ජිබුටි පොලිස් නිල­ධා­රියා මඩ වළ­කට | සිළුමිණ

ජිබුටි පොලිස් නිල­ධා­රියා මඩ වළ­කට

 

නොයෙකුත් කරදර මධ්‍යයේ යේමනයට ඇතුළු වීමේ අවසරය ලබා ගැනීමෙන් පසු ඩිලන් සහ මාටින් තවදුරටත් ජිබුටියේම කරක් ගැසූහ. එහිදී ඩිලන්ට නොසිතූ අලකලංචියකට මුහුණ පෑමට සිදු වූයේ ජිබුටි පොලිස් නිලධාරියෙකුගේ වැරැදි ක්‍රියාකලාපය නිසායි.

“ඔන්න දවසක් උදේක මම මාටින් සමඟ ජිබුටි ආපන ශාලාවකට ගොඩ වුණා කෑම කන්න. අපි දෙන්නා අපේ අත්දැකීම්, තොරතුරු කතාබහ කරමින් උදේ ආහාර ගන්නා සූදානම් වුණා. ඊට පෙර දිනයේ මං ගත්තු ඡායාරූප වගයක් ගැන කිව්වම මාටින්ට ඉවසිල්ලක් නෑ ඒවා බලන්න. ඉතින් මං ගියා ආපන ශාලාවෙන් ඉදිරිපිට පාරේ අනෙත් පැත්තෙ නතර කර තිබූ බෲස්ගේ පෙට්ටියක දාලා තිබුණ කැමරාව අරන් එන්න. එමින් ගමන් කැමරාවේ අවශ්‍ය පින්තූරත් පිරික්සමින්මයි ආවේ. ආපන ශාලාවට ඇතුළු වෙනවත් එක්කම වගේ කවුදෝ කෑගසමින් මගේ කමිසයෙන් අදිනවා මට දැනුණා. මං හැරිලා බලනකොට හිඟන්නෙක් වගෙ මහ අප්‍රසන්න පෙනුමක් තියෙන වැහැරුණු පුද්ගලයෙක් මගේ කමිසෙන් ඇදගෙන. ඔහු මහ හයියෙන් ප්‍රංශ බසින් කෑගසමින් කියපු දේවල් මට තේරුණේ නෑ. ඒත් ඔහුගේ කටින් පිටවූ මත්පැන් ගඳ නිසා මං හිතුවා මේ මත්පැන් බොන්න සල්ලි මදිවෙලා මගෙන් සල්ලි ඉල්ලනවා වෙන්න ඇති කියලා. මට කරදර නොකර ඉන්න කියලා මාත් කෑගහලා කිව්වා. ඊට පස්සෙ එ්කා මගෙන් මිදිලා මාටින් ගාවට ගියා. ආයිත් ඒ යකා ඇවිත් ඉස්සෙල්ලටත් වඩා තදින් මාව අල්ලගත්තා.”

සෑම මොහොතකම නිදහස්, සාමකාමී දිවියකට ප්‍රිය කරන ඩිලන්ගේ රතු කට්ට පැන්නේ දිගින් දිගටම ජිබුටි වැසියාගෙන් එල්ල වූ තාඩන-පීඩන නිසාය.

“මං ආයිත් දෙපාරක් හිතුවේ නෑ.... තල්ලු කරලා දැම්මා ඕන දෙයක් වෙච්චදෙන් කියලා. මිනිහා බීලත්නේ හිටියෙ’’ හෙණකඳයා වගේ වැටුණා අසල තිබුණ මඩ වළකට. හැබැයි ඔළුව එහෙම වැදුණනම් ලොකු අනතුරක් වෙන්නත් තිබුණා. එ්කා ඇඳගෙන හිටියේ සුදට හුරු ඇඳුමක්. මඩම මඩ පාටයි දැන්. මෙන්න මේකා මට සාප කරමින් නැවතත් නැගිටලා මගේ ඇඟට කඩාපැන්නනේ යකෙක් වගේ.”

පසුව ආපන ශාලාව ඉදිරිපිට පුංචි දබරයක වෙස් ගැනීම නිසා ආපන ශාලා හිමිකරු සහ අවට සිටි පිරිස මැදිහත් වී බේබද්දා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

“පස්සෙ ඒ බේබද්දා හිමින් සැරේ ඇදිලා ගියා... අපි දෙන්න ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ප්‍රශ්නෙ ඉවරයිනේ කියලා හිතලා කෑම කන්න ගත්තා...” ඩිලන් පවසයි.

එහෙත් තමා සහ මාටින් දෙස අවට සිටියවුන් බැල්ම හෙළුවේ උන්මත්තකයන් දෙදෙනකු දෙස බලන්නාක් මෙනි. එය කිසිත් වරදක් නොකළ ඔවුන් දෙදෙනාට තේරුම් ගත නොහැකි ප්‍රහේලිකාවක් විය. එහෙත් ඒ උන්මත්තකයාට අපගෙන් අවැසි වූයේ කුමක් ද යන්න ඩිලන්ට අදටත් තිබෙනුයේ මහත් කුකුසකි.

“විනාඩි ගානයි ගියේ. මාටින් මගේ කනට කොඳුරලා කියනවා, ‘ඩිලන් එනපොට නම් හොඳ නෑ වගේ’ කියලා. මාත් ටිකක් විපරම් කරලා බැලුවා. එතකොට තමයි මටත් තේරුණේ අවට මොකක්ද වෙන්නෙ කියලා. අර බේබද්දා ආයිත් එනවා. ඒ පාර නම් තනියෙන් නෙවෙයි. වැඩේ කියන්නෙ එකා ඒ පාර ආවේ යුනිෆෝම් ඇඳගත්තු පොලිස් නිලධාරීන් පිරිසකුත් එක්ක. මාටින්ගේ මූණ රතු වෙලා. පොලිස් නිලධාරිනුත් නිකම් ‘දෙකේ දෙකේ’ අය. මහ සැරපරුෂ පෙනුමක්. දැන් අපි දෙන්නගේ මේසෙ වටකරගෙන පොලිසියේ අය. මරු වැඩක් තමයි වෙන්න යන්නෙ.... මෙන්න අපි දෙන්නාව පොලිසි ගෙන යන්නයි හදන්නෙ. මාටින් වෙවුලනවා. මාත් ඉතින් කල්පනා කළා මොකක්ද මේ වුණේ කියලා. දැන් ලොකු අවුලක්නේ. අපි මේ කොහේවත් යන පරිප්පුවක් කන්නනේ මේ හදන්නෙ... ඒ මදිවට සයිකල් දෙක කඩේ ළඟ පාර අයිනෙ ඔක්කොම ලට්ට-ලොට්ටත් සමඟ දාලා යන එක තව ප්‍රශ්නයක්. මොකද පොලිසියේ අය එහෙමනම් ඉන්න මිනිස්සු මොන වගේද කියලා හිතාගන්න පුළුවන්නේ.!”

මහා ත්‍රාඩ චරිත වැඩි පිරිසක් වෙසෙන එම රටවල කළ සංචාරයේ අතීතය ඩිලන්ගේ මතකයට නැ‍ඟෙන විටෙක සිනාහඬ ද සැනසුම් සුසුම් ද හෙළන්නේය. ජිබුටි පොලිස් ස්ථානයට රැගෙන ගිය සැණින් තම කැමරාව පොලිස් කොමසාරිස් බාරයට ගැනිණ.

“මට මේකේ තියෙන පින්තූර පරීක්ෂා කර බලන්න ඕනෙ. මෙහේ ආරක්ෂක ස්ථානවල ඡායාරූප ගැනීම නීතියෙන් සපුරා තහනම්. එහෙම ඒවා තිබුණොත් වැඩ වරදීයි” පොලිස් කොමසාරිස්වරයා ඩිලන් දෙස‍ රෞද්‍ර බැල්මක් හෙළමින් පැවසීය.

“මාත් කැමරාව බලන්න දුන්නා. මොකද මගේ කැමරාවේ තියෙන දේවල් ගැන මට විශ්වාසයක් තියෙනවානේ. ඒ අතරේ මට හරිම දුකයි මාටින් ගැන. මොකද ඔහු මේ කන්නෙ අනුන්ගෙ පරිප්පුවක්. මං බැගෑපත්ව ඉල්ලීමක් කළා ‘මාටින් මේ කිසිම දේකට සම්බන්ධයක් නෑ ඔහුව නිදහස් කරන්න’ කියලා. කොහේද බැගෑපත් වීම්වලට උන් කන් දෙන්නෙ නෑ.”

කැමරාව පිරික්සා බැලීමෙන් අනතුරුව නීතියට පටහැනි කිසිදු ඡායාවක් එහි නොමැති වග සනාථ වීමෙන් පසු පොලිස් කොමසාරිස් බීමත් පුද්ගලයා පෙන්වමින් ඩිලන්ගෙන් විමසා ඇත්තෙ, ‘තමා දන්නවද අහවලා කවුද’යැයි කියාය.

“මමනම් දන්නෙ නෑ ඒ කවුද කියලා. හැබැයි මිනිහා බීලද කොහේද මට කරදර කරන්න හැදුවා. මගේ කමිසෙන් ඇද්දා. මං තල්ලු කරලා දැම්මා. එච්චරයි වුණේ.” එසේ ඩිලන් සිදුවූ සත්‍ය කතාව නොබියව පවසා ඇත.

එහෙත් පොලිස් කොමසාරිස් චෝදනා ස්වරූපයෙන් අපට පවසන්නට වූයේ,

“තමුන් දන්නවද තමා පහර දීලා තියෙන්නෙ රහස් ‍පරීක්ෂක නිලධාරියකුට” කියලා. එම වදන් පෙළ කන වැකීමත් සමඟ මාටින් සහ ඩිලන් ගොළුවත රකිමින් එකිනෙකා දෙස බලා ගත්හ. නිසියාකාරව නොතේරුණු ඔහුගේ කැඩුණු ඉංග්‍රීසියෙන් ‍පොලිස් කොමසාරිස්වරයා දිගින් දිගට පවසන්නට වූයේ,

“දන්නවද තමුන්ට ඡායාරූප ගන්න එපා කියලා තියෙන්නෙ රහස් පරීක්ෂක නිලධාරියෙක්. ඒත් තමුන් එයාට පහර දුන්නා. සමාව දිය නොහැකි ලොකු වරදක්”ලෙසය.

දැඩි ස්වරයෙන් එසේ පැවසූ පොලිස් කොමසාරිස් ජිබුටි රහස් පොලීසියේ ඉහළම නිලධාරි ඉදිරියේ කරුණු පැහැදිලි කිරීමට වන බවටද විධානය කළේය. මාටින් ඉතාම අසරණ වී ඇත. එහෙත් ඔවුන්ට විරුද්ධව පැමිණිලි කළ රහස් පොලිස් නිලධාරියා ද කොමසාරිස් පැවසූ අවසන් ප්‍රකාශයෙන් තුෂ්ණිම්භූතව සිටී. ඒ බීමතින් සිටින ඔහුට රහස් පොලිස් ඉහළ නිලධාරියා ඉදිරියට යෑමට තිබෙන නොහැකියාව නිසාය. ඔහු එක්වරම ඉදිරියට පැමිණ ඩිලන්ගේ අත ගෙන ආචාර කරන අතරේ,

“අනේ ඔයගොල්ලෝ නීති විරෝධි ඡායාරූප අරගෙන නෑනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ යන්න... යන්න...” යනුවෙන් පැවසුවේය.

එම වදන් ඇසුණු සැණින් දෙවරක් නොසිතා පොලිස් ස්ථානයෙන් පිටව ගිය ඩිලන් සහ මාටින් විදුලි වේගයෙන් ඇදුණේ ආපන ශාලාව ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි ගැන විපරම් කිරීමටයි.

“අනේ බෲස්ව මං නතර කළ විදිහටම ඉන්නවා දැක්කම ලොකු සැනසීමක්. මොකද පොලීසියේ අයගෙන් එහෙම දේවල් වෙනවනම් සාමාන්‍ය මිනිසුන් ගැන මොන කතා ද?”

එසේ පවසන අතරේ ඩිලන් මාගෙන් විමසනුයේ, “දැනෙනවා නේද මං මේ ලෝක සංචාරය කරද්දි ගිය රටවල තත්ත්වය” යනුවෙනි. ඉන්පසු මුදල් ගෙවීමට ආපන ශාලාවට ඇතුළු වූ විට ඩිලන්ට, වේටර් පැවසුවේ,

“කොහොමහරි රහස් පරීක්ෂක මහත්තයා මඩ වළට තල්ලු කළානේ.! මෙහේ හැමෝම දන්නවා එයා කොහොම කෙනෙක්ද කියලා. ඒක නිසා කවුරුවත් ඔය වගේ වැඩක් කරන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ.” එම කතාව ඇසීමෙන් පසුව ජිබුටි රහස් පරීක්ෂකවරුන්ගේ තත්ත්වයත් වෙනත් රටවල නිලධාරීන්ගේත් අතර වෙනස සැබෑ ලෙසම ඒත්තු ගිය බව ඩිලන් පැවසීය.

තවත් කොටසක් ලබන සතියේ...

Comments