
රට වට කර මහ සයුර තිබුණද එහි මත්ස්‍ය අස්වැන්න නෙළාගැනීමට හැම කෙනකුටම නොහැකිය. දකුණු පළාතේ මිරිස්ස ධීවර වරාය ආශ්‍රිතව ජනතාව ධීවර රැකියාවේ නියැළී ආර්ථිකය ගොඩනඟාගන්නා විට මිරිස්සට පසුව ලංකාවේ ලොකුම ධීවර වරායයැයි කිව හැකි යාපනයේ මයිලඩි ධීවර වරාය වසරක් දෙකක් නොව වසර විසිපහට වැඩි කාලයක්ම අතහැරදමා තිබුණේය. එය අතහැරදමා තිබුණායැයි කීම එක් අතකින් වැරදිය. උතුරු නැගෙනහිර යුද්ධය දරුණු වීමත් සමඟ මයිලඩි ධීවර වරාය ආශ්‍රිත භූමි ප්‍රදේශය යුද හමුදාව යටතට ගැනිණි. කාලය ගෙවී ගියේය. යුද්ධය නිමා වූයේය. එයින් වසර විසි හතකට පසු රජයේ පූර්ණ මැදිහත්වීම ඇතිව යළිත් මයිලඩි ධීවර වරාය ජනතා අයිතියට පැවරීම පසුගියදා සිදු විණි. යාපනය ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමේ අරමුණින් මුදාහළ බිම් ප්‍රදේශ අක්කර පනස්හතරකි.
මයිලඩි ධීවර වරාය ආශ්‍රිත මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදුණු ජනතාව යළිත් එහි පැමිණියේ අවුරුදු විසිහතකට පමණ පසුවය. මේ එවැන්නකුගේ අත්දැකීමකි. ඔහු මුතුකුමාරන් කුලවීරසිංහම්ය...
“අපි මුහුදු රස්සාව කරලා ජීවත් වුණ අය. ඒත් යුද්ධයත් එක්ක අපිට මේ පළාතෙන් යන්න වුණා. මම හැමදේම අතහැරලා දරුවොත් එක්ක පේදුරුව තුඩුව ප්‍රදේශයේ පදිංචි වුණා. අවුරුදු ගානකට පස්සේ මේ ප්‍රදේශය ජනතාවට භාර දෙනවා කියලා දැනගත්තම අපි අද මෙහි ආවා. අපේ ගම් බිම් දැක්කම සතුට දරාගන්න බැහැ. අපි ධීවරයෝ ඒ හැරුණ විට වෙන රස්සාවක් කරන්න අපි දන්නේ නැහැ. ආයෙමත් ධීවර රස්සාව පටන් ගන්න අපිට මූලික ආම්පන්න ටික කවුරුන් හෝ ලබා දෙනවා නම් එය අපට විශාල පිටිවහලක්. මම මේ ප්‍රදේශයට ආවේ අවුරුදු විසිහතකට පස්සේ...” මුතුකුමාරන් පවසන්නේ තමන්ගේ ගම්බිම් දැකගැනීමේ සතුට විඳිමිනි.
ඔහු පමණක් නොව, මයිලඩි ධීවර වරාය ජනතා අයිතියට පැවැරීමේ උත්සවයට තවත් බොහෝ අය පැමිණ සිටියේය. ඒ අතර වැල්වැටිතුරේ සිට පැමිණි අම්බදරාසා ජීවමතී මෙසේ පැවැසුවාය...
“මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. එක්කෙනෙක් අතුරුදන්. ඒ පුතා අදටත් ආගිය අතක් නැහැ. මෙහෙන් ගියාට පස්සේ අපි එක එක තැන්වල හිටියා. දැන් ඉන්නේ වැල්වැටිතුරේ. කරන්නේ මොනවද රස්සාවට මොනවා කරන්නද කියලා අපිට හැඟිමක් තිබුණේ නැහැ. ආයෙත් අපිට බයක් සැකක් නැතිව ගමට ඇවිල්ලා අපේ රස්සාව පටන් ගන්න පුළුවන්. හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා.” ජීවමතී පවසන්නේ දෑසේ නැඟි කඳුළක් පිසදමමිනි.
මයිලඩි ධීවර වරාය ජනතා අවයිතියට පැවරීමත් සමඟ ඒ ආරංචිය කන වැකීමෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශය අතහැර ගොස් සිටි පදිංචිකරුවෝ යළිත් එහි පැමිණෙන්නට වූහ. මේ පැමිණි අය අතර එදවස කුඩා වියෙහි පසු වූවෝ දැන් වැඩිහිටියෝය. ඇතැම් වැඩිහිටියෝ දැන් ජීවතුන් අතර නැත. එහෙත් ජීවත්ව සිටින්නවුන් එහි පැමිණ සිටියේ අපමණ සතුටකිනි.
මයිලඩි ධීවර වරාය යළිත් ජනතා අයිතියට පැවරීමේ උත්සවයට පැමිණි බොහෝ දෙන දැන් ඔවුන්ගේ හෙට දවස ගැන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින්නාහ. පෙර දවස මේ බිම අතැර ගිය පවුල් පනහක පමණ සාමාජිකයෝ එහි පැමිණ සිටියහ. ඒ අතර සිටි ශිවා අප හා කතාවට එක් වූයේය...
“ආච්චිලා සීයලා අපි පොඩි කාලේ කිව්වා අපිට අපේම කියලා ඉඩම් තියෙනවා කියලා. මගේ තාත්තා මට කිව්වා එයාලා බොහෝම නිදහසේ ධීවර රස්සාව කරගෙන හිටියා කියලා. තාත්තා කිව්වේ මහ ගෙවල් තිබුණේ මයිලඩි වරාය ආසන්නයේම කියලයි. ඒත් අද මෙතනට ආවම එහෙම ගෙවල් තිබුණද කියලා හිතාගන්න වත් බැහැ. දැන් තියෙන්නේ පොඩි කැලෑවක්. මේවා පිළිවෙළක් වුණාට පස්සේ අපි ගෙයක් හදාගන්නවා. අපේ පරම්පරාවම කළේ ධීවර රස්සාව. මමත් ඒ රස්සාවම මෙහෙ පටන්ගන්නවා. අපිට දැන් ආයෙමත් හෙට ගැන හිතන්න පුළුවන්. අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න පුළුවන්...” ශිවා පවසන්නේ දහසක් බලාපොරොත්තු හිත රඳවාගනිමිනි.
ත්‍රස්තවාදීන්ට බියෙන් ගම්බිම් අතැර ගිය මේ මිනිස්සු අද නිදහස භුක්ති විඳිමින් සිටින්නාහ. මුදාහළ ප්‍රදේශයේ ඇවිදිමින් ඔවුහු තම තමන්ගේ ගේදොර තිබුණු තැන් සොයන්නාහ. දැන් එහි පැහැදිලිවම දැකීමට ඇත්තේ අම්මාන්කුලම් කෝවිලේ නටබුන් පමණි. ඔවුහු හෙට දවස ගැන දැන් සැලසුම් කරන්නාහ. මයිලඩි ධීවර වරාය ආශ්‍රිත භූමිය නිල වශයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් ඒම ලියවිල්ල යාපනයේ දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාට භාර දෙන ලදි.
මේ සම්බන්ධව අදහස් දක්වන යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතා මෙසේ පවසන්නේය...
“මේ ඉඩම් භාර දීමේ මූලිකම අරමුණ තමයි මේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම. අවුරුදු ගණනාවක් තිස්සේ මේ මිනිසුන් මෙම ප්‍රදේශවලින් බැහැරව සිටියේ. දැන් යුද්ධයක් නැති රටේ සාමය සංහිඳියාව ජනතාව තුළ ඇති කිරීමයි කළ යුත්තේ.
මේ සියලු කටයුතුවලින් අප අවසානයේ බලාපොරොත්තු වන්නේ එයයි. මයිලඩි ධීවර වරාය යළි ජනතාවට පැවරීමෙන්් කන්කසන්තුරේ, පලාලි අවට ධීවර ජනතාවට රැකියා අවස්ථා රැසකට මං විවර වෙනවා. අද මෙතැනට පවුල් පණහක් පමණ පැමිණ සිටිනවා. මේ අය වෙනුවෙන් අපට කළ හැකි උපරිම සේවය අප කරනවා...” හෙට්ටිආරච්චි මහතා පවසන්නේය.
කලක් පාළුවට ගිය මයිලඩි වරායේ දැනට ඇත්තේ බෝට්ටු දෙක-තුනක් පමණි. එහෙත් තව කිහිප දිනකින් ඒ තතත්වය වෙනස් වනු ඇත. තවමත් මේ ධීවර ජනතාව සිටින්නේ බොහෝ අඩු-පාඩු සහිතවය. රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන මඟින් මයිලඩිවල ධීවර ජනතාවට අවශ්‍ය ධීවර ආම්පන්න ලැබේ නම් ඔවුන්ගේ හෙට දවස වඩා සමෘද්ධිමත් වනු ඇත.