අපේ ආහාර රසට කවා ඇමෙ­රි­කාවෙන් සම්මාන දිනූ අයෝමා | සිළුමිණ

අපේ ආහාර රසට කවා ඇමෙ­රි­කාවෙන් සම්මාන දිනූ අයෝමා

 

මහනුවර මහාමායා බාලිකා විදුහලේ ශිෂ්‍යාවක වූ ඇගේ නම අයෝමාය. පේරාදෙණි පාරේ කුඩා වෙළෙඳහලක් හිමි ඇගේ පියා කරුණාරත්නය. ඇය කුඩා කල මව මිය ගියාය. යෝගට් සෑදීම ගැන පුවත්පතක වූ ලිපියක් දැක ඒ ගැන සිතන විට ඇය සිටියේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේය. කැටය බිඳ ලද මුදලින් කිරි ගෙන ආ ඇය කිරි උණුකොට යෝගට් තැනීම ඇරැඹුවාය. වාර එකොළහක්ම ඇය පැරැදිණ. සිත දැඩි කරගත් ඕ යළි වෑයම් කළාය. එවර තරමක ජයක් ලැබිණි. දහතුන් වන වාරයේ ඇය විශිෂ්ට ජයක් ලැබුවාය. යෝගට් රස වින්ද අසල්වැසියෝ ඇය පැසසූහ.

“මම මේවා විකුණනවා” ඇය තාත්තාට කීවාය. “වෙළෙඳනාමයක් නැතිව, ලියාපදිංචියක් නැතිව යෝගට් විකුණන්න බැහැ. ඒක නීතිවිරෝධියි.” තාත්තා කීය. අයෝමා පසුදා විදුහල්පතිනිය හමු වූවාය. “මා දැන් යෝගට් හදනවා. කැන්ටිමට යෝගට් දාන්න දුන්නොත් ලාභයෙන් කොටසක් පුස්තකාල සංවර්ධන අරමුදලට දෙන්න පුළුවන්.” විදුහල්පතිතුමිය ඇයට සිය එකඟතාව පළ කළාය.

නමක් නැති යෝගට් පාසලේ කැන්ටිමට පැමිණියේය. ඇය ඊට ජෙලි තට්ටුවක් සහ පලතුරුද මුසු කළාය. “හරි රසයි. හෙටත් ගේන්න” ළමයි කීහ. පාසල් මිතුරියෝ සිය නිවෙස්හි සාද සඳහා ඇගේ යෝගට් මිලට ගත්හ. ඔවුන්ගේ වැඩිහිටියන්ගේ කාර්යාලවල අවන්හල්වලද අයෝමාට ඉඩ ලැබිණි. ඇය සිය පියාගේ පැරැණි මෝටර් රිය යෝගට් බෙදාහැරීමට යොදාගත්තාය. රියැදුරකුට සහ තරුණියන් කීප දෙනෙකුට ඇය නිසා රැකියා ලැබුණු අතර පියාටද ඇය මුදලක් දුන්නාය.

අයෝමා දිනක් පියා සමඟ මැහුම් ප්‍රදර්ශනයක් නැරැඹීමට ගියාය. එහි විසිතුරු මැහුම්ක්‍රම ඇගේ සිත් ඇදගති. “මටත් මේ වගේ මහන්න ඕනෑ” ඇය කීවාය. “එතකොට යෝගට් සෑදීම?” “ඒක නතර කරන්නේ නැහැ. මා හොඳ මැහුම් ගුරුතුමියක් සොයාගන්නවා.” අයෝමා ඉතා සුළු කලෙකින් මැහුම් ඉගෙනගත්තාය. ඉනික්බිති මැසීම ඇරැඹූ අයෝමා ශිෂ්‍යාවන් කීප දෙනකුට මැහුම් උගන්වා මහන මැෂින් කීපයක් මිලට ගෙන විසිතුරු ඇඳුම් මසා වෙළෙඳපොළට ඉදිරිපත් ක‍ළාය.

ෂර්මන් නම් විදේශිකයකු ඉහළ මට්ටමේ කේක් නිපදවීම පිළිබඳ පන්තියක් පටන්ගත් බව මේ අතර මිතුරියක් අයෝමාට කීවාය. “මා යනවා ඒ පන්තියට” ඇය පියාට කීවාය. “යෝගට්, මැහුම්, පාසලේ වැඩ කරන අතර කොහොමද කේක් හදන්නෙ?” පියා ඇසීය. “මට පුළුවනි. පුළුවන් කියල නිතර හිතනකොට ඒක පුළුවන් වෙනවා. බෑ කියල මම කවදාවත් හිතන්නේ නැහැ.”

ඉගෙනීමේ හපන්කම් පෑ ඇයට විදේශ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබිණ. එහෙත් ඩොලර් 750ක් ගෙවිය යුතු බවද කියැවිණ. එය ඇගේ සිහිනයට බාධාවක් විය. ඇය එදා රෑ නිරාහාරව හඬමින් සිටියාය. ඉන්පසු ඇය කේක් සෑදීම ඉගෙනීමට හිත යොමු කළෙන් ඉතා ඉක්මනින් කේක් තැනීම ඉගෙනගත්තාය.

“උපන් දින කේක් තැනීමට බාරගනු ලැබේ” ලොකු බැනරයක් ඇගේ නිවෙස ඉදිරිපිට එල්ලනු ලැබිණ. රසට, හැඩට හැදෙන ඇගේ කේක් මහනුවර ජනප්‍රිය විය. මල්ලිගේ සහ නංගිලාගේ අධ්‍යාපන කටයුතුවලට එයින් උදවු ලැබිණ.

මියගිය සිය මව වෙනුවෙන් ඇය අනාථ ළමා නිවාසවලට, වැඩිහිටි නිවාසවලට, භාවනා මධ්‍යස්ථානවලට ආහාරපාන පිදුවාය. ලැබෙන ආදායමෙන් කොටසක් දිළිඳු ජන සත්කාරයට වෙන් කළාය.

88-89 භීෂණයට රටම ගොදුරු විය. ඇගේ ආදායමද බිඳ වැටිණ. සේවයට නොපැමිණියද ඇය සේවකසේවිකාවනට මුදල් යැව්වාය. ඇගේ ඉතිරි කිරීමේ ගිණුමද ක්ෂය වී ගියේය. උසස් පෙළ ප්‍රතිඵල ඇය සිතූ පරිදිම උසස් වුවද විශ්වවිද්‍යාලයට යෑම සුසානයට යෑමක් විය. කොළඹ පදිංචි ඇගේ මාමා කෙනෙක් ඇයට ප්‍රධානපෙළේ සමාගමක රැකියාවක් සොයාදුනි. ඇයට ඉහළ වැටුපක්ද ලැබිණ. ඇය මහත් කැපවීමෙන් යුතුව ඒ සමාගමට සේවය කළාය. වියදමට ප්‍රමාණවත් මුදලක් පියාට යැවීමටද ඇයට හැකි විය.

දිනක් ඇය සේවාස්ථානයට විදේශීය තරුණයෙක් ආයේය. ඔහුගේ ඇස අයෝමාට ඇදිණ. “මා විලන්. ඇමෙරිකාවේ සිට පැමිණියේ. මේ දිනවල මා ලංකාවේ වෛද්‍ය පර්යේෂණයක යෙදෙනවා” ඔහු කීවේය. “මා අයෝමා. ගම නුවර.” “මා නුවරට ගොස් තිබෙනවා. මා නුවරට කැමැතියි.” නුවරට පමණක් නොව, ඔහු නුවර උපන් අයෝමාටද කැමැති විය. ඔහුගේ නිරහංකාර, සුහද කතාබහට, ප්‍රසන්න පෙනුමට ඇයද කැමැති විය. සතියකට පමණ පසු විලන් නුවර ගොස් අයෝමාගේ පියා හමු විය. පියාගේ ආශීර්වාදයද සහිතව අයෝමා සිංහල චාරිත්‍රානුකූලව විලන් සමඟ විවාහ වූවාය.

2000දී මෙදෙපළ ඇමෙරිකාවේ බොස්ටන් නුවරට ගියෝය. ඇයට දක්නට ලැබුණේ හිමෙන් වැසුණු දේශයකි. බොහෝ දේ ජයගත් ඇය බොස්ටන් සීතලට පැරැදුණාය. දැඩි සේ ගිලන් වූවාය. “මට පොල්සම්බල සමඟ රතුකැකුළුබත් ඇත්නම් කන්න පුළුවනි” ආහාර අරුචියෙන් සිටි ඇය කීවාය. රතුබත් සහ පොල්සම්බල් සොයමින් බොහෝ දුර ගමන් කළ විලන් ආපසු පැමිණියේ ඉන්දීය තෝසේ සමඟ පොල්මැල්ලුම් ටිකක් රැගෙනය.

“මම ලංකාවේ කෑම තියෙන රෙස්ටුරන්ට්ටෙකක් ඇමෙරිකාවේ පටන්ගන්නවා” ඇය තෝසේ කමින් කීවාය. “ඔබ වෙහෙසෙන්න වුවමනා නැහැ. අප දෙදෙනාට හොඳින් ජීවත්වීමට තරම් මුදලක් මා ලබනවා. “මා සොයාගන්නා මුදලින් කොටසක් ඔබ පිනට යොදවන්න.” විලන් කීය.

“මට නිකම්ම ඉන්න අමාරුයි... වැඩක යෙදෙන්න ඕනෑ.” ඇය කීවාය. ඔහු ඇගේ කැමැත්තට ඉඩ දුනි. ඇමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාර දෙකක ඇය සේවය කළාය. ඇමෙරිකාවත්, ඇමෙරිකාවේ ව්‍යාපාරත් පිළිබඳව ඇය ඒ සුළු කාලය තුළ බොහෝ දේ දැනගත්තාය. එහෙත් හැමවිටම ඇගේ සිතෙහි වූයේ ලංකාවේ රසගුණ ඇති ආහාරවලින් පිරුණු අවන්හලක් ඇරැඹීම පිළිබඳවය.

2007දී ඇගේ පියා මිය ගියේය.

2008 දී ‘සයුරේ මුතු ඇටය’ (පර්ල් ඔෆ් දි ඕෂන්) නමින් නවමාදිලියේ අවන්හලක් කැලිෆෝනියාවේ සැන්කලූස් නගරයේ බිහි කිරීමට ඇය සමත් වූවාය.

එදා ඉර පායන්නට පෙර, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ බුදු පිළිමයක් තම අවන්හලේ තැන්පත් කිරීමට ඇයට අවශ්‍ය විය. එය ශ්‍රී ලංකාවෙන් වැඩමවා දුන්නේ ගේබ්‍රියෙල් ක්ලාක් නමැති ඇමෙරිකානු මහතෙකි. ඇය එදා බුදු පිළිමය ඉදිරියේ මෙසේ පැතුවාය:

“කෘමිනාශක රසායන සහ කෘත්‍රිම පෝර නොයෙදු, ස්වාභාවික කාබනික පොහොර පමණක් යෙදූ මහ පොළොවේ රස උරුම කරගත් ධාන්‍ය, එළවළු, පලතුරුවලින් තැනුණු ආහාර සපයා ඇමෙරිකාවේ හොඳම අවන්හලක් බවට මේ 'මුතු ඇටය' පත් වේවා!”

අවන්හල ඇරැඹීමට පෙර ඇය ගොවි බිම් පරීක්ෂාවට ගියාය. කෘමිනාශක රසායන නොයොදන, ස්වාභාවික පොහොර පමණක් භාවිත කරන, ගොවීන් සමඟ ඇය මිතුරු වූවාය. ඒ මිතුරුකම් ඇය දිගට ම රැකගත්තාය.

ඇය මුල් දිනයේ ම සිය සේවක පිරිස ඇමතුවාය. “දිනපතාම සේවය ඇරැඹීමට පෙර ඔබ දෑස පියාගෙන මෙසේ සිතන්න. මේ අවන්හල අප හැම දෙනාගේමය, මෙහි පුටු සියල්ල පාරිභෝගිකයන්ගෙන් පිරේවා! අංගණය රථවලින් පිරේවා! මෙය රටේ හොඳම අවන්හල බවට පත්වේවා! අවංකවම මෙසේ සිතන්න. මම ඔබට අවංක වෙමි. ඔබද නිසැකවම මට අවංක වෙනවා. 'ලෝ ඔෆ් සක්සස්' නමැති පොතේ එන නැපෝලියන් හිල්ගේ මේ කියමන මතක තබාගන්න: යමක් මට කළ හැකියැයි දැඩි විශ්වාසයක් ඔබ තුළ පවතී නම් එය නිසැකවම කළ හැකියි” සෑම උදෑසනකම ඇය මෙසේ සේවක පිරිස ඇමතුවාය.

එක් මධ්‍යාහ්නයක ඇමෙරිකානු කාන්තාවක් අවන්හලට ගොඩ වූවාය. නිහඬව ආහාර ගැනීමේ යෙදුණු ඇය පසුව අමතර කෑම තුනක්ද ගෙනයෑමට අවශ්‍ය බව කීවාය. එයින් දින කීපයකට පසු ‘සැන් ටිනෙල්’ පුවත්පතේ සේයාරූ ශිල්පියෙක් ආයේය.

“ඈන් පාකර් මහත්මිය ඔබ ගැන ලිපියක් ලියා තිබෙනවා. ඒ සඳහා අපට ඔබේ ඡායාරූප කීපයක් ගන්නට ඉඩ දෙන්න” ඔහු සිය වෘත්තීය හැඳුනුම්පත අයෝමාට ඉදිරිපත් කරමින් කීය.

“ඈන් පාකර් මහත්මිය?”

“ඔව්, දින කීපයකට පෙර මෙහි පැමිණි ඇය ඔබේ කෑම ගැන මේ අවන්හල ගැන ලිපියක් ලීවා...” ඔහු ඇගේ ඡායාරූප කීපයක් ගත්තේය.

සතියක් ගෙවිණ.

එදා අවන්හලේ සියලු පුටු පාරිභෝගිකයන්ගෙන් පිරිණි. රථ අංගණය මෝටර් රථවලින් පිරිණි. මේ සිදු වූයේ කුමක් ද? සේවකයනට වැඩ වැඩි විය. දුරකථනය මඟින්ද ඇණවුම් ලැබිණි. සිඟන මහල්ලෙක් පුවත්පතක් ගෙන අවන්හලට පැමිණියේය. අයෝමා ඔහු ද පිළිගත්තාය. “ලස්සන නෝනා කෙනෙක් පත්තරේ මුල් පිටුවේ ඉන්නවා.” ඔහු පුවත්පත ඇයට දෙමින් කීය. ඇය ඔහුට ඩොලර් දහයක් දී පුවත්පත ගත්තාය. උදෑසන ආහාරයද ඔහුට ඇගෙන් ලැබිණි. රසැති, ගුණැති, පිරිසුදු ශ්‍රී ලංකා ආහාර සැබෑ ආදරය මුසුකොට ඇමෙරිකාවට සපයන ‘සයුරේ මුතු ඇටය’ ‘සැන් ටිනෙල්’ පුවත්පතෙන් මහත් ඇගැයීමට ලක්ව තිබිණි.

එතැන් සිට අයෝමාගේ අහරෙහි ගුණ සුවඳ කැලිෆෝනියාවේම පැතිරිණ. 2009දී හොඳම අවන්හල තේරීමේ තරගයක් තිබිණ. ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා අයෝමාටද ඇරියුමක් ලැබිණ. ඇයට අවශ්‍ය වූයේ අනෙක් අවන්හල් හිමියන් හඳුනාගැනීම මිස ත්‍යාග නොවේ. ‘අවුරුද්දක්වත් නැති අපේ අවන්හලට කවර තෑගිද?’ ඇය සිතුවාය.

පළාත් පාලන ප්‍රධානීහු, අධිකරණ නායකයෝ වේදිකාවේ සිටියහ. ප්‍රධාන දේශකයා වූයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් බොබ් කෙනඩි මහතාය. “අපේ ජනතාවට රස වගේම ගුණ පිරි ආහාරත් දිය යුතුය. බොහෝ අවන්හල් රත් කරකර පරණ ආහාර දෙනවා. එය අපේ රටේ ජනතාව දුර්වල කිරීමක්. අපි හොඳම අවන්හල තෝරාගත්තා. වසර 20-30 වයස මහා අවන්හල්වලටත් අප ගියා. එහෙත් රසයෙන්ද ගුණයෙන්ද පිරි හොඳම අවන්හල වශයෙන් අප තෝරාගත්තේ වසරක්වත් නොපිරුණු සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හලකි. එය පවත්වාගෙන යන්නේ තරුණියක්. අද මේ විශිෂ්ට ජයග්‍රහණය ලබන්නේ අයෝමා විලන්ගේ ‘සයුරේ මුතු ඇටය’ අවන්හල. දීර්ඝ අත්පොළසනක් සමඟ ඇයට අග්‍රවිනිශ්චයකාර තුමා අතින් ත්‍යාගය පිරිනැමිණ.

එයින් සිව්වසරකට පසු ඇමෙරිකාවේ ආහාර ක්ෂේත්‍රයේ තවත් ප්‍රධානතම සම්මානයකින් ඇය පිදිණි. ඒ එරට හොඳම අරක්කැමි ‘බෙස්ට් චෙෆ්ස් අමෙරිකා’ සම්මානයයි. ඇය සම්මානය ගෙන වේදිකාවෙන් බැස එන විට ඒ සම්මානය වසර කීපයකට පෙර දිනූ ඇමෙරිකානුවෝ දෙදෙනෙක් ඇය වැලඳගත්හ. ඔවුහු නිහතමානයෙන් මෙසේ කීහ: “කෙල්ලේ! නුඹේ කෑම අපේ කෑමවලට වඩා රසයි; ගුණයි. නුඹට මතක නැතිව ඇති අප දෙදෙනාත් පරීක්ෂණයේදී නුඹේ අවන්හලට ආවා.”

ඇයට එළවුළු, ධාන්‍ය වර්ග, පලතුරු සපයන ගොවීහුද ඇය සම්මානය ලබනු දැකීමට පැමිණියහ. ඔවුන්ගේ ඇස්ද කඳුළෙන් පිරී තිබිණ. ඇය ඔවුන් වැලඳගත්තාය. “විස නැති, රස ගුණ ආහාර මා පිළියෙල කරන්නේ ඔබ නිසා. මේ ගෞරවයේ කොටසක් ඔබටත් හිමි වෙනවා.” ඇය ගොවීන්ට කීවාය.

වසරකට දිනක් ඇගේ අවන්හල ඕනෑම කෙනකුට නොමිලයේ ආහාරපාන සැපයීමට විවෘත වෙයි. ඇය ඔවුන් සුහදව පිළිගෙන සංග්‍රහ කරයි. සිය පියාට සහ මවට පින් පිණිස පිදෙන මහා දානයකි මෙය. එදින හැන්දෑවේ සැන්හුසේ විල්පිටස්හි ධර්මපාල ආයතනයේ සභාපති පූජ්‍ය කන්තලියේ ශාන්ත හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වේ. අමෙරිකානුවෝ විශාල පිරිසක් එයට සවන් දීමට එති. ඔවුහු ඒ දේශනයෙන් බුදු දහම හඳුනාගනිති. ඉක්බිති බුදුසසුනට එකතු වූවෝද වෙති.

දිනපතා එක් මවකට සහ පියකුට ආහාර වේලක් පිදීමද ඇයගෙන් සිදු වේ. ඇගේ අවන්හලේ අරක්කැමියෝ සිවු දෙනෙකි. ඇමෙරිකානු වෛද්‍ය ශිෂ්‍යශිෂ්‍යාවෝ දොළොස් දෙනෙක් ආහාර පිසීමට හවුල් වෙති. ඔවුන් හැම දෙනාටම අයෝමා සහෝදරියකි.

ඇමෙරිකා විශ්වවිද්‍යාලවලින් ඇයට දේශනා සඳහා ආරාධනා ලැබේ. ඇගේ දිරිය පිරුණු ජීවිතය ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දැන් දනිති. ඇය ආහාර පිළියෙල කිරීම පිළිබඳ සම්මන්ත්‍රණවලට සහභාගි වෙයි. චතුරව සරලව ඉංග්‍රීසියෙන් පැවැත්වෙන ඇගේ දෙසුම් ඇසුමට ආචාර්යවරු, ශිෂ්‍යයෝ මෙන්ම ගොවිකම්කරුවෝද කැමැතිය.

ජීවිතය තුළ තමා ලැබු ජයග්‍රහණ ලොවට හෙළි කොට ධනාත්මක චින්තනයෙන් ලොව සැරසීම, ලොව සැනසීම ඇගේ සතුටය. 

 

Comments