හෘදය සහ පෙණ­හලු රෝගීන්ට නව බලා­පො­රො­ත්තු­වක් | සිළුමිණ

හෘදය සහ පෙණ­හලු රෝගීන්ට නව බලා­පො­රො­ත්තු­වක්

හදිසි අනතුරකින් හෝ රෝගි තත්ත්වයකින් මෙලොව හැරයන පුද්ගලයකුට තමන්ගේ ශරිර අවයව කොටසක් මගින් තවත් පුද්ගලයෙකුට ජිවිතය ලබාදිය හැකිනම් එය මොනතරම් භාග්‍යයක්ද? වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද ලොව පුරා සිදුකරන මොළය මිය ගිය පුද්ගලයින්ගේ බහු අවයව බද්ධය තුළින් තවත් පුද්ගලයකුට ජිවය ලබා දීම විශ්මය ජනකය. එම උතුම් පුණ්‍ය කර්මයට දායක විමටත් ජිවිත බලාපොරොත්තු අත් හළ අයට යළි ජිවය ලැබිමටත් මෙලොව ජනතාවට අද වාසනාව උදාවි ඇත.

ලෝකයේ බොහෝ රටවල් මෙසේ ඉදිරියට පියවර තබද්දි ශ්‍රි ලංකාවද ඊට නොදෙවෙනි නොවි ඉදිරියට පය තැබිම මෙරට ජනතාවගේ වාසනාවකි.

ජීවත් විමට අත්‍යවශ්‍ය වකුගඩු පෙණහලු හෘදය ඇතුළු අවයව දුර්වල වීම එදා යම් කෙනෙකුගේ ජිවිත ආශාව අත්හැරීමට තරම් හේතුවක් විය. නමුත් අද වෛද්‍ය විද්‍යාව ඔවුන්ට ජිවත් විමේ බලාපොරොත්තුව ලබාදි ඇත. මෙහි ජයග්‍රාහි මෙන්ම ඉහළම සතුට මෙරට ජනතාවට එක්කරන්නේ හෙට දිනයේ ලංකාවේ ප්‍රථම වතාවට මහනුවර මහ රෝහලේදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කොට ඇති හෘදය සහ පෙණහලුු බද්ධයයි.

මොළය මියගිය පුද්ගලයකුගේ ශරිර අවයව ලබාගෙන තවත් පුද්ගලයකුට බද්ධ කිරිමේ ක්‍රියාවලිය තුළ නෛතික මෙන්ම විද්‍යානුකූල පදනමක්ද ඇත. ඒ පිළිබඳ අප කළ විමසීමකදි මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම පිළිබද සම්බන්ධිකරණ නිලධාරි වෛද්‍ය අනුර අබේසිංහ මහතා මෙසේ පැවසිය.

“අපි මහනුවර මහරෝහලේදි මෙරට ප්‍රථම වතාවට මොළය මිය ගිය පුද්ගලයින්ගෙන් ලබාගත් වකුගඩු බද්ධය 2004 වසරේදී සිදු කළා. එය ඉතා සාර්ථකයි. මේ වන විට සැත්කම් සිය ගණනක් ඉතා සාර්ථකව සිදුකර තිබෙනවා. අපි මිළග සාර්ථක පියවර ලෙස හෘදය සහ පෙණහලු බද්ධයට සියලු කටයුතු දැන් සුදානම් කර තිබෙනවා. එංගලන්තයේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායමේ අධික්ෂණය සහ මඟ පෙන්විම යටතේ සියලු කටයුතු සිදු කරන්නේ. මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව බද්ධකිරීමයි සිදු කරන්නේ. මොළය මියගිය රෝගින් ජිවත් වෙන්නේ යන්ත්‍රයක ආධාරයෙන්. ඔවුන්ගේ ආයු කාලය දින කිහිපයයි. මොළය මියගියත් මොවුන්ගේ අනෙක් ශරිර අවයව ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. විශේෂඥ වෛද්‍යවරුන් මෙම මොළය මිය ගිය රෝගියා ස්ථිර වශයෙන්ම ජිවත් නොවන බවට සහතික කළ පසු අපි එම රෝගියාගේ ඥාතීන් මේ පිළිබඳ දැනුම්වත් කරනවා. මේ අවස්ථාව ඥාතින්ට දැඩි සංවේදි අවස්ථාවක් මොකද එයාලා හිතන්නේ රෝගියා තව දුරටත් ජිවත් වෙයි කියලා. ඒක තමා ලෝක ස්වභාවය. කිසිම දවසක වෛද්‍යවරයකු තවත් රෝගියකු මරලා තව කෙනෙක් ජිවත් කරවන්ට කටයුතු කරන්නේ නැ. ඒ අවස්ථාවේ ස්ථිරවම මිය යන බවට සහතික කළ රෝගියෙකුගේ අවයවවලින් තව කෙනෙකුට ජීවය ලබාදිය හැකියි. අවසරයකින් තොරව කිසිම අවයවයක් අපි ලබාගන්නේ නැ. මේ පිළිබදව දැනුවත් විම ඉතා වැදගත් වෙනවා. කැමැත්ත මත ලබාගත් වකුගඩු වැනි අවයව දැනටමත් ලංකාවේ වෙනත් රෝහල් වල සිට ඉතා ආරක්ෂාකාරි අන්දමින් මහනුවර මහ රෝහලට රැගෙන එනු ලබනවා. හෘදය සහ පෙණහලු බද්ධ කිරිමේ සැත්කමට අවශ්‍ය සියලුම සම්පත් අප රෝහල සතුයි.”

ලෝකයේ බොහෝ රටවල මෙම අවස්ථාවේ පසුවසන පුද්ගලයෙකුගෙන් අවයව ලබා ගැනීම සඳහා පනත් සම්මත කර ඇති අතර විශේෂඥ වෛද්‍ය වරුන්ගේ නිර්දේශ මත අවසරයකින් තොරව මෙම ශරිර අවයව ලබා ගෙන තවකෙකු ජිවත් කරවිමේ අවකාශ ඇතත් අප රට තුළ එවැන්නක් නොමැත. රෝහල්වලින් ලබා ගන්නා අයදුම්පත් හරහා කැමැත්ත පළ කිරිම හෝ පුද්ගලයෙකු රෝගි අවස්ථාවක එවැනි අවධානම් අවධියකට පත්වු පසු රෝගියාගේ ඥාතින්ගේ කැමැත්ත මත ශරිර අවයව මෙරට ලබා ගැනිම සිදුකරනු ලබයි. මෙහිදි ශරිර අවයව ලබාදිමට නොහැකිව මියයන සහ ලබා ගැනිමට නොහැකිව මිය යන පිරිස අති විශාලය. නොදැනුවත් භාවය හෝ රෝගියෙකු එවැනි අවදානම් සහගත තත්ත්වයකට පත්වූ පසු සිය ඥාතීන්ගේ පවතින මානසිකත්වය මත මෙවැනි අවස්ථා බොහොමයක් මඟ හැරී යයි.

ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි හෘදය සහ පෙණහලු රෝගීන් සඳහා මෙම බද්ධ කිරිමේ සැත්කම කිරිමට නියමිත අතර මහනුවර මහ රෝහල මෙම රෝගින් වෙනුවෙන් අගහරුවාදා ප ව 1 සිට සහ බදාදා පෙරවරු 8 සිට හෘදය සහ උරස් ශෛල්‍ය ඒකකයේ විශේෂ සායන පැවැත්විමට කටයුතු සලසා ඇත. මේ වන විටත් පොරොත්තු ලේඛනයේ රෝගීන් විස්සක් පමණ සිටින බව ඉතා විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යොමුවන බවත් මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම් පිළිබද සම්බන්ධිකරණ නිලධාරි වෛද්‍ය අනුර අබේසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහය මත මහනුවර මහ රෝහලේදි ක්‍රියාත්මක කිරිමට නියමිතව කටයුතු සුදානම්ව පවතින හෘදය සහ පෙණහලු බද්ධ කිරිමේ සැත්කම එංගලන්තයේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායමේ උපදේශනය සහ මග පෙන්විම යටතේ සිදුකෙරේ. මේ සදහා වැලිසර , ලේඩි රිජ්වේ, කුරුණෑගල, සිරිමාවෝ බණ්ඩාරනායක සහ මහනුවර රෝහල යන රෝහල් හතක සහභාගිත්වයෙන් මහනුවර මහ රෝහලේදි සිදුකෙරේ. මේ සදහා විශේෂඥ වෛද්‍යවරු විසිදෙනෙකුගේ සහභාගිත්වය අවශ්‍ය වේ. අවශ්‍ය ඖෂධ ඇතුළු සියලුම සම්පත් මහනුවර මහ රෝහල සතුව පවති. නිර්වින්දන වෛද්‍යවරු මේ සඳහා ලබා දෙන දායකත්වය සුළු පටු නොවේ.

අප රටේ දෛනිකව රිය අනතුරුවලින් පමණක් පහළොස් දෙනෙකු පමණ මිය යන බව වාර්තා වේ. මෙම අය බොහෝ විට දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මරණයට පත්වෙති. මෙහිදි එම වටිනා ජීවිත අහිමි වන අතර ඔවුන්ගෙන් ලබා ගත හැකි ශරිර අවයවවලින් තවත් ජීවිත බොහොමයක් ජීවත් කරලීමට පුළුවන්කම තිබියදී නොදැනුවත්වම එම අවස්ථාද අහිමි ව යන වාර බොහොමයකි.

ලෝකයේ අන් රටවල මෙම ශරීර අවයව බද්ධය සිදුවෙද්දී අපේ රටට එය සිහිනයක්ම විය. අද ඒ සිහිනය සැබෑ කරමින් දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් පෙරට විත් හෘදය වස්තු බද්ධය දක්වා ඉදිරියට පියවර තබා ඇත. මේ සඳහා දායකත්වය දිම ජනතා අපේ යුතුකමක් හා වගකීමක්ද වන්නේය. 

 

Comments