බදු අවුල ඉවරයි | සිළුමිණ

බදු අවුල ඉවරයි

අඩු ආදායම්ලාභීන් පීඩාවට පත් කරමින් සහ රජයේ ආදායම අඩු කරමින් ක්‍රියාත්මක වූ බදු ක්‍රමය වෙනුවට, ඍජු බදු වැඩි කර, වක්‍රබදු අඩු කිරීම ඉලක්ක කරගනිමින් නව දේශීය ආදායම් පනත ඉදිරිපත් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ලංකාවේ බදු ආදායමෙන් 80%ක්ම වක්‍ර බදු ලෙස ලබාගන්නා අතර, ඍජු බදු ලෙස ලැබෙනුයේ 20%ක් පමණක් බව කී අමාත්‍යවරයා මේ නිසා රටේ සාමාන්‍ය වැටුප් ලබන ජනතාව මෙන්ම එදාවේල හම්බකරගන්නා ජනතාවද දැඩි අපහසුතාවට පත් වූ බවත්, මේ තත්ත්වය තේරුම්ගෙන වක්‍ර බදු ප්‍රමාණය 60% දක්වාද, ඍජු බදු ප්‍රමාණය 40% දක්වා ද වෙනස් කිරීමට කටයුතු කරන බවත් පැවැසීය.

ලෝකයේ බොහෝ රටවල් සැලකීමේදී එම රටවල වක්‍ර බදු ප්‍රමාණයට වඩා වැඩි බදු ප්‍රමාණයක් ඍජු බදු ලෙස ලබන බව කී අමාත්‍යවරයා, මැලේසියාව ඍජු බදුවලින් 80%ක ආදායමක් ලබන බවත්, එහි වක්‍ර බදු 20%ක් වන බවත් කීවේය. එමෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල්ද මේ තත්ත්වය මැනවින් පාලනය කර ඇති බව කී අමාත්‍යවරයා,‍ මේ තත්ත්වය තේරුම් ගැනීමෙන් පසු රජයේ ආර්ථික සැලැස්ම යටතේ ඊළඟ වසර තුන ඇතුළත වක්‍ර බදු ආදායම 60% දක්වා අඩුකර ඍජු බදු ආදායම 40% දක්වා වැඩිකිරීමට කටයුතු කිරීමද තමාගේ මූලික අරමුණක් බව ද ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් රටට අයවැයක් ගෙන ආ විටදීද නීතිරීති ගෙන එන්නේ බදු ගෙවන මිනිසාට තවත් බදු පැටවීමත්, පී‍ඩාවට පත්ව සිටින ජනතාවට තවත් බර පැටවීමටත් බව කී අමාත්‍යවරයා ඒ නිසා සෑම කල්හි ම රජයට බදු ගෙවූ 20%ටත් වැඩි බරක් නොවන පරිදි අනික් වක්‍ර බදු ගෙවන 80%ටත් සහන සලසාදීමේ අරමුණින් මේ බදු ජාලය පුළුල් කිරීමට කටයුතු කළ බවද කීවේය.

මේ වනවිට ක්‍රියාත්මක වැට් බද්ද, ජාති‍ය ගොඩනැගීමේ බද්ද, රේගු බද්ද වැනි බදු මගින් වැඩිබරක් පැටවෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට බවත්, කුළී වැඩ කරන ජනතාව, පහළ මට්ටමේ ආදායම් ලබන ජනතාව මෙන්ම කෝටිපතියන්ටද කළු සල්ලි සොයන ව්‍යාපාරිකයන්ටද එකම බද්දක් අය කරන බවත් එය අසාධාරණ, පීඩාකාරී දෙයක් බව ද කීවේය.

ඉහළ ආදායම් ලබන අය ඍජු බදුවලට ලක් කිරීම වරදක් නොවන බව කී අමාත්‍යවරයා නව බදු පනත රටේ අවශ්‍යතාවක් බවද කීවේය.

පසුගිය කාලයේදී ඇතැම් පුද්ගලයන්ට කිසිම හේතුවක් නැතිව ආදායම් බදුවලින් නිදහස් කරන ක්‍රමවේද තිබූ බවත්, එසේ නොවී සාධාරණ සමාජයක් වෙනුවෙන් සැ‍මට එක සමාන නීතියක් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක් මත යම් ආදායමක් කෙනකුට ලැබෙනවා නම් ඔහුගෙන් බදු අය කරගැනීම කළ යුතු බවද කීවේය.

අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව බදු පනත යටතේ සාමාන්‍ය ජනතාවට විශාල සහනයක් ලැබෙන බව ද කීවේ ය.

 මලික් චමින්ද ධර්මවර්ධන

Comments