
උසාවිය නිහඬය.විනිසුරුවරයාගේ හද ගැස්ම මොහොතකට නතර විය. සාක්කි කූඩූවේ බිම වැටී සිටියේ සිසුවෙකි. ඔහුගේ පියා ද ඒ අසල සිටී.
සාක්කිකරු ක්ලාන්ත ව බිම වැටුණේ කුමක් නිසා ද? හැමෝටම ගැටලුවකි. සභාවකට මුහුණ දීමේ සබකෝලය හා බිය දරුවාගේ මනස පීඩාවට ලක් කළා ද? කිසිවෙකුගේ පෙලඹවීම මත සාක්කි දෙන්නට ගොස් එය හෙළිවේදෝ යි බියෙන් ඇද වැටුණා ද?
එසේත් නැත්නම් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් ද?
හදවත් රැසක් ගැටලු රැසකට මුහුණ දෙයි.
උගත් විනිසුරුවරයා දරුවාගේ පියා ඇමතීය.
“දරුවා උදේට කාලා නැහැ”
පියාගෙන් පිළිතුර හරියටම ලැබිණ.
උසාවිය නිහඬ විය. හදවත් පතුළෙන් පෙරී ආ වේදනාව ඇසග කඳුළු බිදු බවට පත් විය. නීතිය, සාධාරණය, උසාවි සම්ප්‍රදාය, මනුෂ්‍යත්වය, ආත්මානුකම්පාව අතර සියුම් ගැටුමක් ඇති විය.
නඩු පොත, සාක්කි කූඩුව මෙන් ම නිසොල්මන් ය. විනිසුරුවරයාගේ හදවත විවර විය. ඔහුගේ සුරත මුදල් පසුම්බියෙහි නතර විය.
“දරුවා එකක් ගිහින් කෑමට යමක් අරන් දෙන්න”.
නිල ඇඳුමෙන් විහිදුණු කරුණා ගුණයෙන් සීතල වු සුරත දිගු විය.
පියා තම පුතා ඔසවාගෙන අධිකරණ භූමියෙන් එළීයට ගියේය.
සුළු වේලාවක් ගත විය. දරුවා කඩිසර ගමනින් පියා සමඟ පැමිණ සාක්කි කූඩුවට නැග්ගේ ය.
සමූහ අපයෝජනයට ලක් වු සිසුවියක් ඝාතනය කිරිමේ සිදුවීමේ තමා දුටු දේවල් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ ය.
එය අව්‍යාජ වූ ද බලගතු වූ ද සාක්ෂියකි.
“ළමයින් පිරිසුදු ය මල් මෙන් සුවඳ රැඳී
දෙවියන් ඔවුන් හැසිරෙන හැම තැනම හිඳී”
කේයස් හෙවත් සාගර පළන්සූරිය කවියා ලියූ කවි දෙපද ඇතැමුන්ගේ සිතට නැගෙන්නට ඇත.
හිමිදිරියේ පා පැදියෙන් තල් රුප්පාව මැදින් පාසල් ගිය දිනයේ සියලු දෙවිවරු ඇය හැර ගිය හ. යක්ෂන් රෑනකට කොටු වූ ඇගේ විලාපය නෑසෙන දුරක දෙවියන් වැඩ සිටියේ යක්ෂයන් අරක් ගත් බිම්කඩක දෙවියන්ට තව දුරටත් ඉඩක් නැති නිසා ද?
අවසානයේ පුංචි ඇස් දෙකක් දේව පුත්‍රයකුගේ කාර්යය ඉටු කළේ ය.
“මීටත් වඩා සාක්ෂි අවශ්‍ය ද? ”
විනිසුරු මුවඟින් නැගුණු පැනය අභිමුව උසාවිය නිහඬ විය.
විනිසුරුවරයාගේ හඬ වියළි සුළං රොදක දැවටී තල් රුප්පාව අතරින් ඇදී ගියේ ය. ඒ සුළං රොද කයිට්ස් දූපතේ සොහොන් බිමක පස් ගොඩක දැවටී මදක් රැඳී සිට තෙරක් නොපෙනෙන සිතිජ ඉම දක්වා ගමන් කළේ ය.
පස් ගොඩ යට නිදන ඇයටද වියළි සුළං සරසරය මුසු වූ විනිසුරු හඬ ඇසෙන්නට ඇත. පස්ගොඩ මායිමේ නිදිකුම්බා පැළෑටියක පිපුණු මලක් මඳක් සෙලවුණේ එහි කම්පනයෙන් විය යුතුය.
බලගතු පොලිස් නිල කබායක අනුහසින් යක්ෂයකු නිදහස් විය. පසුව නීතියේ රැහැනට හසු විය. පොලිස් කබාය ද යකඩ කූඩුවේය. කබාය යට තිබූ රළු හදවතෙහි නොතිබූ ළතෙත් ගුණය පුංචි ඇස් දෙකක් ඇති හදවකට තිබුණි. හදවත සීතල වූව ද ඒ හිමි සිරුර නිරන්තරයෙන් කුස ගින්නෙන් දැවුණේ ය. හදවතේ සීතල හා කුස ගින්දර පිළිබඳ අධිකරණ සම්ප්‍රදායට අයත් පොත් වල සඳහන් නොවේ. උසාවි බිමේ දී කිසිවෙකුහට හදිසියේ කිවිසුමක්, ඈනුමක් ගිය අවස්ථාවක ද ඊට දඬුවම් කිරීමට නිතී පොත හා සම්ප්‍රදාය බලගතුය. මෙය සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සැලකිය යුතු මට්ටමේ විවරණයක් ද තිබෙද්දී ය.
මීට කලකට පෙර වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ විනිසුරුවරයා උසාවියට පැමිණෙමින් සිටිය දී ඔහු පැමිණි රිය උසාවිය ඉදිරිපිට නතර විය
උසාවියෙ සුළු සේවකයකු පැමිණ රිය තල්ලුකර දුන්නේ ය.
කළ උපකාරය පිළිබඳ පැසසු විනිසුරුවරයා අධිකරණ කටයුත්තේ දී එය වරදක් බව පෙන්වා දුන්නේ ය . කුස ගින්නේ සිටින සාක්ෂිකරුවකු හට ආහාර සඳහා යම් මුදලක් ලබා දීම අධිකරණ සම්ප්‍රදායට හා නීති පොතේ කරුණුවලට එකඟ දැයි අපි නොදනිමු.
එසේ වූව ද මේ සියල්ල පරයා අප නොසිතන අප නොදන්නා සේ සිටින සත්‍යයක් අනාවරණය විය. ඒ නම් කුසගින්නේ පාසල් යන දරුවන්ගේ ඛේදවාචකය යි. පාසල් යනු වෙනුවට උසාවියට ගිය දරුවා පෙනී සිටියේ ද කුසගින්නේ පාසල් යන තම සහෝදර සිසු සිසුවියන්ගේ අයිතිය වෙනුවෙනි.
මේ සුදහ ගින්න කයිට්ස් දූපතට ම සීමා වූවක් නොවන බව උතුරේ හා දකුණේ දුෂ්කර ගම්මානවලත් නගරයේ වතු නිවාසවලත් පාසල් යන දරුවන්ගේ ජීවන විත්ති අනුව පෙනේ.
ඒ ජීවන විත්තිය උගත් විනිසුරුවරයාගේ හදවත කම්පනයට ලක් කිරීමට හේතු විය.