
අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වන්නේ සමස්ථ ලෝකය ම නව පරිවර්තනයකට සූදානම් වෙමින් සිටින මොහොතක ය. ඔබ දැනටමත් දන්නා පරිදි එකී ලෝක විප්ලවය ඇති කරවන්නේ සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා ය. අන් සියලු ග්‍රහයන්ට වඩා සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ කළ යුතු දෙය හොඳින් හෝ නරකින් හෝ දැනෙන්නට ම සිදු කිරීම ය. ඒ අනුව 2017 අප්‍රේල් 09 දා සිට ඇරඹෙන ලෝක පෙරළිය ලෝක යුද්ධයක් හා සමාන ක්‍රියාදාමයකි.
යුද්ධයක් හෝ ගැටුමක් හට ගැනීමට නම් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකක් තිබිය යුතු ය. ලෝක ග්‍රහචාරය අනුව එකී පාර්ශ්වයන් දෙක කුමක් දැයි විමසීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ලෝක යුද ඉතිහාසයේ හමුවන පොදු න්‍යායක් තිබේ. එනම් යුද්ධය ආරම්භ කළ පාර්ශ්වය බොහෝ විට පරාජයට පත්වීම ය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ දෙකේදී ම ඒ න්‍යාය සැබෑවට පත්විය.
දේශ ගවේෂණ
එහෙත් ක්‍රි. ව. 1500 ට එහා ලෝකයට ඒ නියමය අදාළ වූයේ නැත. මාකෝ පෝලෝ සහ කොලොම්බස්ගේ දේශ ගවේෂණ පසුව ඉතා පැහැදිලි ආක්‍රමණ බවට පත්විය. ඊටත් පෙර ඉතිහාසයේදී මහා ඇලෙක්සැන්ඩර්ගේ සංග්‍රාමික දිග් විජය ප්‍රතිපත්තිය හේතුවෙන් යටත් විජිත බවට පත් වූ රටවල් සංඛ්‍යාව ඈත අපරදිග සහ පෙරදිග යා කරන යුද සිතියමක් බවට පෙරළිණ. මේ යුදමය ආක්‍රමණ පසුපසින් ඉතා බලවත් ලෙස ඇදී අවුත් පැළපදියම් වූ අදෘශ්‍යමාන ආක්‍රමණයන් ආගමික - සංස්කෘතික- ආර්ථික -දේශපාලන - විද්‍යා හා කලා ශිල්ප ආදී වශයෙන් පුළුල් පරාශයක විහිදෙයි.
එහෙත් 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ සිට ඒ ආක්‍රමණිකයාට එරෙහිව ප්‍රතිවිරෝධතා දැක්වීම් බලවත් වන්නට ගත්තේ ය. අධිරාජ්‍යවාදයට - යටත් විජිතකරණයට එරෙහි ජාතික විමුක්ති ව්‍යාපාර සන්නද්ධ සහ මතවාදී යන දෙ අංශයෙන් ම බලවත්ව නැගී සිටින්නට විය.
හමුදා ආක්‍රමණ
කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සන්නද්ධ හමුදාමය ආක්‍රමණ වෙනුවට ඊට වඩා සුමට එහෙත් ඉතා බලවත් ආක්‍රමණයක් නව යටත් විජිතවාදය ලෙස ලොව පුරා පැතිරිණ. අද කාලයේ වචනයෙන් කීවොත් ගෝලීය ධනවාදයට යටත් නොවන කිසිම රටකට පැවැත්මක් නැත. ගෝලීය ධනවාදය නම් නව ආක්‍රමණිකයාට එකඟ නොවී සහ කප්පම් ගෙවිමෙන් තොරව ලෝකයේ කිසිම රටක් ආණ්ඩුවක් පවත්වා ගෙන යා නොහැක.
ආක්‍රමණ සහ යටත්විජිතකරණය පිළිබඳ ලෝක ඉතිහාසය විමසන විට ඉතා පුදුම සහගත සිද්ධියක් දක්නට ලැබේ. ආක්‍රමණිකයාට අවනතව යටත් වීමට මෙන් ම ආක්‍රමණිකයාට එරෙහිව නැගී සිටීමටත් බලපාන කාල චක්‍ර දෙකක් තිබේ. ඒ චක්‍ර දෙක වර්ෂ 84 කට වරක් මාරු වේ. ඒ අනුව 1932 දී ආරම්භ වූ එක් චක්‍රයක් 2017 දී අවසන් වෙයි. මේ කාල චක්‍රය නිවේදනය වන්නේ යුරේනස් ගෙනි. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ වූ ගෝලීය ධනවාදය - නව යටත් විජිතකරණය නම් ආක්‍රමණිකයා නුදුරු අනාගතයේදී පරාජයට පත්වීමට නියමිත ය.
යුරේනස්ගේ චක්‍රය
2017 අප්‍රේල් 09 දා සිට ඇරඹෙන අලුත් යුරේනස්ගේ චක්‍රය විසින් ලොව පුරා රටවල ජාතිකවාදය මුල් කොට ගත් ව්‍යාපාරයන් සන්නද්ධ සහ මතවාදී යන දෙ අංශයෙන් ම ඉස්මතු කරනු ලබයි. තනි තනි රටවල හට ගන්නා හුදෙකලා ජාතිකවාදී සටන් ජය ගන්නා අතර ඊට අනුගත අලුත් සමාජ දේශපාලන සංවිධාන සහ නායකයන් ඉතා බලවත්ව නැගී සිටින අතර ඊට අනුගත නොවන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් කාලය විසින් ම ඉවත් කරනු ලැබේ.
දේශපාලන බලය සම්බන්ධයෙන් පමණක් නොව විද්‍යාව තාක්ෂණය - බල ශක්තිය - සහ ආර්ථික මූලෝපායන් ද විප්ලවීය වෙනසකට ලක්වේ. පොසිල ඉන්ධන ඍජුව ම ගෝලීය ධනවාදයේ අතකොලුවක් බවට පත්ව තිබුණ නමුත් ඉදිරි වර්ෂ 84 දී අරාබිය විසාලා නුවරක් බවට පත්වීම වැළැක්විය නො හැක. යුරේනස් විසින් අරාබියේ තෙල් බලය සමඟ ම ඉස්ලාම් ආධිපත්‍යය ද හමාර කිරීමට නියමිත ය. දෙවනුව කාලගුණ විපර්‍යාස සහ දැවැන්ත ස්වභාවික විපත් ආදියෙන් මැද පෙරදිග මිහිපිට නරකාදියක් බවට පත්වේ. තුන්වැනිව ලෝකයේ විශාලත ම සරණාගතයන් සිටින ප්‍රදේශයක් බවට අරාබිකරය ඛේදනීය ඉරණමකට ගොදුරු වෙයි.
මිතුරු සංධාන
මීට පෙර පරිච්ඡේදයක අංක විද්‍යාත්මක අගයකින් පෙන්වා දුන් පරිදි 2017 න් උදාවන අලුත් ලෝකයේ අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ද රුසියාව සහ චීනය ද මිතුරු සංධාන ලෙස බලවත් වෙයි. ඒවා ඉතා පැහැදිලි පසමිතුරු කඳවුරු ලෙස ධ්‍රැවීකරණය වන අතර ලෝක ආධිපත්‍යය නැවත සීතල යුද සමයට ගමන් ගනී. කඩුවෙන් දිනූ දේ කඩුවෙන් ම වැනසෙන ධර්මතාව පසක් කරමින් සෙනසුරු සහ යුරේනස් ලෝකය නැවත පිළිවෙළකට අලුත් කරන ව්‍යාපෘතියේදී ආගමික සහ ආධ්‍යාත්මික පෙරළියකට මුල පුරයි.
අවිය සහ බලය
එහෙත් එය සිදු කැරෙන්නේ අවිය සහ බලය යොදා ගනිමිනි. දැනටත් සිහින් සුළං රැළි ලෙස ලෝකය පුරා හමා යන ඉස්ලාම් විරෝධය ඉතා කනගාටුදායක ලෙස චණ්ඩ මාරුතයක් බවට පරිවර්තනය වෙයි. ඒ අනුව ලොව පුරා ඇති සියලු ඉස්ලාමීය රාජ්‍ය මොඩලයන් සහ පාලනයන් එක පිට එක බිඳ වැටෙයි.නැතහොත් ඒවායේ අකෘතිය සහ අන්තර්ගතය වෙනස් කළ යුතු බවට බාහිරව හා අභ්‍යන්තරව බලවත් පීඩනයන් එල්ල වෙයි. සවුදි අරාබිය - ඉරානය - මැලේසියාව - ඉන්දුනීසීයාව - සිරියාව - ලිබියාව - ඊජිප්තුව - ඇෆ්ගනිස්තානය - යන රටවලට අයත් කේන්දර විශ්ලේෂණය කරන විට මේ සෑම රටක් ම නුදුරු අනාගතයේදී විප්ලවකාරී සමාජ දේශපාලන සහ සංස්කෘතික පරිවර්තනයන්ට ලක්වීමට නියමිත ය. යුරේනස්ගේ කාල චක්‍ර තුනක එකතුව වර්ෂ 252 කි. ඊට එහා අතීතයේදී කඩුවෙන් සහ බලහත්කාරයෙන් සිදු කළ සියලු ආගමික ව්‍යාප්තවාදයන් 2017 වර්ෂයේ සිට ආපසු කරකැවෙන්නට පටන් ගනී.යුරේනස් නූතන විද්‍යාවේ සහ උසස් නිදහස් චින්තනයේ නිවේදකයා ය. වසර 84 කට වරක් මේෂ රාශිය හෙවත් විශ්ව කේන්දරයේ ශීර්ෂයට එන ඔහු ලෝකය අලුත් කිරීමට යොදා ගන්නේ තාක්ෂණය සහ යුද්ධය යි. එහිදී නිදහස් චින්තනය සහ ලෝක සාමයට එරෙහි කුමන හෝ අන්තවාදී වර්ගෝත්තමවාදී ව්‍යාපාරයකට වත් පැවැත්මක් නැති වෙයි.
ගෝලීය ධනවාදය
ගෝලීය ධනවාදය සහ එහි අකීකරු දරුවා වන ඉස්ලාම් මූලධර්මවාදය ඒ අනුව සහමුලින්ම පරාජයට පත්වීමට නියමිත ය. පුදුමයකට මෙන් මෙවරත් එය ආරම්භ වන්නේ යුරෝපයෙනි. මීට පෙර වතාවේ මේෂ රාශියට පැමිණි යුරේනස් විසින් ජර්මනියේ වර්ගෝත්තමවාදී නාසි ව්‍යාපාරය ඉස්මතු කළා පමණක් නොව විශාල ජන සංහාරයක් සමඟ ම එය විනාශ කොට ලෝකය සෑම අංශයකින් ම අලුත් කෙළේ එකී නියාමය අනුව ය. ඒ අනුව ම මෙවර යුරේනස්ගේ ඉලක්කයට හසුවන්නේ ඉස්ලාම් මූලධර්මවාදය සහ එය පෝෂණය කරන ගෝලීය ධනවාදය යි.
ගෝලීය ධනවාදයේ ගෝඩ්ෆාදර් වන අමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නෙකු ජනාධිපතිධූරයට ඔසවා තැබුවේ තමා විසින් හදාවඩා ගත් මුස්ලිම් මූලධර්මවාදය නැමති අකීකරු දරුවා ආණ්ඩු මට්ටු කිරීමට පමණක් නොව තමා විසින් ම මෙතෙක් රැක බලා ගත් ගෝලීය ධනවාදය ද තමාට ම එරෙහිව තර්ජනයක් ලෙස මතුව එන බැව් අවබෝධ කැර ගත් පසුබිමකදී බව වටහා ගත යුතු ය. ගෝලීය ධනවාදය යනු කිරි එළදෙනක නම් අමෙරිකාව එකී එළදෙන කවා පොවා පෝෂණය කරන පැත්තේ සිටින විට පසු භාගයේ සිටින චීනය කිරි පමණක් නොව ගොම පොහොර ටික ද ඩැහැ ගන්නා බැව් පෙනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගන්නේ මේ අවාසිය පියවා ගැනීමට ය.
ලෝක පෙරළිය
ඒ සඳහා ඔහු ජාතිකවාදය පෙරට ගත්තේ ය. එය ඉතිහාසයේ දෛවය විසින් තෝරා දුන් දෙයක් විනා ට්‍රම්ප්ගේ තෝරා ගැනීමක් නොවේ. ඒ අනුව එක්සත් ජනපද ජාතිකත්ව රැල්ල ආපසු හැරවිය නො හැකි වන්නා සේම එය යුරෝපය හරහා සමස්ථ ලෝකය පුරා හමා යන්නේ යුරේනස් ගෙන් නිවේදනය වන ලෝක පෙරළියට පසුබිම සලසමිනි. ඇත්තෙන් ම මේ පරිවර්තනය ආරම්භ වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ මවු රාජ්‍යය වන එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙනි.
රාජ්‍යයන් - රාජ්‍ය නායකයන් සහ පුද්ගලයන් විසින් ඉතිහාසය නිර්මාණය කරන්නේ නැත. ඉතිහාසයේ දෛවය විසින් රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් නිර්මාණය කරනු ලැබේ. එංගලන්තයේ ආණ්ඩුව පවා යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු නැති බවට දැඩි ස්ථාවරයක් පළ කරමින් සිටියදී ඒ නොතකා මහජන මතය බලවත්ව නැගී අවුත් ඉතිහාසය විසින් ඉල්ලා සිටින දෙය ඉටු කරන ලදී. ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එකී මතවාදයට අනුගත ලෝකය කෙතරම් බලවත් ලෙස නැගී සිටිය ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේ ය.
ඉතිහාසයේ සරදම
මේ පරාජයන් දෙක ම දරාගත නොහැකි වූවෝ තමන් පෙනී සිටින බව කී සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි ඉතා ජුගුප්සාජනක ලෙස ලොවට ම පෙන්නුම් කෙළේ ඉතිහාසයේ සරදමක් ලෙසිනි. තමන් මිය යමින් සිටින යුගයක විකාර රූපී අවතාර ලෙස දිස්වන බැව් ඔවුහු අවබෝධ කොට නො ගත්හ. ඔවුනට පෙනී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමන ජාතිවාදියකු හෝ උග්‍ර මුස්ලිම් විරෝධීයකු හෝ වශයෙනි. ඒ මිස ට්‍රම්ප් විසින් නියෝජනය කරනු ලබන ඓතිහාසික යථාර්ථය කුමක් දැයි හඳුනා ගැනීමට ද ඔවුනට නොහැකි විය. නුදුරු අනාගත ලෝකයේදී මෙවැනි සමාජ දේශපාලන මතවාද එකක් නෑර අභාවප්‍රාප්ත කරවන්නට යුරේනස් පැකිලෙන්නේ නැත. ඔහු ලෝකයට අලුත් ම චින්තනයක් සහ අලුත් ම කියවීමක් ජනනය කරවයි.
යුරේනස්ගේ අලුත් ලෝකය
2017 අප්‍රේල් 09 දා සිට ඇරඹෙන යුරේනස්ගේ අලුත් ලෝකය තුළ මිනිසා ඉතා විශාල ලේ වන්දියක් ගෙවමින් සමාජ - දේශපාලන - ආර්ථික - සංස්කෘතික - සහ විද්‍යා තාක්ෂණ ජයග්‍රහණයන් දිනා ගනී. 'ඉතිහාසයේ වරක් සිදු වූ දෙයක් නැවත එලෙස ම සිදු වන්නේ නම් එක්කෝ එය ඛේදවාචකයකි නැතහොත් විකාරයකි' යැයි සුප්‍රකට කියමනක් වෙයි. ඒ එසේ විය හැකිය. ඉතිහාසයට සරල රේඛීය ගමන් මාර්ගයක් නැත. ඉතිහාසය හැම විටම ගමන් ගන්නේ සර්පිලාකාරව ය.
පූර්ව නිමිති
කෙනෙකු සර්පිලාකාර තරප්පුවක් මත ගමන් කරන්නේ නම් එක් වටයක් කරකැවෙන විට දිසාව අනුව නම් ආපසු උන් තැනට ම එන්නා සේ ඔහුට දැනෙයි. එහෙත් ඔහු එහි සිටින්නේ පෙර සිටියාට වඩා ඉහළ මට්ටමක ය. ඉතිහාසයේ දෛවය ද එසේම ය. අපට කළ හැක්කේ ඒ පිළිබඳ පූර්ව නිමිති දැකීම පමණි. මේ විමර්ශනයට මූලාශ්‍ර වූයේ ලෝක ඉතිහාසයේ එක් එක් යුගයන්ට සමාන්තරව විශ්වයේ පැවති ග්‍රහ චලිතය නිරීක්ෂණය කිරීම ය.
චක්‍රීය ග්‍රහ චලිතය සහ ලෝක ඉතිහාසය ඒකාකාර වේගයෙන් එක ම දිසාවකට ගමන් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික කේන්දරය අනුව නම් ඔහු ජනාධිපති ධූරයේ කොතෙක් කල් සිටීද යනු අඩමාන ය. එහෙත් ඉතිහාසය තම ගමන දශමයකින් වත් ප්‍රමාද කරන්නේ නැත.