අනූ­න­ව­යෙන් දිවි ගලවා ගත් මුතු­කුඩේ බිසව | සිළුමිණ

අනූ­න­ව­යෙන් දිවි ගලවා ගත් මුතු­කුඩේ බිසව

 ඒ සෙංකඩගල දෙවැනි විමලධර්මසූරිය රජු රජකරන අවදියයි. රජුගෙන් පසු රජකම සඳහා පිරිමි දරුවෙකු ලබා ගැනීම රජුගේ දැඩි බලාපොරොත්තුව විය. රාජ අන්තඃපුරයේ උඩරට ප්‍රභූ පවුල්වල මෙන් ම දකුණු ඉන්දියාවේ නායක්කාර වංශික බිසෝවරුන් ගණනාවක් සිටිය ද ඒ කිසිවෙකුටත් රජුට දාව දරුවෙකු ලැබුණේ නැත. මේ ගැන රජු පසුවූයේ දැඩි කනස්සල්ලෙනි. අලුතින් රජුගේ අගබිසව පදවියට හෙවත් රන්දෝලි තනතුරට පත්වූයේ වත්තේගම ප්‍රභූ පෙළපතකට අයිති මුතුකුඩේ නම් රූබර නව යොවුන් තරුණියකි. ඇය දුටුවන් සිත් වසඟ කරවන ඉතා රූමත් රූපකායක් ඇති තරුණියක විය. කලක් යනවිට මුතුකුඩේ කුමරිය රජුගේ ආදරය බෙහෙවින් දිනාගත් අතර ගැබ් ලකුණු පහළ කළාය. ඇයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස පරිවාර ස්ත්‍රීන් කීපදෙනෙකු සමඟ ඉඳහිට තම දෙමවුපියන් බැලීමට යෑමට රජුගෙන් අවසර ලැබුණේය. සෙංකඩගල සිට මහවැලි ග‍ඟේ ප්‍රකට තොටුපළක් වූ ලේවැල්ල හරහා පරිවාර ස්ත්‍රීන් සමඟ ගොස් ලේවැල්ල ‍තොටුපළේ ඇති ඔරුවෙන් එගොඩ වී දෝලාවේ නැඟී වත්තේගම තම නිවසට ගොස් දින දෙක තුනක් නැවතී ආපසු ඒමට ඇය හුරු විය.

මුතුකුඩේ කුමරිය කාලයක් ගත වූ විට දරුගැබ ‍මෝරා පිරිමි දරුවකු ප්‍රසූත කළාය. ඇයට රජුගෙන් ලැබුණු විශේෂ ආදරය සැලකිල්ල බෙහෙවින් වැඩි විය. රජකම හිමි වන ළදරු කුමරු සමඟ මුතුකුඩේ කුමරිය රජු‍ෙග් බිඳවීමට අන්තඃපුර බිසෝවරු තමන්ට හිතවත් නෑදෑවන ඇමතීන්ගේ උදව් ඇතිව විවිධ කුමන්ත්‍රණ උපක්‍රම යෙදූහ. කුමරු තරුණවියට පත්වීමට පෙර ළදරු කලම රජුට නොදන්වා වත්තේගම යන අතරමඟ මරා දැමීමට ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කළහ. මේ කුමන්ත්‍රණය අන්තඃපුර ළඳුන් කීපදෙනෙකු හා ඇමතිවරුන්ට සීමා වූ අතිශය රහසක් විය.

‍ෙම් කිසිවක් නොදන්නා මුතුකුඩේ කුමරිය වෙනදා මෙන් ම රජුගේ අවසරය ඇතිව ළදරු කුමරු වඩාගෙන සෙංකඩගල රජවාසල සිට ලේවැල්ල තොටුපළ හරහා වත්තේගම තම නිවහන කරා යාමට සූදානම් වූවාය. කුමරු කැටුව යන බැවින් ඇගේ ආරක්ෂාවට රාජපුරුෂයන් කීපදෙනෙකු ද මේ වනවිට යොදවා තිබුණි.

තොටියා ලේවැල්ල තොටුපළට පැමිණි රාජදූත පිරිස වහා හඳුනා ගත්තේය. තොටුපළ හරහා එගොඩ මෙගොඩ ගියේ එක ඔරුවක් බැවින් රජබිසව, ළදරු කුමරු හා පරිවාර ස්ත්‍රීන් දෙදෙනෙකු පළමුවරට එගොඩ කිරීමට තොටියා එකඟ විය.

“පළමුව අගබිසවුන්නාන්සේ එතෙර කරන්නම්. දෙවැනි සැරේ පරිවාර රාජ ළඳුන් ගෙන යන්නම්. ඒ අය එගොඩ ඉවුරට ගියාම තුන්වැනි සැරේට ඇවිත් රාජපුරුෂයන් ගෙන යාමට කටයුතු කරන්නම්. එහෙම ‍හොඳද?”

අගබිසව රාජපුරුෂයන් හා පරිවාර කාන්තාවන් සමඟ මොහොතක් කතාබහ කර තොටියාගේ යෝජනාවට එකඟත්වය පළ කළාය. වර්ෂා කාලය නිමා වූ විගස බැවින් ගඟ කටගහ පුරා බොරදිය පිරී තිබුණේය. පළමුව මුතුකුඩේ කුමරිය ළදරු පුත් කුමරු හා පරිවාර ස්ත්‍රීන් තුන් දෙනෙක් ඔරුවට නැඟ ඉඳගත්හ. බොරදිය කපාගෙන ඔරුව ගඟදිය හරහා එගොඩට යෑමට විය. ගඟ මැදට පැමිණි ඔරුව දරුණු දියසුළියක් මැදින් යාත්‍රා කරද්දී ඔරුව කැරකී ඔරුවේ ගන් කළ මුළු පිරිස ම ගඟට බිලිවිය. රජබිසව ළදරු කුමරු තුරුලු කරගෙන ආධාර ඉල්ලා කෑගැසීමට වූවාය. පෙරළුණු ඔරුව ගඟ පතුලට ගිය අතර තොටියා පේනතෙක් මානයක නොමැතිය. රාජ ආරක්ෂකයෝ තොලකට වේළී ඇඟ ගැහෙමින් ඉවුරේ සිටිති. දියේ පාවෙන රජබිසව බේරා ගැනීමට ගඟට පැන පිහිනීමට ඔවුනට වේලාවක් ලැබුණේ නැත. ජීවිතය ඉල්ලා කෑගසන බිසවගේ අ‍ඳෝනාව ගංඉවුරට පැමිණ ඔරුව එනතුරු බලාසිටි තරුණයෙකුට වහා දක්නට ලැබුණි. දියේ ගසාගෙන යන්නේ කවුරුදැයි ඔහු දැන සිටියේ නැත. ඇසිපිය හෙළන සැණින් ගඟට පැනගත් තරුණයා දියේ පාවී යන බිසව හා ළදරු කුමරා තම පිට මත තබා ගෙන වහා ගංඉවුරට රැගෙන ආවේය. රාජපුරුෂයෝ මෙම තරුණයා වටකොට ගෙන ඔහු ප්‍රශංසා කිරීමට වූහ.

“ඔබ කවුද?” රාජ බිසව තරුණයාගෙන් ප්‍රශ්න කළාය.

“අප උඩදුම්බර මඬුගල්ලේ පදිංචි අයෙක්. නෑදෑ ගෙදරක යන අතරතුරයි මේ ආවේ.”

ඔරුව පෙරළුණු පසු තොටියා අතුරුදන්වීම කාගෙත් කතාබහට ලක්විය. ඔහු අන්තඃපුර ළඳුන්ගෙන් අල්ලස් ලබාගෙන කුමන්ත්‍රණයට හවුල්වී අගබිසව හා ළදරු කුමරු මරා දැමීමට කුමන්ත්‍රණ කළ බව කාගෙත් අදහස විය. මේ සිද්ධිය මොහොතකින් රජවාසලට සැලවිය. රාජපුරුෂයෝ තොටුපළ වෙත වහා ළඟා වූහ.

පලායමින් සිටි තොටියා රාජකීය අසරු හමුදාවට කොටු විය. අන්තඃපුර ළඳුන්ගේ තද බලකිරීම උඩ ලේවැල්ල ගඟ මැද දී ඔරුව ගිල්වා අගබිසව හා ළදරු කුමරු මරා දැමීමට තමා එකඟ වූ බව තොටියා පාපොච්චාරණය කළේය. අගබිසව හා ළදරු කුමරුගේ ජීවිතය බේරා දුන් මඬුගල්ලේට රජු බෙහෙවින් ප්‍රශංසා කළේය. කුමන්ත්‍රණයට මුල් වූ අන්තඃපුර බිසෝවරුන් කීපදෙනෙකු ම කස පහරදී හිස මුඬුකොට අන්තඃපුරයෙන් නෙරපන ලදි. අන්තඃපුර ළඳුන්ගේ කුමන්ත්‍රණයට මැදිහත් වූ ඇමැතිවරයෙකු තනතුරෙන් පහකොට දේපොළ රාජසන්තක කොට හිස ගසා දමන ලදි. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ තොටියා මහනුවර නගරයේ වීදි ඔස්සේ අත් බැඳ වධ බෙර ගසමින් රැගෙන ගොස් ගෙල සිඳ මරා දැම්මේය. අගබිසව හා ළදරු කුමරු බේරා ගත් මඬුගල්ලේ තරුණයා රජවාසල මහගබඩා නිලමේ තනතුරට පත්කොට උඩුදුම්බරින් ඔහුට නින්දගම් රාශියක් පවරා දුන්නේය. පසුකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් කුණ්ඩසාලේ රජවුයේ ‍ග‍ඟේ ගිලී ජීවිතය බේරාගත් ළදරු කුමරුය. 

Comments