
ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු වන ඩිලන් සමරවික්‍රම වික්‍රමාන්විත ක්‍රියාදාමයක් කරමින් ‘බෲස්’ නමැති යතුරුපැදියෙන් මිනිස් වාසය සහිත මහද්වීප පහ තුළින්ම ගමන් කරමින් ලෝ වටා සංචාරයක නිරත වූයේය. 2010 ජූලි 28 වැනිදා ස්විට්සර්ලන්තයෙන් ගමන් ඇරැඹු ඩිලන් යුරෝපයෙන් අප්‍රිකාවට සේන්දු විය. ජිබුටියෙන් රතු මුහුද තරණයකොට අරාබිකරයට පිවිසුණු ඩිලන් යේමනය,
ඕමානය හරහා ඩුබායිවලට පැමිණියේය. ඩුබායි සිට ඉන්දියාවට ගුවනින් ගිය ඔහු තමා හදා වඩා ගන්නා ඉන්දීය දරුවා බැලීමට ගොස් තවත් අකරතැබ්බයකට
මුහුණ දෙයි. අද එතැන් සිට.....
ඉන්දියාවේ දෙමසකට අධික කාලයක් ගතකළ ඩිලන් ලෝ ප්‍රකට අජන්තා බිතුසිතුවම්, ජන්ජාබයේ අම්රිත්සාර්හි රන් දෙවොල ආදි බොහෝ ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමට ගියේය.
“ඉන්දියාව කියන්නෙ පුදුමාකාර විදිහට බලන්න දේවල් තියෙන රටක්. බෲස්ගේ අලුත්වැඩියාවක් සඳහා ‘කෑල්ලක්’ ජර්මනියෙන්ම ගෙන්වගන්න වූ නිසයි මට වැඩි කාලයක් ඉන්දියාවේ ගත කරන්න වුණේ.”ඉන්දියාවේ එලෙස කල් ගත කරද්දී සිය අනාගත ජීවන සහකාරිය ඉන්දියාවේදී මුණ ගැසේවියැයි ඩිලන් සිහිනෙකින්වත් නොසිතීය.
ඔහුගේ ‘බඹා’ කෙටූ ඉරණම්කාරිය මුණ ගැසුණේ ඉන්දියාවෙදීය. එහි ඇති විස්මයනම් කෝටි සියයකට අධික ජනකායක් වෙසෙන ලෝකයේ සුරූපීම කාන්තාවන්ගෙන් ගහන ඉන්දියාවේදීත් ඩිලන්ට හමුවූයේ ස්විස් රූමතියක වීමයි. ඇය මාර්ටිනා සූචර්ය. සිය දයාබර බිරිය මුණ ගැසීමේ කතාව ඔහු අප හා මෙසේ විස්තර කළේය.
“මං දකුණු ඉන්දියාවේ තියෙන ගෝව ප්‍රාන්තය පැත්තට ගියා ඇවිදින්න. ගෝවේ ඉඳන් කිලෝමීටර් 250ක් පමණ නැඟෙනහිරට වන්නට තියෙනවා හම්පි කියලා පළාතක්... මහා ඓතිහාසික සිද්ධස්ථාන, කෝවිල් දහස් ගණනක් තියෙනවා ඒ පළාතේ. මං දවස් කීපයක්ම හම්පිවල ගත කළා. දවසක් උදේ ගම මැද තියෙන ඉපැරැණි කෝවිල නරඹන්න ගියා. ඒ මොහොතෙදි තමයි මුලින්ම මාර්ටිනා දැක්කෙ. ඇය කලක් තිස්සෙම ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ කල් ගෙවපු බවක් මට පෙනුමෙන් තේරුණා.”
සුරූපි යුවතියක වන මාටිනා ස්විස් රටේ පුවත්පත් කලාවේදිනියකි. ඇය ඩිලන් ලෝ වටා සංචාරය කළ අවධියේ ඇගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කොටසක් අවසන් කිරීමට ඉන්දියාවේ කල් ගෙවමින් සිටියාය. ඩිලන්ට ඇය මුණ ගැසුණේ ඒ අතරතුර කාලයේදීයි.
“එදා කෝවිලේදී මං ඇයගෙන් මුලින්ම ඇහැව්වේ, ‘කෝවිල ඇතුළට යන්න සල්ලි ගන්නව ද?’ කියලා. එයා මා සත පහකට ගණන් ගන්නෙ නැතිව ‘මං දන්නෙ නෑ’ කියලා ගස්සගෙන ගියා. මං ඉතින් ඒව එච්චර හිතන්නෙ නැතිව ගියා කෝවිල බලන්න. ඊට පස්සෙ කෝවිලේ වෙනත් තැනක පටු පියගැට පෙළකදි නැවතත් මූණට මූණ හමු වුණා. මං පස්සට වෙලා ඇයට බහින්න ඉඩ දුන්නා. ඒ වෙලාවෙනම් ඉංග්‍රීසි භාෂාවෙන් ළයාන්විත හඬකින් ‘ස්තූතියි’ කිව්වා. මට ඒ වචනේ උච්චාරණයෙන් තේරුණා මෙයානම් ස්විස් රටේ කෙනෙක් බව. මං ඇහැව්වා, එකපාරටම, ‘ඔයා ස්විට්සර්ලන්තයෙන්ද?’ කියලා. ඇයට හොල්මන්. කළු හමක් තිබෙන මේ මිනිසා එයාගේ රට එක්වරම දැනගත්තේ කොහොමදැයි අහනවා වගේ හැඟීමක් එයාගෙන් පෙනුණා.”
ඉන්පසුව කතාබහට වැටීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයකදී දෙදෙනා ඉතාම කුලුපග වූහ. ඩිලන්ගේ ලෝක සවාරිය ගැන ඇසීමෙන් තුෂ්ණිම්භූත වූ මාටිනා පසුව ඩිලන් හා ප්‍රේමයෙන් වෙළුණාය. එහෙත් ඩිලන්ට ලෝක සංචාරය හමාර වන තෙක් එවැනි දේකට සිත එකලස් කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඔවුන් දෙදෙනාගේ ආදරය මල්ඵල ගැනුණේ ඩිලන්ගේ ලෝක සංචාරය හමාර වී දෙදෙනා 2015 වර්ෂයේ විවාහ වීමෙනි. වර්තමානයේ සුන්දර විවාහ ජීවිතයක් ගත කරන ඩිලන් හා මාටිනාගේ ජීවිත සරලය. ඔවුහූ තවමත් වරින් වර ලෝකයේ සුන්දරත්වය දැකීමට විවිධ රටවල සංචාරයේ යෙදෙති. එක්ව ජීවත් වීමට ස්ථිර වහලක් නොමැති වුවත් ඩිලන්ගේත් මාටිනාගේත් දිවි ගෙවෙන්නේ රෝද හතරේ කැරවෑන් රථයකය. ඉඳුම්-හිටුම් ඇතුළු සියලු අවශ්‍යතා වෙනුවෙන් එය අපූරුවට සකසාගෙන ඇත්තේද ඩිලන් විසිනි. ඔවුන් හැකි හැම තැනම කරක් ගසන්නේ එම කැරවෑන් රථයෙනි.
ඉන්දියාවේදී පෙම්වතිය මුණ ගැසුණු ඩිලන් මීළඟට දකුණු ඉන්දියාවේ සිට කොළඹ වරායට නැව් නැග්ගේය.
“මං ලංකාවෙත් සති හයක පමණ කාලයක් හිටියා. බෲස් රේගුවෙන් නිදහස් කරගැනීමටත් සති දෙකක පමණ කාලයක් ගියා. ඒ කටයුතුවලට හරියට රස්තියාදු වෙන්න වුණා. ඊට පස්සෙ සයිකලෙන් සංචාරය කරද්දි පුදුම නීති ගොඩක්. ඔන්න එක තැනක ‘චෙක්’ කරලා මීටර් පන්සීයක් යන්න නෑ ආයිත් නතර කරලා මුල ඉඳලා ප්‍රශ්න කරනවා. ‘අධි ධාරිතාවලු... අරවද මේවද’ මට උත්තර දීලා ඉවරයක් නෑ. කොහොමහරි මං ලංකාවේ හතර වටේම වගේ යන්තම් ඇවිදගත්තා. ලංකාව ලෝකයේ අනෙකුත් කිසිම රටකට දෙවැනි වෙන්නෙ නෑ. සුන්දරත්වය අතින්නම් මට බය නැතිව කියන්න පුළුවන් මං මේ සංචාරයේදී ගිය අසූ ගානක් වන රටවල් සියල්ල අතරින් කිසිම රටකට ලංකාව දෙවැනි වන්නේ නෑ. ඒ පැත්තෙන් ලාංකිකයකු වීම ගැන මං ආඩම්බර වෙනවා...”
අපේ රටේ සුන්දරත්වය විඳිමින් ලංකාව පුරා කරක් ගැසු ඩිලන් දිනක් කූඩාරමේ රැය පහන් කරමින් සිටියදී වූ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ගැන ද කීවේය.
“ඔන්න මං දවසක් අනුරාධපුරේ රුවන්වැලි සෑයට එපිටින් භූමියේ කූඩාරම අටවගෙන නිදාගත්තා... මං කූඩාරම අටවන්නට කලින් අසල තිබුණු පොලිස් මුර කුටියෙන් අවසරත් ගත්තා. මෙන්න රෑ දෙකට විතර ඇවිල්ලා කෑගහලා මාව ඇහැරෙව්වා. බැලින්නම් පොලීසිය. ඊට පස්සෙ මගේ ලට්ට-ලොට්ට ඔක්කෝම ඇදලා, ප්‍රශ්න කරලා. මහා ගිනි විජ්ජුම්බරයක් කළා. මට ඉතින් මාර තරහයි. මොකද මං සෑහෙන්න මහන්සි වෙලා නින්දට වැටුණා විතරයි. අනෙක මං අවසරත් අරගෙනයි එතැන නැවතුණේ. මං හරිම කලකිරුණා.” ශ්‍රී ලංකාවෙන් පසු ගමන් අරඹන්නෙ කුමන රටකටදැයි සිතමින් සිටියදී ඔහුගේ සහායට පැමිණියේ ඩිලන්ගේ ලොකු තාත්තාගේ පුත්‍රයාය. ඔහු ෂිපින් ලයින් ආයතනයක සේවය කරන්නෙකි.
“මගේ ලොකු තාත්තගේ පුතා කිව්වා ඕනෙනම් බයික් එක මම නොමිලේ සිංගප්පූරුවට යවලා දෙන්නම් කියලා. මං ඉතින් ‘ආ ඒකත් ලොකු දෙයක්නේ...’ කියලා හිතුවා.” ඒ අනුව ඔහු සිංගප්පූරුව බලා යෑමට තීන්දු කළේය.
“සිංගප්පූරුවෙදි මට බෲස් නිදහස් කර ගන්න රේගුවෙන් ඩොලර් 900ක් ගෙවන්න නියම කළා. මං නිකන් කරකවලා අතෑරියා වගේ. අපරාදේ බයික් එක නොමිලේ ෂිපින් කළ එකෙත් තේරුමක් නැති වුණා. සිංගප්පූරුව පොඩි රටක් නිසා වාහන, අරව-මේවා රට ඇතුළට ගන්න ලොකු ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඒකයි එතැන වුණේ. මං සිංගප්පූරුවේ පැය එකහමාරකට වැඩිය ගත කළෙත් නෑ.”
එම කලකිරුණු සිතින් යුතුව ඩිලන්ගේ ගමන්මඟ විවෘත වූයේ මැලේසියාවට ගොස් තායිලන්තය, ලාඕසය, කාම්බෝජය හරහාය.
“තායිලන්තෙදි මං ගියා එරට උතුරු දුෂ්කර පළාතක වෙසෙන ‘කාරෙන්’ කියන සරණාගත ජනකොට්ඨාසය බලන්න. ඒ අය ඇවිල්ලා මියන්මාරයෙන් පිටුවහල් කළ පිරිසක්. කාරෙන් ජනයාට තායිලන්තයෙන් කිසිදු සරණක් නෑ. ඔවුන් බලන්න එන සංචාරකයන්ට මොනවාහරි විකුණලා තමයි ජීවත්වෙන්නෙ. ඔවුන්ගේ විශේෂත්වය බෙල්ල දිගැටියි. හැමෝම වගේ බෙල්ල දිගට දඟර වළල්ලක් දාලායි ඉන්නෙ.”
තායිලන්ත දේශසීමාව පසුකොට ලාඕසයට පිවිසි ඩිලන් කරකවලා අතෑරිය වැනි වූයේ මාර්ග නීති වෙනස්වීම නිසාය.
“සාමාන්‍යයෙන් තායිලන්තයේ වාහන පදින පැත්ත ලංකාවේ වගේ. ඒත් ලාඕසයට ගියාම අනිත් පැත්ත... මං බෝඩර් එකෙන් රටට ඇතුළු වෙලා සාමාන්‍ය පාරක ටික දුරක් යනකොට මට නිකං අමුත්තක් දැනුණා... වාහන ඔක්කොම එන්නෙ ඇඟට. මං ටිකක් නතර කරලා බැලුවා මොකද මේ අය මෙහෙම යන්නෙ කියලා. පස්සෙදියි තේරුණේ මට වැරදිලා කියලා.”
“මං කාම්බෝජෙත් හැම තැනකම වගේ ගියා... පුදුම ජාතියක් ඒ රටේ ඉන්නෙ... ඔවුන් කන්නෙ නැති මසක් නෑ... කොටින්ම කිව්වොත් හුස්මක් වැටෙන්නෙ මොකද්ද... පණ තියෙන දෙයක්නේ. උන් එ්කා මැරුවා කෑවා... හිතාගන්න බෑ කන මස් ජාති ගැන දැක්කම. මට වියට්නාමයට යෑමටත් හරිම ආසාවක් තිබුණා. ඒත් ඒකට එරට බලධාරින්ගෙන් අවසරයක් ලැබුණේ නෑ. මගේ බයික් එකේ අධිධාරිතාව නිසා.”
කාම්බෝජයෙන් නැවතත් මැලේසියාවට පැමිණ එතැන් සිට බෲස්ද බෝට්ටුවක පටවාගෙන ඩිලන් ගමන් කළේ මීළඟ ගොඩබැසීමේ රාජ්‍යය වූ ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතේ උතුරෙන් පිහිටි මේදාන් නගරය බලාය. ඉන්දුනීසියාවට අයත් දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි, ආදි දූපත් රැසකින්ම ගමන් කිරීමට ඩිලන් සමත් වූයේය. එතැනින් පසුව ඩිලන්ගේ අභිප්‍රාය වූයේ ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමටයි. ඊට පෙර ඔහු ඕස්ට්‍රේලියාවට ආසන්නයේම පිහිටි රටක් වූ නැෙඟනහිර ටිමෝරයට ගමන් කළේය. ටිමෝරයේදී ඔහුට මුහුණ දීමට වූයේ තවත් අපූරු අත්දැකීමකටය.