පාස­ලෙන් ගිලි­හුණු මල් කැකුළු සොයා ගිය ගම­නක් | සිළුමිණ

පාස­ලෙන් ගිලි­හුණු මල් කැකුළු සොයා ගිය ගම­නක්

පොත් ගොන්නක් තුරුලට ගෙන මවගේ දෑතේ එල්ලී පාසලට පියමං කරන පුංචි දුව පුතා පාසල් දොරකඬින් මෑත්ව පන්තිය කරා දිව යන තෙක් මවත් පියාත් දෙනෙත් අයා බලා සිටින්නේ දරුවන් හැර වෙනත් ලොවක් ඔවුනට තවත් නැති නිසා ය. ලොවක් තනන්නට රටක් නඟන්නට මේ පුංචි දෑත් හුරුවන තෙක් බලා සිටින මවටත් පියාටත් දරුවන්ගේ පාසල තරම් දෙවැනි ලොවක් තවත් නැත්තේ ය. එහෙත් ජීවිතය මහා පුදුමාකාර ය. අප සිතනා පතනා ආකාරයෙන් බොහෝ පැතුම් ඉටුවේ නම් මේ ලොව තරම් සුන්දර තවත් තැනක් වෙන නැත්තේ ය. පාසල් දිවිය ගිලිහී ගිය ළමා වියක් ගැන කතා කරන්නට ඇවැසි නොවූවද අද එවැනි අමිහිරි මතකයන් අපට ආවර්ජනය කරන්නට සිදුව ඇත්තේ අප ඇත්ත ඇති සැටියෙන්ම අත්විඳිය යුතු නිසාය. මේ සියලු කරුණු දරුවන් සිටින අපට වේදනාවෙන් යුතුව ආවර්ජනය කරන්නට සිදුවුවත් ඔවුනගේ පරමාර්ථය වී ඇත්තේ වැරැද්ද නිවැරදි කිරීම විනා මේ මල් වැනි ජීවිත හෑල්ලුවකට ලක්කිරීම නොවන බව කිව යුතු ය.

පාසලින් ගිලිහී ගිය මේ කුඩා දරු පැටවුන් අපට හමුවූයේ පසුගියදා සීදූව ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් කරන ලද මෙහෙයුමකිනි.

“සීදූව මීගමු කලාපයේ තමයි පාසල් නොයන දරුවන් වැඩිම පිරිසක් සිටින්නේ. පාසල් යන වයසේ මේ දරුවන් අද පාසල් නොගොසින් විවිධ අපචාර, අපරාධවලට සම්බන්ධ වෙලා. මේ දරුවන් අපි කොහොම හරි පාසල් ගත කළ යුතුයි. සීදූව පොලීසියත් එක්ක එකතු වෙලා අපි මේ දරුවන් අල්ලා ගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේ මෙහෙයුම කරන්නේ පාසල් වෙලාවේ” මේ දරුවන් සොයා යන මෙහෙයුමේ තොරතුරු මුලින්ම අපට කිව්වේ මීගමුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් ශාන්ත මහතා ය. දිනය පසුගිය අඟහාරුවාදා ය.

අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් ශාන්ත මහතාත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් එදින යුහුසුලුව සූදානම් වෙමින් සිටියේ විවිධ හේතු කාරණා පවසමින් පාසල් මඟහැර කට්ටි පනිමින් සිටින දරුවන් හසුකර ගන්නට ය. මෙවැනි දරුවන් ගැන ඔවුන්ට ඒ වනවිටත් යම් තොරතුරු ලැබී තිබිණි. දරුවන් සොයා යන මේ මෙහෙයුමට සීදූව පොලිසියේ පොලිස් නිලධාරිනියක් හා පොලිස් නිලධාරීහූ දෙදෙනෙක් ද සමඟින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනි ක්‍රිෂාන්ති කුලතිලක, ව්‍යාපෘති නිලධාරීනි මින්හා ආබ්දීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර එම්.පී.අයි.කේ මධුරාජ සහ සීදුව 147 ග්‍රාම නිලධාරීනි පී.එම් චමිලා ගුණතිලක ඇතුළු පිරිසක් හවුල් වූහ.

සීදූව රාජපක්ෂපුර, මැද්දෙගොඩ ප්‍රදේශවල පමණක් නොව ඒ ආශ්‍රිත ධීවර පවුල් මෙන්ම කලාපවල සේවය කරන පවුල්වල ජීවත් වන පාසල් නොයන දරුවන්ගේ තොරතුරු මුලින්ම සොයාගෙන තිබුණේ ඒ ඒ ප්‍රදේශ බාර ග්‍රාම නිලධාරීවරුන් විසිනි. අනිවාර්ය විශේෂ අධ්‍යාපන රෙගුලාසීන්ට අනුව වයස අවුරුදු 5 ත් 16 ත් අතර දරුවන් අනිවාර්යයෙන් පාසල් ගත කළ යුතුයැයි නීතියක් තිබුණද මේ මවුවරුන්ට හා පියවරුන්ට ඒ කිසිවක් අදාළ නොවීය. එදිනෙදා දිවියේ ප්‍රශ්න හා ගැටලු මැද අතරමං වූ මේ බොහෝ අය දරුවන් පාසල් යැවීමට එතරම් වැදගත්කමක් නොදුන්හ. තමන් වැටුණු වළේ සිය දරුවන් වැටෙනවා දකින්නට ඇතැමුන් අකැමැති වුවද මේ දෙමවුපියන්ට එය එසේ නොවේ.

අපේ මේ සටහන ද එලෙස අකලට මැලවී යෑමට ඉඩ තිබූ ළපටි ජීවිත කීපයක් ගැන මිස සමස්තය පිළිබඳ නොවේ. මෙවැනි දරුවන් සොයා ගන්නට හැකිවූයේ මේ මෙහෙයුමට සම්බන්ධවූවන්ට පින් සිදු වන්නට ය. මේ මව අපි මාලතී ලෙස හඳුන්වමු. ඇයගේ නමය වසරේ ඉගෙනුම ලැබූ පුතු දැන් පාසල් යන්නේ නැත. පාසල් දිවියට ආයුබෝවන් කියූ මේ පුංචි කොලු පැටියා දැන් කරන්නේ ගම වටේ කරක් ගසමින් සරුංගල් යැවීමය.

“මහත්තයෝ මගේ දරුවට මම හැමදාම උදේට ගහනවා. පාසල් යන්න කියලා. ඒත් වුණේ මං පව් පුරෝ ගත්ත එක විතරයි මේ දරුවා පාසල් යවා ගන්න බැහැ.” මේ මව හැඬූ කඳුළින් පවසන්නී ය. ග්‍රාම නිලධාරිනියට වාර්තා වූ අන්දමට මේ දරුවා පාසල් යන්නට මැළි කරන්නේ ගමේ රස්තියාදුකාර ජීවිතයට හුරු වී ඇති නිසා පමණක් නොව මාළු ඇල්ලීම මෙන්ම පොල් ඇහිලීම වැනි නීති විරෝධී කටයුතුවලට අැබ්බැහි වීම නිසා ය. අවසානයේ මේ මව පමණක් නොව ඔහුගේ පියාත් දරුවාත් මෙම නිලධාරීන් පිරිස ඉදිරියේ අසරණව හඬා වැලපුණේ තමන් අතින් වූ බරපතළ වැරැද්ද තේරුම් ගනිමිනි.

“අනේ! මම හෙට ඉඳන් ඉස්කොලේ යන්නම්. මාව පොලීසියටනම් ගෙනියන්න එපා.”දරුවා සැවොම ඉදිරියේ හඬා වැටුණේ නැවතත් පාසල් යන බවට පොරොන්දු වෙමිනි. මේ මෙහෙයුමේදී අපට මුණ ගැසුණු තවත් දැරියකි. අපි ඇයට උදේශිකා යැයි කියමු. සහෝදරියන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ මවත් පියාත් ඔවුන් සමඟ නොවූහ. මිත්තනියගේ ඇසුරේ හැදෙන ඇය බිඳුණු පවුලක දැරියකි.

“ ඇයි ඔය දරුවා පාසල් යන්නේ නැත්තේ.?” නිලධාරීන් විමසද්දි ඇය නිරුත්තර වූවාය.

“ මම පාසල් යනවා. ඒත් අද යන්න ලැබුණේ නැහැ” ඇය ගොතා කීවේ කටට ආ බොරුවකි.

“එහෙනම් කෝ ගේන්න බලන්න ඔය දරුවාගේ පොත්” සූක්ෂ්මව මේ කටයුත්ත කරගෙන ගිය නිලධාරීන් ඇයගේ වචනය විස්වාස නොකළේ පරිවාසාරක්ෂක මෙන්ම ග්‍රාම නිලධාරීනියන් වෙතින් අවශ්‍ය තොරතුරු කලින් ලබා ගෙන තිබූ බැවිනි. ඇගේ පොත් කිසිදු ලෙසකින් අපිරිසුදු වී තිබුණේ නැත. ඒත් ඒවායේ මෑතකදි පාසල් ගිය සලකුණක් වත් පෙනෙන්නට තිබුණේ නැත.

“මේදරුවා මගේ දුවගේ. මමයි බලා ගන්නේ. දරුවා හත අට වෙනකල් පාසල් ගියා. ඒත් එයාට පාසල් ගියාට කියවන්න බැහැ. හැමදාම පන්තියේ අන්තිමයා. මේ නිසා දරුවා පාසල් යන්න අදිමදි කරනවා.

මමත් ලෙඩ ගානෙනේ.” ඒ ආච්චි අම්මා කී කතාවය. බොහෝ කරුණු කාරණා කිව්වත් මේ දරුවා පාසල් නොයෑම ඒ මිත්තනියගේ සතුටට හේතුවක් වී ඇත්තේ මේ දැරිය අතින් ඇයගේ සියලු ඇප උපස්ථාන ඉටුවන නිසා ය. බොහෝ මවුපියන් රැකියා සොයා රට රාජ්ජවල සැරිසරන්නේ සිය දරුවන්ගේ භාරකාරත්වය වැඩිහිටි ඥාතීන්ට පවරාය. එහෙත් සිය දරුවන්ට අත්වන ඉරණම ගැන ඔවුහූ නොදනිති. තවත් දරුවකු අපට හමුවූයේ සීදූව පුදේශයේ දී ය. ඔහු නිමල් නමින් හඳුන්වමු.

“සර් මම ඉස්කෝලේ යන්න කැමතියි. ඒත් මගේ කොණ්ඩ ස්ටයිල් එක නිසා මට හැමදාම පාසලෙන් දඩුවම් කරන්න ගත්තා. මම මේ කොණ්ඩේ කපලා තියෙන විදියට කැමතියි. මට ඉස්කෝලේ යෑම එපා වුණා” සිය කොණ්ඩා මෝස්තරය පාසල් දිවියට දෙවැනි කොට සැලකූ ඔහු වැඩි කලක් නොයා තමා උගත් පාසලට ආයුබෝවන් කියා ඇත්තේය. ඔහු අද ජීවත් වනුයේ අයාලේ ගිය දරුවකු ලෙසිනි.

“පුතේ ඔයාට පාසල් යන්න බැරිනම් අපි ඔයාට වෘත්තීය වශයෙන් දැනුමක් දෙන්නම්. ඔයා හෙට දෙමවුපියන් එක්ක මීගමුවේ නොවිධිමත් ඒකකයට එන්න.” මෙහෙයුමේ නිලධාරීන්ගේ මානූෂීය කතා බහෙන් අවනත වූ ඔහු අවසානයේ පාසල් නොගොස් කාර්ය බද්ධ සාක්ෂරතාව ලබා ගැනීමට එකඟ වූයේය.

සීදූව අමන්දොලුව ප්‍රදේශයේ උෟරුකොටුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේදි පාසල් නොයන දරුවන් කීපදෙනකු එකවරම මේ මෙහෙයුමේදි කොටු කර ගත්තේ බොහෝ බාධක මධ්‍යයේ ය. ඇතැම් දරුවෝ නිලධාරීන් එද්දී පලා ගොස් සැඟව ගත්හ. එහි වූ පවුල්වල නිසි වයස් සම්පූර්ණ වූ බොහෝ දරුවෝ පාසල් නොයති. ඇතැම් දරුවන් පාසල් නොයවන්නේ මවුපියන් නීත්‍යනුකූලව විවාහ නොවීම නිසා උප්පැන්න සහතිකයක් නොමැති නිසාය. පොල් කැඩීම්, සතුන් බලා ගැනීම මෙන්ම යම් යම් අකටයුතුකම් කරමින් මේ දරුවෝ දවස ගෙවති.

“අපි මේ සියලු දරුවන් පාසල් ගත කරනවා. බොහෝ විට මේ ලිපිය පළ වන විට මේ දරුවන්ට පාසලක් ලැබී තියේවි. ඒ වගේම මේ විවාහ නොවූ පවුල් අපි විවාහ කරවන්න කටයුතු කරනවා.” යැයි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙහිදී අපට හමුවූ බොහො­් මවුවරුන්ට දරුවන් පාසල් නොයවා සිටීමට වූයේ දැඩි වුවමනාවකි. දරුවා පාසල් යෑම ප්‍රතික්ෂේප කරද්දී ඊට සහායට හේතු දක්වන මවුවරුද මේ මෙහෙයුමේදී අපට හම‍ුවූහ.

“පුතා අද විතරයි ඉස්කෝලේ ගියේ නැත්තේ” යනුවෙන් ඔවුන් පවසද්දී උපායශීලි වූ නිලධාරීහූ

“කෝ ගේන්න බලන්න පොත්. අන්තිමට පාසල් ගියේ කවද්ද. ඇයි අම්මේ ඔයාලා බොරු කියන්නේ. දන්නවද ඔයාලා මේ කරන්නේ නිතී විරෝධි දෙයක් කියලා. අද රටේ නීතියක් තියෙනවා කියලා දන්නවද, අවුරුදු 5 ත් 16 ත් අතර සම්පූර්ණවූ දරුවන් අනිවාර්යයෙන්ම පාසල් ගත කළ යුතුයි කියලා. ඔයාලා මේ කරන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් විමසිලි වූහ.

නිලධාරීන්ගේ ප්‍රශ්න හමුවේ වරද තේරුම් ගිය බොහෝ මවුවරු සිය දරුවන් වැලඳ අවසානයේ හඬන්නට වූහ. 'අනේ මහත්තයෝ මගේ දරුවට ලෙඩක්. පාසල් යවන්න බයයි.' 'මගේ බාල දරුවා බලා ගන්න විදියක් නැහැ' ' අනේ මහත්තයේ මගේ දරුවා දඩබ්බරයි කියලා පාසලෙන් අස් කළා' 'අනේ නෝනා දරුවා ඉස්කෝලෙදි ගුරුවරයෙක්ගේ මාලයක් හොරකම් කරලා අස්කරා' යනුවෙන් ඒ මවුවරුන්ගෙන් දරුවන් ගලවා ගැනීම සඳහා හේතු එකක් දෙකක් නොව සිය ගණනකි. එහෙත් අවසානයේ වරද පිළිගත් ඔවුන් එළැඹෙන හෙට දිනයේ සිය දරුවන් නැවතත් පාසල් යැවීමට නිලධාරීන්ට‍ පොරොන්දු දුන්නේ කළ සත්කාරයට සිය දහස් ගුණයෙන් පින්දෙමිනි.

වර්තමානයේ මුළු රටේම පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 51000 ක් පමණ වෙතැයි හෙළිවේ. එහෙත් බහුතරයකට පාසලක් හිමිය.

“පාසල් නොයවන දරුවන් පිළිබඳ ජාතික තලයත් එක්ක සන්සන්දනය කරද්දි මීගමුව, සීදූව මෙන්ම කටාන ප්‍රදේශයේ ඉහළ අගයක් ගන්නවා. ළමා ගර්භණීභාවය මේ පළාතේ ඉහළයි. පාසල් නොගොස් පිරිමි ළමයි විවිධ අපචාරවල යෙදෙනවා. මත්පැන් බොනවා. කේරළ ගංජා ගහනවා. හරිම කනගාටුදායකයි. සමහරු අසභ්‍ය චිත්‍රපට බලනවා. තවත් අය අඩු වයස් විවාහ. මේ නිසා පාසල් යන වයසේ දරුවන් අපි අනිවාර්යයෙන් පාසල් ගත කළ යුතුයි. අපි මේ කරන මෙහෙයුම නවත්තන්නැහැ.

ඒ වගේම පාසල්ගත කළ මේ දරුවන් ගැන පසු ඇගැයීම් කරනවා” යැයි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනී ක්‍රිෂාන්ති කුලතිලක මහත්මිය පවසයි.

පාසල් ගත කළ හැකි මෙවැනි දරුවන් පාසල් ගත කළත් එසේ පාසල් ගත කිරීමට අපොහොසත් වු දරුවන්ට අධ්‍යාපනය දීමට රජය නැණ සරණ නොවිධිමත් අධ්‍යාපන ඒකකය පිහිටුවා ඇත. ලොකු පොඩි කිසිදු භේදයක් නැතුව මේ ඒකකයේ අධ්‍යාපනය ලබන දරුවන් විවිධ හේතු කාරණා මත පාසල් අහිමි කර ගත්තවුන්ය.

“මේ දරුවන් උදේ සිට සවස 5 වන තෙක් අපිත් එක්ක යම් යම් ඉගෙනීම් කරනවා. මේ පාසල්වල ඩෙස් බංකු පුටු අඩුපාඩු සකසන්නෙත් මේ දරුවන්. අද මේ අය විවිධ වෘත්තීන්වලටත් හුරුවෙලා. මේ ඒකකයට එන දරුවන්ට කෑම බීම වගේම අනිකුත් අවශ්‍යතා සපුරලා දෙන්නේ මෙහි උගන්වන ගුරුවරුන් විසින්මයි. විවිධ විෂම ක්‍රියාවලට යො‍මුවුණු මේ දරුවන් අද හොඳින් සමාජ ගත වෙලා තියෙනවා.” අධ්‍යාපන අධ්‍යක්ෂ ශාන්ත පැවසීය.

අපට මෙහිදී මුණ ගැසුණු දරුවන්ගේ පාසල් දිවිය අහවර වූයේ මසකින් හෝ දෙමසකින් නොවේ. මෙහෙයුම අවසන් කරන්නට මත්තෙන් මට තවත් එවැනිම දරුවෙකු මුණ ගැසිණ. .

“ මම හත වසරින් පාසල් යෑම නතර කළා. දැන් මට අවුරුදු 17යි.”

“ මොනවද මේ කාලයේ කළේ.?” මම විමසුවෙමි.

“කඩයක වැඩ කළා. ඒත් දැන් නැහැ.”ඔහු පිළිතුරු දුන්නේ ය.

“එහෙනම් අවුරුදු 10 ට සල්ලි ගොඩාක් හම්බ කරලා ඇතිනේ” මම පෙරළා විමසුවෙමි.

“කීයක්වත් නැහැ. අවුරුදු 10 ම යාළුවොත් එක්ක ඇවිද ඇවිද හිටියා”.

එහෙයින් මෙවන් දරුවන් නැවතත් පාසල් ගත කර නෙතට සතුටු කඳුළක් එක්කරගන්නට දෙමවුපියන්ට හැකිනම් ඔවුහු සිය දරුවන්ගේ ජිවිතට ස‍ුමඟට යැව්වෝ වෙති.

(මෙහි දරුවන්ගේ නම් මනංකල්පිතය)

ස්තූතිය- සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත් අධ්‍යාපන)

පී.ඒ.ඩී.ජේ සුනිල් ශාන්ත මහතාට

සේයාරූ- විමල් කරුණාතිලක

Comments