‘ගමට කැකිරි’ පසෙක ලා වොලිබෝලයෙන් කොළඹ එන තඹාන කනිටු විදුහල | සිළුමිණ

‘ගමට කැකිරි’ පසෙක ලා වොලිබෝලයෙන් කොළඹ එන තඹාන කනිටු විදුහල

 ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් අධිෂ්ඨානය, උත්සාහය, කැප වීම සහ මනා පුහුණුව ඉතා අවැසි වෙයි. ක්‍රීඩාවේ මේ සිද්ධාන්තය සනාථ කළ පුවතක් වාර්තා වූයේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයට අයත් අතිදුෂ්කර පිටිසර පාසලක් වන තඹාන කනිටු විදුහලෙනි. ඒ, එම විදුහල් බාලිකාවන් ඉකුත්දා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති 2017 විද්‍යාලයාන්තර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගයේදී නන්විධ පහසුකම්වලින් පිරී-ඉතිරී ගිය උසස් විදුහල් සියල්ල අබිබවමින් අවුරුදු 16න් පහළ බාලිකා වොලිබෝල් තරගයෙන් ඌව පළාත් ශූරතාව දිනාගැනීමත් සමඟිනි. මේ ජයත් සමඟින් ඔවුන් 2017 සමස්ත ලංකා 16න් පහළ බාලිකා වොලිබෝල් තරගාවලියේදී ඌව පළාත නියෝජනය කිරීමේ භාග්‍යයද හිමි කරගෙන ඇත.තඹාන කනිටු විදුහල යනු මොනරාගල නගරයේ සිට කිලෝමීටර් තිස්පහක් පමණ දුරින් මහ වනයෙන් වට වූ පිටිසර ගම්මානයක පිහිටි කුඩා පාසලකි. ගමනාගමන දුෂ්කරතාව මෙන්ම එහි අඩුපාඩුකම්ද බොහෝය. ක්‍රීඩාවට තබා ඉගෙනීමටවත් ප්‍රමාණවත් පහසුකම් මේ දරුවන්ට නැත. ක්‍රීඩා කිරීමට ඇත්තේ ගල් බොරලුවලින් ගහන කුඩා පිට්ටනියකි. ක්‍රීඩා උපකරණ වශයෙන් කිසිවක් එහි නැත. ‘ක්‍රීඩා ගුරුවරයකු’ යනු එම පාසලේ දරුවන්ට මෙතෙක් සිහිනයක් පමණි. ඉරි තැළී මතුපිට අවපැහැ ගත් පරණ වොලිබෝලයද නූල් විසිරීගිය දැලද ඔවුන්ට ඇති එකම සම්පත් වෙයි. ක්‍රීඩා පාවහන් සිහිනෙන්වත් දැක නැත. ක්‍රීඩා ඇඳුම්ද එසේමය. එහෙත් මේ දුෂ්කරතා මැඬගෙන ඔවුන් ඉදිරියටම ගෙන යෑමට ඔවුන් සතු ධෛර්යය, අධිෂ්ඨානය, උත්සාහය හා කැපවීම සමඟ දිනපතා තැබූ අඛණ්ඩ පුහුණුව සමත් විය. ඌව පළාතේ ප්‍රබල විදුහල්වලින් මේ තරගයට ඉදිරිපත් වූ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ඔවුන් සමත් වූයේ ඒ අප්‍රතිහත ධෛර්යය නිසාය. කැලෑවේ පිපී ඌව පළාතම සුවඳවත් කළ ඒ මල් කැකුළු සොයා අප ගියේ හෙට දින ලක්දිවම වර්ණවත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන ඔවුන් දිරිමත් කරනු රිසියෙනි.

එහිදී විදුහල්පති ආර්.එම්. වික්‍රමසිංහ මහතා අප හා කරුණු දැක්වූයේ මෙලෙසිනි:

“මේ දරුවන් ඉගෙනගැනීමට මෙන්ම ක්‍රීඩාවටත් ඉතාම දක්ෂයි. එහෙත් ඒවා දියුණු කරගැනීමට පහසුකම් ඉතාම අඩුයි. ක්‍රීඩා උපකරණ කියා කිසිවක් නැහැ. අපිම සොයාගත් ඒවා තමයි දැන් පාවිච්චි කරන්නේ. ක්‍රීඩා ගුරුවරයෙක් නෑ. ගුරු මණ්ඩලයේ හැම දෙනාම එකතු වී ක්‍රීඩා පුහුණු කරන්නේ. වොලිබෝල් පුහුණු කරන්නේ කලා උපාධිධාරී ගුරුවරියක්. ඇයගේ කැපවීම නිසා මේ දරුවන්ගේ උනන්දුව වැඩි වුණා. එහෙත් පාසලට ක්‍රීඩා පිටියක් නෑ. ගල්බොරලු කුඩා පිට්ටනියේ අපහසුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඔවුන්ට ක්‍රීඩා පාවහන්, ක්‍රීඩා ඇඳුම් කිසි දෙයක් නෑ. ක්‍රීඩා කරන කොට පාවල යටි පතුල් ගල්වලට කැපිලා තුවාල වන අවස්ථාත් තිබෙනවා. ඒත් ඔවුන් පසුබට වෙන්නේ නෑ. අවුරුදු කීපයක්ම වොලිබෝල් තරගවලට දරුවන් ඉදිරිපත් වුණා. ඒත් අපට පළාත් තරගවලින් එහාට යෑමට මෙතෙක් නොහැකි වුණා. මේ කණ්ඩායම තෝරාගත්තේ ඉතා අපහසුවෙන්. 16න් පහළ සුදුසුකම් ලැබූ ගැහැනු ළමයින් හත්දෙනයි හිටියේ. ඔවුන් සියල්ලම කණ්ඩායමට ගත්තා; දිනපතා පුහුණු කළා. කෙසේ හෝ මෙවර අපට ඉදිරියට යන්න හැකි වුණා. මේ දරුවන්ට කොළඹදී පැවැත්වෙන තරගයට යන්න ක්‍රීඩා ඇඳුම් කට්ටලයක්, ක්‍රීඩා පාවහන් අවශ්‍යයි. එහෙත් ඒවා සකසා දෙන්න තරම් හැකියාවක් මේ දරුවන්ගේ දෙමවුපියන්ට නෑ. ඒ සඳහා උදවු කරන්න කවුරුන් හෝ පින්වතකු ඉදිරිපත් වන්නේ නම් එය මේ දරුවන්ගේ අනාගතයට කරනු ලබන මහා මෙහෙයක් මෙන්ම පින්කමක්. මා ඉල්ලා සිටින්නේ ඒ උදවුව කර දෙන ලෙසයි.”

ක්‍රීඩා භාර ආචාරිනි කේ.එම්.ආර්. මල්කාන්ති මෙණෙවිය පැවසුවේ තමා මේ පාසලට පැමිණියේ ඉතිහාස විෂයය ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරියක ලෙස බවයි. එහෙත් මෙහි පැමිණි පසු එයට අමතරව ක්‍රීඩා අංශයද භාරගැනීමට ඇයට සිදු විය.

“පාසල ඇරුණු පසු පැය දෙකක් පමණ වොලිබෝල් පුහුණු කළා. පසුගිය වසරවල කොට්ඨාස, කලාප තරගවලට ඉදිරිපත් වුණා. ඒ මේ අවුරුද්දේ පුහුණු වීමේ වෙනසක් කළා. අපි උදේ 6.30ට පුහුණුවීම් ආරම්භ කර, 7.30 දක්වා පැයක් පුහුණු වුණා. නැවත පාසල ඇරුණ පසු 2.00 සිට 4.30 පමණ වන තෙක් තවත් පැය දෙකක් පමණ පුහුණු වුණා. නිවාඩු දිනවල උදේ සිට පැය තුනක් පමණ පුහුණු වුණා. මේ පුහුණුවීම අඛණ්ඩව පසුගිය මාස කීපයේම කළා. දරුවන්ගේ කැපවීමත්, අධිෂ්ඨානයත්, උත්සාහයත් අඛණ්ඩව ලැබූ පුහුණුවත් නිසා මේ වර අපට පළාත් තරග පසු කොට සමස්ත ලංකා තරගය දක්වා යෑමට හැකි වුණා.

“සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වීම සඳහා අප දැන් අඛණ්ඩව පුහුණු වනවා. බොහෝ අඩුපාඩු මැද්දේ තමයි අප මේ ගමන යන්නේ. නගරයේ දරුවන් සමඟ තරග කිරීමට නම් හොඳ ආත්ම අභිමානයක් ඔවුන් තුළ ඇති කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ට හොඳ ඇඳුම් කට්ටලයක්, ක්‍රීඩා පාවහන් අවශ්‍යයි. ඒ අඩුපාඩු සපුරා දෙන්නේ නම් ඔවුන්ගේ ජයග්‍රහණයට එය මහඟු අත්වැලක් වේවි. අපේ අපේක්ෂාව මෙවර මේ ඉසවුවේ ශූරතාව ඌව පළාතට ගෙනෙන්නයි.”

කණ්ඩායමේ නායිකා එච්.එම්. ප්‍රසාදිනී මධුසංකා මෙසේ පැවසුවාය:

“අපට සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම ගැන හරි සතුටුයි. ඌව පළාත් තරගයට කණ්ඩායම් තිහක් සිටියා. ඒවා කණ්ඩායම් හතරකට බෙදලා තරග කළේ. අපට කණ්ඩායම් අටක් සමඟ තරග කරන්න සිදුවුණා. හැම තරගයක්ම අප ජය ගත්තා. අපට වඩා පහසුකම් ඇති මහා විද්‍යාල ඒ අතර තිබුණා. කෙසේ හෝ අපට අවසානයේ බුදුරුවගල මහා විද්‍යාලය සමඟ තරග කරන්න සිදු වුණේ. ඒ තරගය අප පහසුවෙන්ම ජයගත්තා. මේ ජයග්‍රහණ ලබාගන්න අපේ ක්‍රීඩා ගුරුතුමිය කළ කැප වීම අපමණයි. එසේ නැති නම් අපට මේ ජයග්‍රහණය අත් කරගන්න නොහැකි වෙයි. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් අපට උදවු කරමින් අප දිරිමත් කළා. අපේ ප්‍රණාමය ඒ සඳහා පළ කරනවා. අපට ක්‍රීඩා ඇඳුම්, පාවහන් නැති වුණත් මේ වර්ෂයේ සමස්ත ලංකා ශූරතාව ඌව පළාතට ගෙනෙන්නයි අපේ අපේක්ෂාව.”

මේ දිරිය දැරියන්ගේ උදාර අපේක්ෂාවන් එලෙසම සඵල වේවායි පතමින් අපි ඔවුන්ගෙන් සමු ගතිමු. ඔවුන්ගේ ඌනතා සපුරාලීමට ඔබටත් යම් පමණකින් හෝ දායක විය හැකි නම් එය මේ ‘කැලෑ මල්වල’ සුවඳ දියත දක්වා විහිදී යෑමට ඔබ කරන මහඟු දායකත්වයක් බව මෙහි සටහන් කර තබමු.

(මේ ලිපිය සැකසීමේදී උපකාර කළ මඬුල්ල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වයි.පී. කුලරත්න මහතාට අපගේ ප්‍රණාමය හිමි වේ)

ඡායාරූප සහ විස්තරය
කේ.බී. රත්නායක මොනරාගල

Comments