
හිමිදිරි උදෑසන කුකුළන් ද අත ඇතිව තම ලස්සන මුහුණ බලන්නට කාන්තාවන්ගේ පැමිණීම ගැන අසමින් කළ විහිළුවට කාන්තා සමිති ලේකම්වරියට සිනා පහළ නොවීම නරේන්ද්‍රට පුදුමයක් විය. ස්වභාවයෙන් ම ඇය අන් පාක්ෂික කතුන්ට වඩා මන්ත්‍රිවරයා හා හිතවත්කම් ඇත්තියකැයි හඟවන්නට වෙහෙස ගන්නියකි. නරේන්ද්‍ර ඇය දෙස බලා සිටියේ තරමක් පුදුමය පළ කරන්නටය.
“මන්ත්‍රිතුමා මොකක්ද අර කිව්ව කතාවෙ තේරුම?”
සභාපතිවරිය සිනාවෙන් මිදී ප්‍රශ්නයක් මතු කළාය.
“මොන කතාවෙද?”
“ඇමෙරිකන් සමාජවාදය, ඇමරිකන් මාක්ස්වාදය, ඇමරිකන් වාමාංශික ව්‍යාපාර? අද තමා අපි ඒ වගේ දේශපාලනයක් ගැන ඇහුවෙ.. මොකක්ද ඒ කතාවෙ තේරුම? තව අලුත් පක්ෂයක් හදන්න ද?”
“නැහැ. තියෙන පක්ෂයකට ඇමරිකන් මාක්ස්වාදය කවන්න.”
නරේන්ද්‍ර වහා පිළිතුරු දුන්නේ හඬ දෙන හාස්‍ය ජනක සිනාවක් පාමිනි. බටහිර ජාතීහු ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ ශක්තිමත් යටි පෙළ පිළිබඳව පෙරට වැඩි උනන්දුවකින් හා තීක්ෂණ ඇසකින් බලන්නට පෙලඹෙමින් සිටිති.
නරේන්ද්‍ර මන්ත්‍රිවරයා ලිපි ගොනු තුළින් යමක් සොයා ගන්නට උත්සාහ කරනවාද, ලිපි ගොනු පෙරළමින් කල්පනාවක නියැළී සිටිනවාදැයි සිතමින් ලේකම්වරයා වරින්වර කාන්තා නියෝජිතවරියක් දෙස ද බැලුවේ ඔවුන්ගේ නොඉවසිලිමත් ඉඟිබිඟි සංඥා දකිමිනි.
“මන්ත්‍රිතුමා”
කාන්තා සංවිධානයේ ලේකම්වරිය තවත් බලා සිටීමට කාලයක් නැතැයි පවසන්නට සිතුවාය. මන්ත්‍රිවරුන්ට මෙන් ම ඡන්ද දායකයින්ට ද කාලයේ වටිනාකමක් ඇත.
“ආ ඔව්. මං මේ අපේ සභාපතිතුමියගෙ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නෙ කල්පනා කළා. එයා මගෙන් ඇහුවනෙ ඇමෙරිකන් සමාජවාදය කියන්නෙ මොකක්ද කියලා. ගෙදර ගිහින් කල්පනා කරන්න උත්තරයක් දෙන්නම්. බුදු දහමට ජාතියක් භාෂාවක් රටක් රාජ්‍යයක් පක්ෂයක් නැහැ. හරි අපි ඒ ප්‍රශ්නෙත් පැත්තකින් තියමු. ඉක්මනට කියන්න මොකක්ද මේ නෝනලාගෙ ප්‍රශ්නෙ? ආ තව එකක් අපි මතක තියා ගන්න ඕන මේ ලෝකෙ වැඩියෙන් ම මානව හිමිකම් කඩ කරන්නෙ ඇමෙරිකාව.”
මන්ත්‍රිවරයාගේ පිළිතුර සභාපතිවරියට නොව අනෙක් කාන්තාවන්ට නොවටිනා නොවැදගත් තේරුම් ගැනීමට අපහසු ගැටලුවක් විය. තමන් පැමිණියේ දළදා වඳින්නට එන මානව හිතවාදීන් ගැන කතා කරන්නට නොවේ. ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරමින් ලෝකය පුරා යුද ගිනි දල්වන සැටි සොයා බලන්නට නොවේ.
එවැනි මහා ප්‍රශ්න ගැන කතා කළ යුත්තේ පාර්ලිමේන්තුවේදීය. මේ පැමිණ සිටින්නේ මින් මසකට පෙර මැද පෙරදිග සිට මෙරටට ගෙනා ඥාති සොහොයුරියකගේ මළ සිරුර ගැන කතා කරන්නටය.
කාන්තා සංවිධානයේ ලේකම්වරියගේ ඥාති සොහොයුරිය මැද පෙරදිග ගෘහ සේවිකා සේවයට ගියේ මින් මාස හයකට පෙරය. පස්මසක් ගත වූ තැන ආපසු ආවේ මහා නිහැඬියාවකට පසුය. ඒ ප්‍රාණය නිරුද්ධ ශරීරයක් ලෙසිනි.
නිදන් ගත කිසියම් ව්‍යාධියකින් පෙළෙන ඇගේ මවට දියණියගේ මළ සිරුර ගෙන්වා ගැනීමට කළ හැකි දෙයක් නොවූවද ගම්වැසියෝ කිපුණු මෙන් ම සෝබර සිතින් ලේකම්වරිය පෙරටුකරගෙන මන්ත්‍රිවරයා සොයා ආහ. මන්ත්‍රීවරයා ඔවුන් සමඟ විදේශ සේවා සපයන එම සංවිධානය හමුවට ගියේය. පළමුව මළ සිරුර ගෙන්වා දීමටත්, අවමංගල කටයුතු සඳහා ආධාර මුදලක් දීමටත් එකඟ වූ සංවිධානය ඒ එකඟත්වයට අනුව පළමු පොරොන්දු ඉටු කළේය. ඉන් පසු දෙවනුව වන්දි මුදලක් ලබා දීමේ පොරොන්දුව ඉටු කළේ නැත. දූසමාන ආරංචි අනුව කාන්තාව සේවය කළ නිෙවසින් විශාල වන්දි මුදලක් ගෙවා තිබුණ ද සේවා සංවිධානය එය වංචා සහගතව හිමි කර ගෙනය.
“මන්ත්‍රිතුමා අපි ආවෙ ලෙබනන් ගිහින් මැරුණ සමදරා ගැන මතක් කරන්න. සමදරා අපේ ලේකම්වරියගෙ ඥාති සහෝදරීනෙ...”
නරේන්ද්‍ර ගේ දෙනෙත් පුදුමය පළ කළේය.
“ඒ ගෑනු ළමයා මැරිලා මාස තුනක් ගියා ද?” ඔහු ඇසුවේ ද පුදුමයෙනි.
“නෑ. නෑ. ඒ ළමයට වන්දි මුදලක් ලබා දෙන්න ඔබතුමා පොරොන්දු වුණා.”
නරේන්ද්‍ර බැලුවේ පෞද්ගලික ලේකම්වරයා දෙසය. ඔහු මේ පිළිබඳ තමා දැනුම්වත් කළේ නැත. ලේකම්වරයා කාන්තාවන් දෙසත් මන්ත්‍රිවරයා දෙසත් බලන්නට විය.
“සිරිමෙවන් මහත්තයා මොනවද මේ ගොල්ලො කියන්නෙ?”
“සර් ගෑනු ළමයා වෙනුවෙන් වන්දි මුදලක් අරන් දෙන්නම් කියලා කිව්වා. ඊට අදාළව මූලිකව කරන්න ඕන වැඩ ගැනත් කිව්වා. මේ අය ඒ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. අඩු ගානේ විදේශ සේවා නියුක්ත කාර්යාලයට පැමිණිල්ලක් විදිහට ලියුමක් දාලත් නැහැ.”
නරේන්ද්‍ර කෝප විය. ඔහු කාන්තාවන් දෙස බැලුවේ කෝපය පිට කරන බැල්මකිනි.
“ඕකනෙ කියන්නෙ. මේ ගෑනුන්ට මොළේ නැහැ කියලා. රට යන අත බලලා ටිකක් කල්පනාවෙන් තීරණ ගන්න ඕන. මං කිව්වා විදේශ සේවා කාර්යාලයට ලියුමක් දාන්න. ඒකෙ කොපියක් මටත් දෙන්න. ඔය ගැන මං කතා කරන්නෙ අතේ ඇඟිලි දහය පෙන්නල ද?”
ලේකම්වරිය මන්ත්‍රිවරයාට එරෙහිව යමක් කියන්නට සැරසෙනු දුටු සභාපතිවරිය ඇයට බාධා කළේ ඇගේ පයේ ඇඟිල්ලක් පාගමිනි. ඥාතිවරිය වෙනුවෙන් උපන් වේදනාව සාධාරණ මුත් මන්ත්‍රීවරයා කිව් පරිදි මවගේ අත්සන ඇතිව ලිපියක් නොයැවීම වරදකි. මන්ත්‍රිවරයා තමාගේ හිතවන්තයෙකු ලෙස හඳුන්වන ඇය ඔහු නොපමාව වන්දි මුදල ලබාදීමට කටයුතු කරනු ඇතැයි ඥාතීන් හා අසල්වාසීන් දැනුවත් කර ඇත. එය පමාවීම ඇයට මදිකමකි.
“ඇයි අපේ ලේකම්තුමී ඒ අම්මලාගේ ඉල්ලීමක් විදිහට ලියුමක් ඉදිරිපත් නොකළේ?”
එවර නරේන්ද්‍ර ඇසවේ කරුණාවෙනි. මේ කතුන් අමනාප කර ගෙන බැරිය. මෙතෙක් ඉදිරියට ගෙනා හිතවත්කම්වල අඩුවක් නැත. අවැසි විට ඔවුහු තමා වෙනුවෙන් නොබියව ඉදිරියට එති.
“ඇයි ඉල්ලීමක් නොකළේ. අම්මා නේද ඉදිරිපත් වෙන්න ඕන?”
“ඒ අම්මට අකුරු සාස්තරේ බැහැ. ඇඟිලි අත්සන තියන්නත් බැහැ. අත් දෙකේ ම මාපටැඟිලි දෙක කපලා අයින් කරලා.”
නරේන්ද්‍රගේ මිනිස් සිත උණු විය. දියණියගේ මෘත ශරීරය ඇඟිලි රහිත තම දෙ අතින් පෙන්වමින් වයසට වඩා වියපත් ගැහැනියක් තම දෙපතුල ළඟ බිම වැතිරී විලාප නැගූ හැටි ඔහුගේ මතකයට ආවේය.
“මගෙන් වැරැදි වචනයක් කියැවුණා නම්, හිත රිදුණා නම් මට සමාවෙන්න.”
ඔහු කීවේ උණු වූ මිනිස් සිතෙහි සැඟවුණු මහාත්මා ගුණයට නතු වෙමිනි. තම බල ප්‍රදේශයේ ස්ත්‍රි පුරුෂයින් තමා කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයට ගෞරව දැක්වීම සංවේදීවීම බලය පෙන්වීමට වඩා ගැඹුරුය.
“ලේකම්තුමිය තරහ ගන්න එපා. මේ වගෙ කාරණාවලදී පෞද්ගලික න්‍යාය පත්තරවලට වැඩ කරන්න බැහැ. උගත් කාන්තාවො විදිහට ඔය හැමදෙනා ම මේවා තේරුම් ගන්න ඕන. කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි පවතින දේශපාලන රටාවන් එක්ක අපි කටයුතු කරන්න ඕන.”
ඔහු කීවේ ලේකම්වරියගේ සිත සනසවන යථාර්ථය පැහැදිලි කර දෙන සාමකාමී ස්වරයකින් වුණත් ඇය ඉන් කෝප වූවාය.
“මැද පෙරදිග ගෘහ සේවයට ගිය ගමේ ගෑනියෙක් මරා දාලා මිනිය රටට ගෙනත්. ඒ ජීවිතේ වටිනාකම පළාතේ මන්ත්‍රිට තේරෙන්නෙත් නැහැ. ආණ්ඩුවට තේරෙන්නෙත් නැහැ...”
“නංගී බොරුවට තර්ජනය කරන්න එපා. ජීවිතයක වටිනාකම හොඳට දන්න මිනිහෙක් මං. තමන්ට හිතවත්, තමන් ආදරය කරන කෙනෙක්, තමන්ගෙන් වෙන්වෙලා ගියා ම මැරිලා නෙමේ ආස්සරේ නැති වුනාම වුණත් ඒක දරා ගන්න බැරි බව මං හොඳට දන්නවා. ඒත් මොකද කරන්නෙ? මේවා පෞද්ගලික ප්‍රශ්න නෙමේ රටේ පොදු ප්‍රශ්න විදිහට හිතලා විසඳුම් හොයන එක තමා දේශපාලනඥයො විදිහට අපි කරන්න ඕන. ඡන්දදායක දායිකාවො හිතුවක්කාර වුණහම වැඩ අවුල් වෙනවා.”
දේශපාලනඥයො රටේ පොදු ප්‍රශ්න අවුල් කර ගන්නෙ නැතිව විසඳන හැටි අපිට පේනවා. අපි ඔබතුමා වෙනුවෙන් ගෙයින් ගෙට ගිහින් කෑගහලා, පාරක් පාරක් ගානෙ හතර හන්දි කැඩෙනකල් දුවලා, අනන්ත අප්‍රමාණ නින්දා අහ අහ ඡන්දය දිනවලා දුන්නා. දැන් ඔබතුමාම කියනවා ගෑනුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බැරිලු. අපිට වේදනයි ඔය කතාවලට.”
නරේන්ද්‍ර මන්ත්‍රිවරයා තමාට අභියෝග කරන්නාසේ කතා කරන පුරවැසි කත දෙස බලා සිටින්නට විය. ඇය කියන්නේ බොරු නොවේ. දේශපාලනඥයින් කෙරෙහි වුවද අනවශ්‍ය විශ්වාස පිළිගැනීම් තබා ගැනීම මුළාවකි.
“නංගී උඹලා මං වෙනුවෙන් නොමැරි මළා. ඇත්ත. මං මේ තාක් කල් උඹලට අකෘතඥ වෙලා නැහැ. මං කියන්නෙ රටේ සිද්ධ වෙන දේවල් දිහා ඇස් දෙකින් විතරක් නෙමේ ඔළුවෙනුත් බලන්න කියලා. රටවැසියා මොළේ පාවිච්චි කරන්නෙ නැති වුණා ම හුඟක් ම අසරණ වෙන්නෙ දේශපාලනඥයා. පිළිගන්නම්: මමත් දේශපාලනඥයෙක් නිසා මේ රැල්ලට අහුවෙලා ගසා ගෙන යනවා. තමන්ගෙ නියෝජිතයව ඒ අගතියෙන් නිදහස් කර ගෙන ඉස්සරහට අරන් යන ශක්තිය තියෙන්නෙ උඹලට. මං උඹලව අනාථ කරලා සුර සැප විඳින මන්ත්‍රි කෙනෙක් නෙමේ නංගි. මේ මන්ත්‍රී පිරුවටේ මට ඇන්දුවෙ උඹලා. ඒ වුණත් මේක ගලවලා දෙහි ගහකට දාලා අමුඩයක් ගහගෙන කුඹුරට බහින්න පුළුවන් මිනිහෙක් මං.”
තමාගේ මන්ත්‍රිවරයා තමාටත් වාඩ සංවේදී මිනිසෙකැයි හැඟීමෙන් සභාපතිවරියගේ සිත අනුකම්පා සහගත විය. ඔහුගේ බල ප්‍රදේශයේ කාන්තාවක මෙවන් සාහසික මරණයකට මුහුණ දීම ඔහුට සතුටක් නොවේ. එහෙත් ඇය නොරට ගියේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ දැනුම්වත් කිරීමකින් තොරව වීම පුරවැසි වගකීමක් පැහැර හැරීමක්.
“මේ ළමයා හිතේ වේදනාවට කියන කතාවලට තරහ ගන්න එපා මන්ත්‍රිතුමා. සමාවෙන්න අපිට. ඔබතුමා අපිට සහෝදරයෙක්. මන්ත්‍රී කෙනෙක් නෙමේ. එදත් එකයි අදත් එකයි.”
සභාපතිවරිය කනගාටුව පළ කරන්නට උත්සාහ ගත්තාය. නරේන්ද්‍රගේ මුහුණ ද දුක්බර විය.
“සැක හිතන්න එපා. මං මේ ඡන්ද කොට්ඨාසෙ අයියා නෙමේ. උඹලගෙ වැඩිමහල් සහෝදරයා. අනිත් එක කාන්තාවො ගෑනු කියලා කට වහගෙන ඉන්න ඕනෙ නැහැ. සුදුසු තැන සුදුසු වචන කටින් පිට කරන්න ඕන. නංගි මට ගෙදර ගිහින් බනින්න එපා. කියන්න තියෙන දෙයක් කියල ම යන්න. හරි ඒ කතා අමතක කරමු. මේ සතියෙ ම මට ලියුම ගෙනත් දෙන්න. ග්‍රාම සේවක සහතිකයක් ගන්න. අම්මගෙ ඉතුරුවෙලා තියෙන ඇඟිල්ලකින් අත්සන් ගන්න. මං ඉතුරු ටික බලා ගන්නම් ඒ රක්ෂාව හොයලා දුන්න නියෝජිතයො එක්ක. අපෙත් දුර්වලකමක් තියෙන නිසා සීරුවෙන් වැඩේට බහිමු.”
උදාවන ඊළඟ සතිය පිළිබඳ බලාපොරොත්තු ඇතිව කාන්තාවෝ ස්වකීය මන්ත්‍රිවරයාගෙන් සමු ගත්තහ. ඔවුන් පැමිණ සිටියේ ත්‍රිරෝද රථයකිනි. ආපසු යෑමට ත්‍රිරෝද රථයක් සොයා ගැනීමේ කථිකාවට සවන් දුන් මන්ත්‍රිවරයා තමාගේ නිල නොවන ජිප් රථය ඔවුන්ට දුන්නේ පහසුවෙන් ගෙදර යෑමට ය.