ගං වතු­ර­ටත් පරා­ජය කළ නොහැකි වූ පාසල් සිසුවෝ | සිළුමිණ

ගං වතු­ර­ටත් පරා­ජය කළ නොහැකි වූ පාසල් සිසුවෝ

නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ මිනිසුන්ගේ දෙනෙත් කඳුළින් වාන්දමන්නට විය. මේ නිසා භෞතික සම්පත් පමණක් නොව මානව සම්පත ද විනාශ වූයේ කිසිම වග විභාගයකින් තොරවය. ඒ ගංවතුර හා නාය නිසා අවතැන් වූ ජීවිත නැවත ගොඩ ගැනීමට ඔවුන් අදවනවිටත් නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ දරණුයේ පුදුමාකාර වෙහෙසකි. නිල්වලා ජල රකුසාට බිලි වූ මාතර කිතලගම විද්‍යාලයේ දරු දැරියන්ගේ ධෛර්ය හා විර්ය පාරමිතාව ලෝකයටම උතුම් ආදර්ශයක් සපයයි.

තිහගොඩ අධ්‍යාපන කලාපයට අයත් මාතර කිතලගම නැගෙනහිරි කනිෂ්ට විද්‍යාලය මෙවර ගං වතුරෙන් විනාශයට පත් වු තවත් එක් පාසලකි. එහෙත් මේ පාසලේ සිසුන් සිය කලා හැකියාව හේතුවෙන් සමස්ත ලංකා ජන ගී හා කෙලි ගී ගායනා අංශයෙන් දෙවැනි ස්ථානය දිනා ගන්නේ පාසලේ සියලු සංගීත භාණ්ඩ ගං වතුරට හසුව විනාශවී තිබියදීය. බෙර, දවුල්, තම්මැට්ටම් ආදී කී නොකී සියලු සංගීත භාණ්ඩ කුරිරු ජල ප්‍රහාරයෙන් විනාශයට පත් වුවත් කිසි ලෙසකින්වත් මේ දරුවන්ගේ හැකියාව විනාශ කිරීමට මේ ජල ධාරාවට නොහැකි විය. කිසිදු ආකාරයකින් හෝ පුහුණු වීමේ හැකියාවක් නොමැතිව අසරණවූ දරුවන් දිරිමත් කළේ පාසලේ ගුරුවරුන් හා මවුපියන්ය. තරගයට ඉදිරිපත් වීමට කාලය ළඟා වෙද්දී සංගීත භාණ්ඩ නොමැතිව අතපය හකුළා ගෙන සිටීමට නොසිතූ ගුරුවරු අවට විද්‍යාලවලින් සංගීත භාණ්ඩ රැගෙනවිත් දරුවන්ගේ දක්ෂතා ඉහළ නංවමින් නිරන්තරයෙන් පුහුණුවීම් ආරම්භ වීම් ආරම්හ කළහ. පාසල් බිම ගංවතුරට යටවීම නිසා දරුවන්ට පුහුණුවීම් කිරීමට ඉඩක් නැතිව තිබියදී පුහුණුවීම් සඳහා පාසල් කාලයෙන් පසු සවස් කාලය ද යොදා ගැනිණි.

මෙනිසා කිතලගම විද්‍යාලයීය සිසුන් මෙවන් වු ජයග්‍රහණයක් ලබා ගැනීම පහසුකම්වලින් අනූන බොහෝ පසල්වල දරුවන්ට ලද හැකි හොඳ පාඩමකි.

“අපි මේ තරගය ජය ගත්තේ හිතේ ශක්තියෙන්. මේ ජයග්‍රහණය අපේ විද්‍යාලයට ඉමහත් කිර්තියක් ලබා දුන්නා. අපේ විද්‍යාලය විනාශයට පත් වුණත් අපි කිසිම විදියකින් හෝ ආපස්සට ගියේ නැහැ. අපි තරග කළේ මුළු ලංකාව එක්කමයි. තරගයට පළාත් 7 ක් ඇවිල්ලා තිබුණා. අපට පුහුණුවීම් කරන්න ගංවතුර බැහැලා ගිහින් පොඩි කාලයයි තිබුණේ. විදුහල්පතිතුමා හා ගුරුවරුන් එකතුවෙලා අපි කොහොම හරි මේ තරගයට යන්නම ඕනෑ කියා අධිෂ්ඨාන කර වෙනත් විද්‍යාලවලින් සංගිත භාණ්ඩ රැගෙන ඇවිත් පුහුණුවීම් කරලයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ” යැයි තරගයට එක්වූ භාෂිත විදුරංග සිසුවා පැවසීය.

කිතලගම නැගෙනහිර කනිටු විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරනුයේ ඊ.ජි.සුසිර මහතාය.

“මේ මහා ගංවතුරෙන් මගේ පාසල නැත්තටම නැති වුණා. නමුත් අපි පස්සට ගියේ නැහැ. ගුරුවරුන් හා දරුවන් එකතුවෙලා සති දෙකක් යන්න මත්තෙන් මේ විද්‍යාලය තිබුණු කැලි කසළ ඉවත් කරමින් පාසල යථා තත්තවයට පත් කළා. මේ වැනි පසුබිමක තමයි අපිට ජන ගී හා කෙලි ගී අංශයෙන් අපට දෙවැනි ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණේ. කුමන අඩුපාඩු තිබුණත් අපේ දරුවන් කිසිම විධියකින් පස්සට ගියේ නැහැ. මෙනිසා විදුහල පමණක් නොවෙයි මුළු ගමම මේ ජයග්‍රහණයත් සමඟ අ‍පේ දරුවන් කළ හපන්කම ගැන අද ඉතාම සන්තෝෂයට පත් වෙනවා” යැයි විදුහල්පතිවරයා පැවැසිය.

මේ පාසලට නැටුම් භාණ්ඩ හා සංගිත භාණ්ඩ අහිමි වුවත් මේ වෙද්දීත් අසල විද්‍යාලවලින් භාණ්ඩ ගෙන්වා ගෙන සංගීත පුහුණු වීම් සිදු කෙරේ. පාසලේ මුළු පුස්තකාලයම ගංවතුරට ගසා ගෙන ගොස් ඉතිරිව ඇත්තේ දරුවන්ගේ හැකියාව පමණි. මේ නිසා රටේ අනාගතය බාර ගන්නා මේ දරුවන්ගේ ජිවිත ආලෝකවත් කිරීමට කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු මැදිහත්ව සංගිත භාණ්ඩ හා පොත්පත් ලබා දෙන්නේ නම් එය මහඟු පින්කමකි. 

 

Comments