .ඔහුගේ සියලු කටයුතු කෙරුණේ මවගේ දෑතිනි. නමුදු අනපේක්ෂිත මොහොතක මව මිය යෑමත් සමඟ ඔහුගේ ජීවිතය අඳුරට වැටෙන්නේය . දෙපා ආබාධිතව තිබුණද පාසල් ගිය අමල් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය පනහකට වැඩි ගණනක් ලබා ගන්නේය. නමුදු ඉන් පසුව ඔහුගේ පාසල් යෑම නතර වන්නේ ඔහුගේ දෑසට කඳුළක් එක්කරමිනි. මිත්තණියගේ සෙවණේ ඇති දැඩි වන අමල්ගේ පාසල් ගමන නතර වන්නේ ශිෂ්‍යත්වයෙන් පසුව ඔහුට නිවෙසට ඈතින් පිහිටි පාසලකට යෑමට සිදුවීම නිසාය. වසර දෙකක් පමණ ගෙවී ගියේය. පාසල් ගමන නතර වූ අමල් නිවෙසට වි කල් හැරියේය. නමුත් අමල්ගේ මේ දුක්ඛිත ජීවිතය වෙනස් වන්නේ සෙනෙහස ඔහු සොයා පැමිණීමත් සමඟය. “සෙනෙහස” අමල්ගේ ජීවිතය අලුත් කරන්නේය . බොහෝ දුර බැහැරක සිවිල් ආරක්ෂක බළකායේ සේවය කළ අමල්ගේ පියාට කඩිනමින් ගමට මාරුවීමක් ලබාදෙන්නේ ද අමල් ගම ආසන්නයේම ඇති පාසලකට ඉගෙනුම සඳහා යොමු කරන්නේ ද ඔහුගේ අධ්‍යාපනික අවශ්‍යතාවලට ඕනෑ කරන දේ ලබාදෙන්නේ ද සෙනෙහස විසිනි.

අම්පාරේ දුෂ්කර ගම්මානයක සිටි අමල්ගේ ජීවිතයට පමණක් නොව අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවල දිවි ගෙවන ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායේ සමාජිකයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය බොහෝ දේ ලබාදීමට“සෙනෙහස” ඉදිරිපත් වන්නේ සැබෑ සෙනෙහසිනි.

සෙනෙ‍හස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මඟින් ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් අතර යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පවුල්වල දරුවන් වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාර බොහෝය. මෙහි එක් වැඩසටහනක් වන්නේ නගරයෙන් ගමට සෙනෙහස රැගෙන යෑමය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පැවැසුවේ සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රයේ ප්‍රධානි ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතාය.

“මේ ආයතනයෙන් සිදු කරන්නේ රණවිරු පවුල්වල විශේෂ අවශතා ඇති දරුවන් සඳහා ඔවුන්ට උදව් කිරිමයි. රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමියගේ අදහසකට අනුව තමයි අප මෙම වැඩසටහන ගමින් ගමට ගෙන යෑමට තිරණය කළේ . ඒ අනුව අපි මේ වැඩසටහන මුලින්ම අරගෙන ගියේ අම්පාරට. අපි හිතුවේ නැහැ එපමණ පිරිසක් ඒ සායනයට පැමිණේවි කියලා. නමුත් පන්සියක් පමණ එතැනට ආවා. අප මේ සායන පවත් වන්න යන්නේ අදාළ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් සමඟ මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, මනෝවෛද්‍යවරුන්, විකලාංග විශේෂඥ වෛද්‍යවරුන්, කථන හා භාෂා විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අධ්‍යාපන නිලධාරීන් මෙන්ම සමාජ සේවා නිලධාරින් සමඟයි. මේ වනවිට රණවිරු පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා ඔටිසම් දරුවන් සිටින බව අප හඳුනාගෙන තිබෙනවා. කුමක් හෝ හේතුවක් නිසා මේ ගැන සමාජය දැනුම්වත් නැහැ. මේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේ ද ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් දෙන්නේ කෙසේද කියලා ඔවුගේ පවුල්වල අය දැනුම්වත් නැහැ. අපි ගමින් ගම ගිහිල්ලා ‍කරන්නේ ඒ පවුල්වල දරුවන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් කළ හැකි සියල්ල කඩිනමින් කිරීමයි.

මේ වැඩසටහන් මාලාවේ දෙවැන්න තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. තුන් වැනි වැඩ සටහන තමයි මේ මස 27 හා 28 දිනවල පොළොන්නරුවේදි පවත් වන්නේ. මෙම සද් කාර්යය රණවිරු පවුල්වල විශේෂිත අවශ්‍යතා ඇති දරුවන්ට පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටත් සහභාගි වෙන්න පුළුවන්. අපි මේ හැමෝම වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටුකරනවා”.

අම්පාරේ පැවැති සෙනෙහස වැඩ සටහසනේදී හඳුනා ගන්නා ලද ශ්‍රව්‍ය ආබාධිත දරුවකු ‍මේ දිනවල කොළඹට ගෙන්වා ප්‍රතිකාර කැරේ. ඒ දරුවාගේ මව මෙසේ පවසන්නීය

“පුතා කුඩා කාලයේ ඉඳලා ඔහුගේ කන් ඇසීම දුර්වලයි. අපිට තේරුමක් තිබුණේ නැහැ මොකක්ද කරන්න ඕනෑ කියලා . ඒත් මේ සායනවලට ආවාම පුතාට කන් ඇසීම යම් පමණකට ලබාදෙන්න පුළුවන් කියලා දැන ගන්න ලැබුණා. අපි කොළඹ ආවා. සෙනෙහසින් තමයි අපි ගැන හොයලා බලන්නේ”. සුමිත්‍රා පවසන්නේ දෑසේ නැඟි කඳුළක් පිස දමමිනි.

තම දරුවන් සමාජයෙන් සඟවා නොතබා ඔවුන්ට ද සමාජයේ යම් තැනක් හිමි බව මෙන්ම ඔවුන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබාදීමට, උපදෙස් ලබාදීමට හැකි වීම පිළිබඳ එවැනි දරුවන් හිමි දෙමවුපියන්ට ඇත්තේ ඇත්තේ සහනයකි. ආබාධිත දරුවකු , ඔටිසම් දරුවකු නොඑසේනම් විශේෂ අවශ්‍යතා ඇති දරුවකු පවුලක සිටින විට කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඇතැම් විට දෙමවුපියන්ට අවබෝධයක් නැත. එනිසාම මේ දරුවන් සමාජයෙන් සඟවා තැබීමට එහෙමත් නැත්නම් පාසල් නොයවා ගෙතුළට කර තැබීමට ඇතැම් වැඩිහිටියෝ හුරුව සිටිති. නමුත් මේ දරුවන්ට ද සමාජයේ ඉඩක් ඇති බව පෙන්වා දීමට සෙනෙහස නිහඬ සේවයක් කරන්නේය.

“මේ රටේ සාමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදුණ රණවිරුන්ගේ දරුවන්ට තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. අපි මොවුන් රැක බලා ගතයුතුයි. එනිසයි මෙවැනි සද්කාර්යයක් ගමින් ගම ආරම්භ කළේ. මෙහි සම්බන්ධිකාරක නිලධාරී ලෙස ලුතිනන් කර්නල් කේ .කේ ඩී .ආර් චමින්ද කටයුතු කරනු ලබනවා . අපේ මේ වැඩ සටහන පිළිබඳ වැඩි විස්තර 0112698760 දුරකථනයට ඇමතීමෙන් ලබාගන්නට පුළුවන්” සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රයේ ප්‍රධානි හෙට්ටිආරච්චි පවසන්නේය.

Comments