ගුරු සේවයේ රස­කතා | සිළුමිණ

ගුරු සේවයේ රස­කතා

සුනිමල්ගේ ගීතය

සිරිසේන හෙට්ටිගේ

උඩනිරිඇල්ල

දැනට දශකයකට පමණ ඉහත ග්‍රාමීය පාසලක වාරවසාන විවිධ ප්‍රසංගයක සිදු වූවකි.

විදුහලේ එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රෙණිය දක්වා නැටුම්, නාට්‍ය, ගායන යන අංග තුනක්වත් ප්‍රසංගයේදී ඉදිරිපත් කළ යුතු බව විදුහල්පතිතුමා පන්ති බාර ගුරු මහත්ම මහත්මීන්ට කලින් ම දැනුම් දුන්නේය.

පහ ශ්‍රේණිය බාර ගුරු මහත්මිය නාට්‍ය හා නැටුම් අංශයෙන් දක්ෂ ළමයි තිදෙනෙකු තෝරා ගෙන ගායන අංශය සඳහා සුනිමල් තෝරා ගෙන ඒ සඳහා පුහුණුවීම් කටයුතු කළාය.

ගායනයට ඉදිරිපත් කළ සුනිමල්ට මිහිරි හඬක් හිමි වුවත් ඇතැම් වෙලාවට ගීපද මාරුවීම් සිදුවීය. කෙසේ වුවත් සුනිමල් ගායනා කිරීමට පුහුණු වූයේ ජනප්‍රිය ගායකයකුගේ මිහිරි ගීතයකි. පාසල් ජීවිතය එම ගීතය තුළින් අපූරුවට කියැවිණි.

විවිධ ප්‍රසංගය දිනය උදා විය. එක ශ්‍රේණියේ සිට පිළිවෙළින් අංග කීපයක් ඉදිරිපත් වී සුනිමල් ගේ ගායනයට අවස්ථාව උදා විය. සුනිමල් කිසි සබකෝලයක් නැතිව මිහිරි හඬින් ගායනය ඇරැඹුවේය. මේ ඊ රී බිම සීරී.... යන ලෙසින් ගීත ගයමින් දෝසිය පුරවා දීසි ගෙනැල්ලා යනුවෙන් ගායනා කරනවිටම සභාවේ සියලු දෙන සිනහවන්නට වූහ.

නිවේදන කටයුතුවල නියැළී විදුහල්පතිතුමා සභාව අමතමින් කිසියම් පද පෙරළියක් සිදු වුවත් සිසුවාගේ ගායන කුසලතාව ඉහළ බවත්, ඉදිරිපත්වීම ඊටත් වඩා වටිනා බවත් ප්‍රකාශ කළේය.

 

 

සල්පිලට තැබූ කජු මුල

 

ඩී.එන්. දිසානායක

කොස්වත්ත - බිංගිරිය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි කුරුඳුගහ රජයේ මිශ්‍ර පාසල සිසුන් දෙසීයකින් හා ගුරු භවතුන් හය දෙනකුගෙන් සමන්විත පාසලකි. බොහෝ සිසුන් බිම පැදුරු එළාගෙන තම අධ්‍යාපනික කටයුතු කරගෙන ගියේ පාසලේ ඩෙස් පුටු ආදියෙහි හිඟ නිසාය.

මෙම අඩුපාඩු සපුරා ගැනීම් වස් ගුරුදෙගුරු රැස්වීමක් පැවැත්වූ මුල් ගුරුතුමා හා සිරිදාස ගුරුතුමා මේ සඳහා මුදල් සොයා ගැනීමට සල්පිලක් පැවැත්විය යුතු බවට තීරණය කළහ. මේ අනුව සංවිධාන කටයුතුවලට සිරිදාස ගුරුතුමා තෝරා පත්කර ගැනිණි. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ අවසරය මත එළැඹෙන පෝය දිනයේදී මෙම සල්පිල විහාරස්ථානයේ පැවැත්වීමට තීරණය කර ගත්තේ එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත ධර්‍මදේශනාවෙන් අනතුරුවය.

පාස‍ෙල් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම සල්පිල සඳහා කුමන හෝ භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් රැගෙන එන ලෙස දැනුම් දුන් සිරිදාස ගුරුතුමා තමා අතින් ලියන ලද විශාල පෝස්ටර් තොගයක් ළමයින් ලවා ප්‍රදේශය පුරා අලවා කුලියට ගත් ශබ්ද විකාශන යන්ත්‍රයක් වාහනයක බැඳගෙන විශාල ප්‍රචාරයක් ද දුන්නේය.

සිරිත් පරිදි පෝය දින සෑම ළමයෙක්ම තම තමන් රැගෙන ආ බඩු බාහිරාදිය සල්පිල් වේදිකාවේ ලොකු මේසය මත තැබීය. බොහෝවිට දඟවැඩ කරන දඩබ්බර ශිෂ්‍යයකු වූ ගුණදාස ගෙනාවේ කජු පාර්සලයකි. සල්පිල පැවැත්වෙන දින බඩු ගැනීම සඳහා ප්‍රදේශයේ බලවතුන් හා ප්‍රභූවරුන් රාශියක් පැමිණ සිටි අතර ‍ගමේ ගම්මුලාදෑනි තැනද පැමිණ සිටියේය.

වෙන්දේසියේදී ලංසු තබමින් ඒ ඒ භාණ්ඩ නොයෙක් දෙනා මිලට ගත් අතර රුපියල් පහකට අලෙවි කළ කජු මද පාර්සලය මිලදී ගත්තේ ගම්මුලාදෑනි තැන විසිනි. පාසලට ආධාර පිණිස පැවැත්වූ මෙම සල්පිලෙන් සෑහෙන මුදලක් එකතු කර ගැනීමට සිරිදාස ගුරුතුමාට හැකිවූ අතර පසුදා ගුණදාසගේ කජු මුල රැගත් ගම්මුලාදෑනි තැන සිරිදාස ගුරුතුමා හමුවට පැමිණියේය. ඔහු මිලදී ගත් කජුමුල පිළිබඳව චෝදනා මුඛයෙන් පැමිණිලි කළේ එහි ඇත්තේ කජු මද නොව කජු ගසක මුලක් බව කියමිනි. කජු මුල දුටු සිරිදාස ගුරුතුමාගේ දෙඇස් උඩගියේය.

 

 

 

සිරිපාලගේ කවිය

 

ගුණරත්න දොඩන්වල

හුණුපිටිය

ගම්බද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක සාහිත්‍ය හා සිංහල භාෂාව ඉගැන්වීම කළේ බණ්ඩාර ගුරුතුමාය.

ඔහුගේ භාෂා දැනුම හා සාහිත්‍ය ඉගැන්වීමේ ගුණාත්මක භාවය මෙන්ම සාහිත්‍ය ඉගැන්වීමේ දී උපහැරණ දක්වමින් යම් යම් කරුණු කාරණා හුවා දැක්වීම නිසා පාසැලේ ගුරුභවතුන්ගේ ද ගෞරවයට මෙන්ම ආදරයට ද පත් වී සිටියේ ය.

දිනක් බණ්ඩාර ගුරුතුමා ස‍යවෙනි ශ්‍රේණියේ සාහිත්‍ය පාඩම උගන්වමින් සිටිය දී රජකු පිළිබඳ කථාව උපමා උපමේ ය සහිතව පැහැදිලි කළේ ය.

“දිනක් රජ කෙනෙක් රටේ සැරිසරමින් සිටිද්දී ඔබගේ වයසේ ළමයෙකු දැක ළමයා ඇමතුවා. ඒ බුද්ධිමත් ළමයා රජු ඉදිරියේ පැමිණ කවියන් මෙසේ කිව්වා.

මා වැනි බිලි ඳා

වර වර ළඟට කැන් දා

දුක් සැප කුමන දා

අසන නිරිදෝ වන කොහින් දා

කවදත් යමක් විමසා සිටින සිරිපාල නැගිට සිටියේ ය.

“ඔව් සිරිපාල මොකක්ද ප්‍රශ්නේ?”

“සර් ඒ කාලේ එහෙම වුණාට අද අප රටේ නිරින්දෝ නෑනේ නේද?”

“එහෙම සිරිපාල කියන්නේ නිරින්දෝ නැත්නම් කව්රුන් ඉන්නව කියලද?”

“අද නම් රටේ වැඩිහරියක් දිළින්දෝ ජීවත් වෙන්නෙත් බො‍හොම අමාරුවෙන්”

“හරි එහෙනම් සිරිපාලට ඔය රජු මුණගැහිලා කථා කළානම් ඔබ කොහොමද කියන්නේ?”

ළමයි සියලු දෙනාම කුතුහලයෙන් සිරිපාල දෙස බලා සිටියහ.

සිරිපාල සිනාසී මෙසේ කවිය කීවේය.

මා වැනි බිලින් දා

කොට කලිසමක් අන් දා

එය බුරුල් හන් දා

එයට ඉහළින් පටිය බැන් දා

ළමයින් කොක් හඬලා අත්පුඩි ගසමින් සිනා සෙන්නට වූයෙන් බණ්ඩාර ගුරුතුමා පාඩම නවතා පන්තියෙන් පිට විය.

 

Comments